අඟුල්මල් සුළඟෙහි නොගිලිහුණු කවි පද

රසික හද සන්තානය ආලෝලනයට සමත් කව් රස මවන්නෝ විරලය හ. කවිය පිළිබඳව පෘථුල කියවීමක් ඇතිව මෙන්ම, පෘථුලව කවිද කියවමින කවි ලියන කසුන් සමරතුංග එවැන්නෙකි. මුල් කෘතිය ඉක්මවා වැඩුණු කවියෙන් සමන්විත ඔහුගේ අංගුලිමාල සුළඟ කව් සරණිය සාම්ප්‍රදායික කවි ඉසව් අන්‍ය මානයකින් සම්මුඛ වීමට රසිකයාට ඉඩ හසර දෙන්නකි. කෘතියෙහි නාමකරණයට මිස ඒ කව නිර්නාමිකව පවත්නා කසුන් ගේ මේ කවි එකතුවේ සිත් ගත් කවියකින් විචාරමි.

දාස් පෙතියා මලෙක

නවසිය අනූ නව වන පෙත්තද

සැලී ගිලිහී වැටින

දැන් ඉතිං ඔබ

තවමත්

අර හුදෙකලා පෙත්ත

මලක් බව කියනවද?

නැතිනම්,

දහසකට එකක් අඩු වන තුරු

පෙති එකින් එක පෙති ගැසූ

අංගුලිමාල සුළඟට

බණිනවද?

මේ වියෝග සම්ප්‍රයුක්ත රස දනවන කවිය, කිසියම් අතීතකාමීත්වයකින් රසික හද නොපෙළන්නේද? වියෝග සිදුවීමක ප්‍රතිපක්ෂයෝ සම්මුඛ වන ආකාරය කසුන්ට දැනෙන්නට ඇත්තේ, අපට දැනෙන අන්දමටම හෝ වෙනස්ව වුවද මේ වින්දනය පරිසමාප්තව දනවන අවස්ථාවක් ලෙස මම නම් ඒ කව භාර ගනිමි. ඒ වනවිට එහි මලක් නැත. ගිලිහී වැටුණු අවසන් පෙත්ත දිසේ. කෙලෙස ඊට මලකැයි කියන්නද? පෙති මලින උදුරා දැමූ සුළඟට දොස් කියන්නද? මේ උභතෝකෝටිකයට මැදි වන්නට සිදුවන පෙම්වතෙකුගේ හෝ පෙම්වතියකගේ සිත සදාකාලිකව විප්‍රයෝගයෙහි දැවෙන්නේය. කසුන් ඒ ගින්නෙන් දැවෙන රසික හදවත්වලින් නැවත නැවතත් එකම පැණය විචාරයි. එහෙත් කිසිවෙකු සතුව පිළිතුරක් නැත්තේ ය. ෆැන්ටසික ප්‍රේමයක් පිළිබඳ මතක සමග යළි යළිත් කසුන් අසන පැණය තමන්ගෙන් අසමින් රසික දන සදා මේ කව රස විඳිනු ඇත. ඒ අසීරුවෙන් හෝ රැක ගන්නට වෙර දැරූ පෙමක් විය නොහැකිද? එහෙත් ඒ පෙම අහිමි කළ කිසිවෙකුට දොස් නොනඟා ශේෂ මාත්‍රයකට හෝ පෙම ය කිව නොහැකිද? මේ උභතෝකෝටිකයෙහි අතරමං වන්නට ඔබටද ඇරයුම් කරමි.

කසුන්ගේ ඇතැම් කවියක මට එකවර මුණ ගැසෙන්නේ විමලරත්න කුමාරගමයන් හා මහගම සේකර ය. මේ ඔහු බොහෝ කවීන්ගේ නිර්මාණ ඇසුරු කරමින් ලද කාව්‍ය පරිඥානය යැයි හැඟේ.

“බිම්මල අවට සෙවණාැලි නිල් වී දැනුණ

දුම්මල වරම ඇස් ගෙඩි පතුළට ඇනුණ

දැල්වෙන – නිවෙන එළියක කළුවර ඉනුණ

බැල්මක අකුරු පොඩි පට්ටම් වී පෙනුණ”

“සැලසුමකි, රැවටුමකි ඒ ලියුම්” යන හිසෙන් ලියූ ඒ කව මට දනවන භාව මින් පෙර කුමාරගමයන්ගේ ඇතැම් කවියක විඳීමි. අනතුරුව මේ කවෙහි විරිත් හා ආකෘතියද වෙනස් කරන කසුන් සේකරගේ කවියක ලක්ෂණ අත්හදා බලතැයි සිතේ.

“යළි පැමිණීම

පමාවිය හැකි බව

ඈ ලියා එව්වාය”

මේ හුදු වාක්‍යයකි. එහෙත් අනතුරුව බැඳෙන පදවැලකින් ඔහු එය කවියේ කොටසකැයි අපට කියයි. මේ හරඹ සේකරද තවත් බොහෝ කවීන්ද පෑ පෙළහර අතර වූ ආලෝක පුංජයකින් ආභාෂය ලබමින් කසුන්ද උපයා ගන්නට ඇත. කෙසේ වතුදු ඒ කවේ අන්තර්ගතය පිරික්සන විට හමුවන්නේද රමණීය කවෙකි.  ඇතැම් තැනෙක අත හරින්නට තිබූ වදනක් දෙකක් ගිලිහෙන්නට දුන්නේ නම් කදිමැයි යන සිතුවිල්ල පහළ වූවද ඒ කව අගනේ ය.

කසුන් සමරතුංග කවිය අභ්‍යාස කරන්නේ බොහෝ කවීන්ගේ කවි කියවා විචාරමින් නිසා සුලලිත කව් බසක් තමන්ගේ කර ගැන්මට සමත් ව ඇති බවක්ද අංගුලිමාල සුළඟ කාව්‍ය කෘතිය ඇසුරේ දැනේ.

නිවෙන්නට පෙර සමෝවාරය

ඇවිත් සමුගෙන යන්න වාරය

“අතරමඟක අතරමැද” කවියේ පද අතර වන විරිත්ගත ගැලපීම රමණීය ය. ඔහුගේ කව් බස කෙමෙන් සුලලිතව ඇති බව කීමට එයම නිදසුනකි. කසුන් සමරතුංග ගේ මේ කෘතියෙහි එන “පතක් අග ජීවිතය යළිත් මඟ නොහැරෙන්න” කවිය කදිම කවි ප්‍රහේළිකාවක් ලෙස මා දකිමි. එය රසිකයාට තමන්ගේ සීමාවේ සිට භාරගෙන රස විඳිත හැකිය. එක්තරා අන්දමකට එය ජීවන අත්දැකීම් තුළින් ලිහා ගත යුතු රසයක් සඟවා ගත් දාර්ශනික කවියකැයි සිතමි. ඔහුගේ කව් රස අතර ප්‍රහසනය මුණ ගැසෙන තැනකි “ප්‍රශ්න කීපයක්” නම් කවිය. මහා දාර්ශනික ඇරිස්ටෝටල් ගැන සරළ ප්‍රශ්න කිහිපයක් අසන්නට කසුන් අවස්ථාව උදා කර ගන්නේ එම කවියෙනි. ඒ කව වාර්තාමය ස්වරූපයෙන් එකම මිනිසෙකු ගැන අසන ප්‍රශ්න කිහිපයක් ලෙස බැලූ බැල්මට පෙනුනද, සමාජය වීරත්වය හෝ ප්‍රභූත්වය ආරෝපණය කරන චරිත පිළිබඳ එවැනි ප්‍රශ්න අසන්නට නොහැකිද යන චින්තාවට එළඹීමේ  අවස්ථාව ඉන් උපදී. මේ වැනි ගැටලු කිසියම් ආගමික නායකයකුගේ චරිතය ඇසුරෙන් විචාළේ නම් උදහස් වන පිරිස කෙතරම්ද යන්නෙන් එවැනි චින්තාවක අගය වටහා ගත හැකිය.

අවසන, කලෙකින් අත පත් කුඩා සැහැල්ලු කවි පොතක කසුන් සමරතුංගයන් බරැති කවි අසුරා ඇති බව දැනේ. සැබවින්ම ඒවා කවිය. රසය. පිරිපුන්ය. සිත මත බරක්ද හෙළන්නේ ය. එහෙත් කසුන් පෙමෙන් නොමිදී තවත් ඉසව් කරා පා නැඟිය යුතු බවද අංගුලිමාල සුළඟ හමන අතර දැනේ. ඒ ඔහු මානව සංවේදී කවියෙකු වන බැවිනි.

ලසන්ත ද සිල්වා

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *