අධිබල ලේසර් කිරණ භාවිතා කළ ලංකාවේ පළමු වකුගඩු සැත්කම

වොට් 140ක අධිබලැති ලේසර් කිරණ දහරාවක් භාවිතා කරමින් මෙරටදී සිදු කළ පළමු සැත්කම සාර්ථක වේ.  කළුතර නාගොඩ මහ රෝහලේදී වකුගඩු හා මෞත්‍ර ලිංගික විශේෂඥ වෛද්‍ය කළන පරණපල්ලියගුරුගේ ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් අද මෙම සැත්කමේ නිරත වූහ. එමගින් පුද්ගලයෙකුගේ දකුණු පස වකුගඩුවේ තිබූ සෙන්ටිමීටර් 04 පමණ ගලක් ඉවත් කරනු ලැබීය. විශේෂත්වය වන්නේ මිලිමීටර් 04ක පමණ ඉතා කුඩා සිදුරක් පමණක් සිරුරේ සිදු කරමින් මෙම ගල ඉවත් කිරීමයි.

මේ වනවිට 52 හැවිරිදි වියේ පසුවන මෙම රෝගියාගේ දකුණු වකුගඩුවේම ඇති වූ ගලක් වසර කිහිපයකට පෙර ඉවත් කළ අතර එහිදී අඟල් 07 ක පමණ කැපුමක් කරන්නට සිදුව තිබුණි. 

වසර කිහිපයකට පසුව නැවත ඇති වූ ගල නිසා දැඩි වේදනාවකින් පසු වූ රෝගියාගේ වකුගඩුවටද හානි සිදුව තිබුණු බව වෛද්‍යවරු පරීක්ෂණවලින් අනාවරණය කර ගත්හ. ඒ අනුව ලේසර කිරණ ප්‍රහාර එල්ල කර ගල ඉවත් කිරීමට තීරණය කළ අතර එක්ස් කිරණ යොදා ගනිමින් අනාවරණය කරගත් මාර්ගයක් හරහා ඉදිකටුවක් ඇතුළු කිරීම මගින් විෂ්කම්භය අඟල් 04ක බටයක් වකුගඩුවට ඇතුළු කරනු ලැබීය.  ඉන් අනතුරුව කැමරාවක ආධාරයෙන් නිසි පරිදි ලේසර් කිරණ දහරක් එල්ල කරමින් දූලි බවට පත් කළ ගලෙහි සියලු අංශු පිටතට ගනු ලැබීය.  මෙම සමස්ත සැත්කම සඳහා ගතව ඇති කාලය පැය එකහමාරක් පමණක් වීමද විශේෂත්වයකි.

විශේෂඥ වෛද්‍ය කලන පරණපල්ලියගුරුගේ

සැත්කමෙහි ප්‍රධානත්වය ඉසිලූ විශේෂඥ වෛද්‍ය කළන පරණපල්ලියගුරුගේ පවසන්නේ, “දැන් වකුගඩු ගල් ඉවත් කිරීමට කැපීම් සිදු නොකර මෙම ක්‍රමය භාවිතා කළ හැකි බවයි”. එසේම දින හතරක් තුළ යථා තත්ත්වයට පැමිණිය හැකි බවද එම කාලය තුළ පමණක් බර වැඩ කිරීම නුසුදුසු බවද හෙතෙම පැවසීය.  කළුතර නාගොඩ මහ රෝහලේ  අධ්‍යක්ෂක  වෛද්‍ය තමර කළුබෝවිල පැවසුවේ සැත්කමට දායක වූ වෛද්‍යවරු ඇතුළු සියලුම රෝහල් කාර්ය මණ්ඩලයට කෘතඥතාව පළ කරන බවයි.

 

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *