අනවසර විදුලි රැහැන ජීවිතයක් බිලි ගනී

චාමින්ද බුලත්සිංහල – ගිරාඳුරුකෝට්ටේ

අනවසරයෙන් විදුලි බල මණ්ඩලයට අයත් පොදු විදුලි රැහැන් පද්ධතියෙන් විදුලිය සොරා ගෙන දිවුලපැලැස්ස ඩී/7 වෙල්යායේ වල් ඌරන්ට අටවන ලද විදුලි රැහැනක පැටලී පුද්ගලයෙකු ඊයේ(2)දින රාත්‍රියේ මිය ගොස් ඇත.    මෙසේ මිය ගොස් ඇත්තේ දිවුලපැලැස්ස පාළම් හන්දිය වැව පාරේ අංක 306 නිවසේ පදිංචි එච්.එම්.හේමචන්ද්‍ර නමැති පනස් වියැති තිදරු පියෙකි. සිද්ධිය වූ දිනයේ රාත්‍රී 7ට පමණ මොහු නිවසින් පිටව ඇත්තේ ළඟ එන සුළි සුළඟින් ඇතිවිය හැකි වැසි තත්වය නිසා තම කුඹුර සෝදා පාළුවට ලක්වීම වැලැක්වීම සඳහා නියර කපා වතුර ඉවත් කර වක්කඩ වසා ඒමට බව මිය ගිය අයගේ බිරිඳ පැවසීය. 

සිය සැමියාගේ මරණය පිලිබඳව ඔහුගේ බිරිඳ වන ඩී.එම්.ධනවති (44)මහත්මිය අදහස් දක්වමින්,මේ මිය ගිහින් ඉන්නේ මගේ මහත්තයා.එයා වඩුවැඩ තමයි කරන්නේ.ඊයේ රෑ 7ට විතර ගෙදරින් ගියේ කුමාරි සුනාමියක් එනවා ඊට ඉස්සෙල්ලා කුඹුරේ වතුර බස්සලා වක්කඩ වහලා එන්නම්,නැත්නම් කඹුර හේදිලා ගිහින් තියෙයි කියලයි.රෑ අට හමාරට විතර මම පුතාට කිව්වා තාත්තාට කෝල් එකක් ගන්න කියලා ,පුතා කිව්වා කෝල් ගත්තාට වැඩ කරන්නේ නෑ කියලා.පස්සේ රෑ දහයට විතර පොළිසියේ මහත්තුරු ඇවිත් බණ්ඩාරගේ ගෙදර මේකද ඇහුවා.මම ඔව් කිව්වා.පස්සේ පුතාව එක්කරගෙන ගියා,ගිහින් තියෙන්නේ කුඹුරට,පස්සේ මට ඇවිත් කිව්වා මහත්තයා කරන්ට් එකට අහු වෙලා මිය ගිහින් කියලා.කරන්ට් එක දාපු ලාරා කියන කෙනයි කුමාර කියන කෙනයි පොළීසියට බාර වෙලා තමයි කියලා තියෙන්නේ.එතකල් අපි දන්නේනැහැයි පැවසීය.තව දුරටත් කථා කරමින්,පහුගිය දවස් වල එයාට කුඹුරට යන්න බැරි වුනා.මම තමයි ගියේ.ඊයේත් මම ගියා මම දැක්කා අඩි දෙකක් විතර උසට කෝටු හිටවලා කම්බි දාලා තිබුණා.මම හිතුවේ කව්රු හරි හාවුන්ට මදු ගහලා කියලයි.කරන්ට් කම්බි කියලා දන්නවානම් මම කීයට වත් යන්න දෙන්නේ නෑ මහත්තයෝ යැයි හඬමින් පැවසීය.

 මේ අතර විදුලි රැහැන් ඇදි පුද්ගලයින් දෙදෙනා ගිරාඳුරුකෝට්ටේ පොළීසියට ඊයේ රාත්‍රියේම භාරවී ඇත.මොවුන් දෙදෙනා දීර්ඝ කාළයක් තිස්සේ මෙම කටයුත්ත කරගෙන ගොස් ඇති බව ගම්වාසීහු පවසති.

 දෙහිඅත්තකණ්ඩිය අපරාධ ස්ථානීය පරීක්ෂණ අංශයේ ස්ථානාධිපති උප පොළිස් පරීක්ෂක සුගතපාල මහතාගේ ප්‍රධානත්වයෙන් ස්ථානීය පරීක්ෂණය සිදු කරන ලද අතර ගිරාඳුරුකෝට්ටේ පොළීසියේ ස්ථානාධිපති පො.ප.චතුරංග මහතාගේ උපදෙස් මත පො.සැ.2028 අබේරත්න,පො.සැ.686 බණ්ඩාර,පො.කො.22082 ප්‍රියන්ත හා පො.කො.74472 සංඝසේකර යන නිළධාරීහු පරීක්ෂණ මෙහෙයවන ලද අතර සැක කරුවන් දෙදෙනා මහියංගණ දිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන16වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර මහියංගණ මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා යෙත යොමු කරන ලෙසත් ඒ පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහියංගණ මහේස්ත්‍රාත් ලක්ෂ්මන් අතපත්තු මහතා විසින් නියෝග කරන ලදී.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *