අනුරපුර බන්ධනාගාරය. වෙඩි පහරින් රැඳවියෙකු මරුට, කොරෝනා බිය නිසා කලබල

අද (21) අනුරාධපුර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන් තත්ත්වය පාලනය කිරීමට උත්සාහ ගැනීමේදී වෙඩි වැදී රෝහල් ගත කළ රැඳවියෙකු මරණයට පත් වූ බව වාර්තා වෙනවා. තවත් රැඳවියන් දෙදෙනෙකුවත් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයෙකු රැඳවියෙකු ලෙස අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළත් කර තිබෙන බවට සාවද්‍ය හෝ තහවුරු නොකළ ආරංචියක් පැතිර යාම නිසා බියට සහ කලබලයට පත් සෙසු රැඳවියන් තමන් මුදාහරින ලෙස ඉල්ලමින් කලබල කිරීම නිසා නොසන්සුන් තත්ත්වයක් උද්ගත වුණා. අද සන්ධ්‍යාව වනවිට රැඳවියන් බන්ධනාගාරයේ වහළ මතටද නැඟී සිටි අතර ගොඩනැගිලි අතර ගින්නක්ද දක්නට ලැබුණා. කෙසේවෙතත්, අනුරාධපුරයේ සිටින අප වාර්තාකරු පවසන්නේ තවමත් බන්ධනාගාරයේ අභ්‍යන්තර තොරතුරු ලබා ගැනීමට දුෂ්කර නමුත් කොරෝනා රෝගියෙකු රැඳවියන් අතර සිටින බව සඳහන් පුවත සාවද්‍ය බවයි. මේවනවිට තත්ත්වය පාලනය කිරීමට යුධ හමුදාව සහ විශේෂ කාර්ය බලකායද කැඳවා තිබෙනවා.

ඒ අතර බන්ධනාගාරයේ සිට තොරතුරු සැපයූ නිලධාරියෙකු අවසන් ejournalist වෙබ් අඩවිය හා පැවසුවේ කොරෝනා යැයි සැක කළ රැඳවියා සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා රෝගියෙකු වන අතර එය උපක්‍රමිකව යොදාගනිමින් තමන් මුදා හරින ලෙස ඉල්ලා රැඳවියන් අරගල කළ බවයි. මෙම සිදුවීම සම්බන්ධව රැඳවියන්ගේ පාර්ශවයෙන් තොරතුරු ලබා ගැනීමට ප්‍රවේශයක් මේ වන තෙක් නොමැත.

කෙසේ වෙතත්, මෙවැනි නොසන්සුන්තාවක් උද්ගතවීමට හේතු වී යැයි සැක කළ හැකි සමාජ මාධ්‍ය පොස්ටුවක් (tweet) ප්‍රචාරය වී තිබුණු අතර ඊට ප්‍රතිචාර දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කර තිබුණේ එය සාවද්‍ය සහ නොමඟ යවන සුලු ප්‍රචාරයක් බවයි. ඔහු පවසන පරිදි එම පෝස්ටුව මුදා හැර තිබුණු කාන්තාව ව්‍යාජ පුවතක් බෙදා හැර ඇත්නම් පවතින වාතාවරණය හමුවේ නීතිමය වරදකට අදාලව ඇයට දඬුවම් හිමිවනු ඇත.

අම්බිකා සත්කුනනාදන් නමැත්තියගේ ට්විටර් පණිවිඩය සහ හිටපු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ප්‍රතිචාරය

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *