අනුර ලෙව්කේට අපරාධ චෝදනා..කැකිල්ලේ තීන්දු නෑ විනිසුරු කියයි

මහනුවර බූවැලිකඩ සංඝමිත්ත මාවතේ කඩා වැටුණු පස්මහල් ගොඩනැගිල්ලේ හිමිකරු වන අනුර ලෙව්කේ නැමැති හිටපු බස්නායක නිළමේවරයා අපරාධ චෝදනා යටතේ මහනුවර පොලීසිය ඊයේ (29) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහනුවර අතිරේක මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා විසින් ඔහුව මෙම මස 13 දින දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබීය.

නොසැලකිලිමත් ක්‍රියාවකින් තිදෙනෙකුට මරණය සිදුකිරීම සහ දේපොළ වලට අලාභහානි සිදුකිරීම යන චෝදනා යටතේ දණ්ඩ නීති සංග්‍රහයේ 298 හා 291 වගන්ති යටතේ පොලීසිය සැකකරුට එරෙහිව නඩු පවරා තිබේ.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් මහනුවර නීතිඥ සංගමයේ ලේකම් බණ්ඩාර කරුණානායක මහතා ඇතුළු නීතීඥයින් 101 දෙනෙකු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූහ.විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා සමඟ නීතීඥවරුන් වන නන්ද සේනානායක, සමන් තන්තරිගේ, තිස්ස සෙනෙවිරත්න යන මහත්වරුද පෙනී සිටියහ.

අදාළ නිවස ඉදි කිරීමට විත්තිකරු අවශ්‍යය සියලු අනුමැතීන් ලබාගෙන තිබෙන බැවින් මෙම ගොඩනැගිල්ල කඩා වැටීමේ වගකීම එම අනුමැතීන් ලබාදුන් පාර්ශව විසින් බාරගත යුතු බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා කීය.
රජකාලයේ ගොඩනැගිල්ලක් කඩා වැටුනම මේසන් බාස්ට දඬුවම් දුන්නා වගේ සිද්ධියක් මෙතනදී සිදු නොවිය යුතු බැවින් සියලු කරුණු සලකා බැලිය යුතුව තිබෙන බව කී මහේස්ත්‍රාත්වරයා පරිප්පුවක රස බැලීමට පරිප්පු,කහ,මිරිස්,ලුණු වෙන වෙනම ලබාදීමෙන් නොහැකි බවත් ඒ සඳහා පරිප්පුව හදලම බැලිය යුතු බවත් ප්‍රකාශ කළේය.

විත්තිකරු අදාළ නිවස ගොඩනගා තිබෙන්නේ තමන්ට ජීවත් වීමට බවත් කඩා වැටෙන අවස්ථාව තෙක්ම ඔහු එහි ජීවත්ව සිටි බවත් ප්‍රකාශ කළ විත්තියේ නිතීඥවරයා මෙයට අනුමැතිය ලබාදුන් මහනුවර මහ නගර සභාව සමඟ සෙසු අනුමැතීන් ලබාදුන් ආයතන මෙයට වගකිය යුතු බවද පැවසුවේය.එම කාරණා සම්බන්ධව දීර්ඝ විමර්ශනයක් කළ යුතු බව මෙහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.
මහල් දෙකක් ගොඩනැගීමට පදනම දමා විත්තිකරු එහි මහල් පහක් ගොඩනගා ඇති බවත් එහි පස්වැන මහළ ඉදිකර තිබෙන්නේ කිසිදු අනුමැතියකින් තොරව බවත් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරු පැවසූහ.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා අදහස් දක්වමින් ඒ සඳහා අවශ්‍යය අනුමැතීන් ලබාගත් බව විත්ති පාර්ශවය ප්‍රකාශකරන බවත් ඒ අනුමැතීන් ලබාගත්තේ යම් බලපෑමක් සිදුකරද යන්න සම්බන්ධව සොයා බැලිය යුතු බවත් කීවේය.
මහනුවර පොලීසියේ අපරාධ අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.බණ්ඩාර මහතා අධිකරණයේ කරුණු දක්වමින් මෙම ගොඩනැගිල්ල කඩා වැටීම ආරම්භ වී ඇත්තේ පාන්දර 4.40 ට බවත් එය සම්පූර්ණයෙන් කඩා වැටී තිබෙන්නේ පාන්දර 4.57 ට බවත් පැවසුවේය.අදාළ කාලය තුළ අවට සිටි අයට මේ සම්බන්ධව දැනුම් දීමට කාලය තිබී ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රියන්සි අර්සකුලරත්න මහතා විත්තිකරුට ඇප ලබාදෙන ලෙස ඉල්ලීමක් කළ අතර පොලීසිය ඊට විරුද්ධත්වය දැක්වීය.
සැකකරුට එරෙහිව නඩු පැවරීමට පෙර පොලීසිය මහනුවර මහ නගර සභාව,නාගරික සංවර්ධන අධිකාරිය,ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය,භූ විද්‍යා හා පතල් කාර්යාංශය ඇතුළු ආයතන ගණනාවකින් ගොඩනැල්ල සම්බන්ධ වාර්තා ලබාගෙන තිබිණි.
පස් මහල් ගොඩනැගිල් කඩා වැටීමෙන් අඹුසැමි යුවළක් හා ඔවුන්ගේ දින 49 ක් වයසැති දරුවා මරණයට පත්වූහ.
මහනුවර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත අපරාධ අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.බණ්ඩාර,උප පොලිස් පරීක්ෂක අත්තනායක,පොලිස් කොස්තාපල් 46934 අස්වින් යන නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වූහ.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *