අපරාධකරුවන්ගේ තර්ජනවලට බය නැහැ – ආරක්ෂක ලේකම්

අසාධාරණ ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන මෙරට දරුණුම අපරාධකරුවන් පිරිසක් බූස්ස බන්ධනාගරයේ ආහාර වර්ජනයක නිරතවන බවත් තවත් දින දෙක තුනක් ගියපසු බඩගින්න දරාගැනීමට නොහැකිව ඔවුන් ආහාර ගැනීමෙන් අනතුරුව එම වර්ජනය නිමාවනු ඇති බවත් ආරක්ෂක ලේකම්,විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

මාරාන්තික උපවාස සිදුකර මෙරට මියගිය එකම පුද්ගලයා තිලීපන් පමණක් බවත් ඔහුද මරණයට පත්වූයේ අසනීප තත්ත්වයක් තිබියදී උපවාසයට එක්වීම නිසා බවත් ඒ මහතා කීය.

මත්ද්‍රව්‍යය හා පාතාලය මර්දනය කිරීමට සිදුකරනු ලබන අඛන්ඩ වැටලීම් මගින් අත්අඩංගුවට ගන්නා සැකකරුවන් රඳවා තැබීමට බන්ධනාගාර වල ඉඩ ප්‍රමාණවත් නොවීම නිසා ඔවුන් ගෙන් කොටසක් දැනට වසාදමා තිබෙන බෝගම්බර පැරණි බන්ධනාගාරයේ රැඳවීමට ඇති හැකියාව සොයා බැලීම පිණිස පෙරේදා (12) මහනුවරට පැමිණි අවස්ථාවේ ආරක්ෂක ලේකම්වරයා මේබව ප්‍රකාශ කළේය.

මාරාන්තික උපවාස කරන සියලු දෙනා දින කිහිපයක් උපවාසයේ නිරතව සිට බඩගින්න දරාගත නොහැකි මට්ටමට එනවිට මොකක් හෝ හේතුවක් ඉදිරියට දමා කවුරුන් හෝ ලවා වතුර නැත්නම් තැඹිලි පොවාගෙන උපවාසය අත්හරින බවත් දැනට බූස්ස බන්ධනාගාරයේ උපවාසයේ නිරතව සිටි අයගෙන්ද කොටසක් ආහාර ලබාගෙන උපවාසය අත්හැර තිබෙන බවත් කී ඒ මහතා සෙසු පිරිසද ඉදිරියේදී එම මාර්ගයම අනුගමනය කරනු ඇති බවද අවධාරණය කළේය.

උපවාස සිදුකර ඉල්ලන්නේ මොනවාද කියන එක වැදගත් බවත් අසාධාරණ ඉල්ලීම් කරන්නේ නම් ඒවා ඉටු කිරීමට කිසිදු හැකියාවක් නොමැති බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

දැනට බූස්ස බන්ධනාගාරයේ උපවාසයේ නිරත අය තමන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මහත්වරු බන්ධනාගාරයට එනවිට පරීක්ෂා නොකරන ලෙස ඉල්ලීමක් කරන බවත් බුස්ස බන්ධනාගාරයට ඇතුළුවන විට ආරක්ෂක ලේකම්වන තමන්වද පරීක්ෂා කරන ලෙස දැනුම්දී තිබියදී අපරාධ චෝදනා ලත් අය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු පරීක්ෂා නොකර සිටීමට කිසිදු හේතුවක් නොමැති බවත් කී කමල් ගුණරත්න මහතා බූස්ස වැනි අධි ආරක්ෂිත සිරගෙදරක පරීක්ෂණ කටයුතු පිළිබඳ කතා කිරීමට රැඳවූවන්ට අවශ්‍යතාවක් නොමැති බවද අවධාරණය කළේය.

තත්ත්වය, තරාතිරම නොබලා වැරදිකරන අය අත්අඩංගුවට ගන්නා බවත් පොලීසිය,හමුදාව හා බන්ධනාගාරය තුළ සිට වැරදි කරන නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම මුලින් ආරම්භ කළේ පිට ඉන්න වැරදිකරුවන්ට කලින් ඇතුළ පිරිසිදුකර ගැනීමට අවශ්‍යයවූ නිසා බවත් එ් මහතා කීය.

ඇතුළ පිරිසිදු කරගත් පසු ඉන්නා නිලධාරීන්ට ගෞරවාන්විතව රාජකාරිය ඉටු කිරීමට පසුබිම සැළසෙන බවත් වැරදි කරනවා නම් ඔහු නිල ඇඳුමක් අඳිනවාද නැද්ද යන්න ප්‍රශ්නයක් නොවන බවත් කී ආරක්ෂක ලේකම්වරයා එහිදී සියලු දෙනාට අත්වන්නේ එකම ඉරණම යැයිද අවධාරණය කළේය.

ගෞරවාන්විත රාජකාරියක් කරන බව පුරවැසියන්යන්ට පෙන්වාගෙන පොලීසියේ,බන්ධනාගාරයේ,හමුදාවේ අය සොරකම් කරනවා නම්,කුඩු විකුණන මුදලාලිලා ලෙස කටයුතු කරනවා නම්,ජාවාරම් කරනවා නම්,අපරාධ මෙහෙයවනවානම් එතන ප්‍රශ්නයක් තිබෙන බවත් මුලින් එයට තිත තැබීමට පියවර ගැනීම වැදගත් බවත් ගුණරත්න මහතා කීය.

කුමක් හෝ වරදක් නිසා හිරේ විලංගුවේ වැටුනත් ඔවුන්ද අපේම රටේ මිනිසුන් බවත් බන්ධනාගාර වල කොටු කිරීමට පමණක් සීමා නොවී නිසි පුනරුත්ථාපන වැඩපිළිවෙළක් ඔස්සේ  සමාජය තුළ යහපත් පුරවැසියන් ලෙස ජීවත්විය හැකි මානසිකත්වයක් ඇති පිරිසක් බවට පත්කර ඔවුන් සමාජයට යොමු කිරීම තම බලාපොරොත්තුව බවත් හෙතෙම පැවසුවේය.

බන්ධනාගාරවල දැනට පවත්නා ඉඩ ප්‍රමාණය වැඩි කිරීමේ වැඩපිළිවෙළක් දියත්කර තිබෙන බවත් රැඳවූවන්ට ප්‍රමාණවත් ඉඩක් බන්ධනාගර වල නොමැති වූ විට ඔවුන් අපහසුතාවට පත්වන බවත් කී ඒ මහතා දැනට ඉඩකඩ ප්‍රමාණවත් නොවන බන්ධනාගාර වල සිටින රැඳවූවන් තාවකාලිකව පැරණි බෝගම්බර බන්ධනාගාරයට යොමු කිරීමට අපේක්ෂා කරන බවද අවධාරණය කළේය.

අපරාධ චෝදනා ලැබ බන්ධනාගාර ගතව සිටින අයගෙන් තමන්ට එල්ලවන මරණීය තර්ජන සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආරක්ෂක ලේකම්වරයා මිනිස්සුන්ට කළහැකි දේ මෙන්ම නොහැකි දේද තිබෙන බවත් ඇතැම් පුද්ගලයින් කළ නොහැකි දේවල් කියත්දී තමන් ඒ සම්බන්ධයෙන් කලබල නොවන බවත් ප්‍රකාශ කළේය.

මේ රටේ ජනතාවට නිදහසේ ජීවත් වීමට අවශ්‍යය පරිසරය උදා කිරීමට කළහැකි සියලු දේ කරන බවත් එසේ කළ නොහැකි වුවහොත් මේ රටට අනාගතයක් නොමැති බවත් කී ඒ මහතා වගකිවයුතු රාජකාරියක් තමන් බාරගත්තේ තර්ජන වලට බය නැති නිසා යැයිද අවධාරණය කළේය.

සංවිධානාත්මකව සිදුකරන මත්ද්‍රව්‍යය ජාවාරම හා අපරාධ මැඩලීමට මහජන සහය අත්‍යවශ්‍යය බවත් තොරතුරු ලබාදෙන අයගේ රහස්‍යභාවය රැකගන්නා අතරතුර ඔවුන්ට මුදල් ත්‍යාග ලබාදීමටද පියවර ගෙන තිබෙන බවත් ඒ මහතා කීය.

මෙම අවස්ථාවට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය,බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක (පාලන හා පුනරුත්ථාපන),බන්ධනාගාර කොමසාරිස් ටී.අයි.උඩුවර ( මෙහෙයුම් හා බුද්ධි) යන මහත්වරු ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *