අපි ගිය ආණ්ඩුව ඇටවූ බෝම්බ ඉවත් කරනවා – විමල්

එළඹෙන මහ මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබ ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමත් සමඟ පසුගිය ආණ්ඩුව අටවා ගොස් තිබෙන එම්.සි.සී ඇතුළු රටට අහිතකර  බිම් බෝම්බ ස්වරූපයේ සියලු ගිවිසුම් වලින් රට මුදා ගන්නා බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන,කර්මාන්ත සහ සැපයුම් කළමණාකරණ අමාත්‍ය,ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක විමල් වීරවංශ මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානය සමග එක්ව ඉදිරි මහ මැතිවරණයට තරග කරනා ජාතික නිදහස් පෙරමුණ අපේක්ෂකයන් හා එක්ව ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා දෙනම බැහැදකීමට ඊයේ (02) මහනුවරට පැමිණි අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් වීරවංශ මහතා මේබව ප්‍රකාශ කළේය.

මෙවර මහ මැතිවරණය නිමිත්තෙන් ජාතික නිදහස් පෙරමුණේ අපේක්ෂකයින් කළ දිවුරුම හා ප්‍රතිපත්ති ප්‍රකාශනය ශ්‍රී දළදා වහන්සේට හා මහනායක හිමිවරුන්ට පිළිගැන්වීම මෙහිදී ඇමැතිවරයා අතින් සිදු කෙරිණ.

මෙහිදී වැඩිදුරටත් මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසුවේය.එම්.සී.සී ගිවිසුම සම්බන්ධයෙන් රජය කමිටුවක් පත්කළා.ඒ කමිටුව මගින් ලබාදී තිබෙන නිර්දේශ අතරින් එකක් වන්නේ මේ ගිවිිසුම කෙසේවත් අත්සන් නොකළ යුතු බවයි.අනෙක් නිර්දේශය වන්නේ අත්සන් කරනවා නම් රටට අයහපත් යැයි කමිටුව පෙන්වා දෙන කාරනා ඉවත්කර එය කිරීම යෝග්‍ය බවයි.ජනාධිපතිතුමා අගමැතිවරයාගේද සටහනක් සහිතව මේ කමිටු වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා.ඒ වගෙම් ඉල්ලීමක් කළා මේ සම්බන්ධ කැබිනට් ඇමැතිවරුන්ගේ නිර්දේශ ලිඛිතව ලබා දෙන්න කියලා.මගේ නිර්දේශ ලබන සතියේ මා ලබා දෙනවා.සමහරුන්ට ඕන වෙලා තියෙනවා පසුගිය ආණ්ඩුව අටවන ලද බිම් බෝම්බ සම්බන්ධයෙන් අපිව කලබල කරවලා සුදුසු නැති පිරිසක් ලවා වයර් ගලවලා බෝම්බ අතේ පත්තු කරවන්න.පසුගිය ආණ්ඩුව අටවා තිබෙන බම් බෝම්බ වලින් අපි මේ රට මුදා ගන්නවා.එම්.සී.සී බිම් බෝම්බය විතරක් නොවෙයි කොළඹ වරාය නැගෙනහිර පර්යන්ත බිම් බෝම්බය,මත්තල වරාට විකුණන බිම් බෝම්බය වගේ බිම් බෝම්බ ගොඩක් ඒ ගොල්ලෝ මේ රටේ වලලලා තමයි ගියේ.මේ බිම් බෝම්බ ගලවා දැමීම බොහොම සූක්ෂමව කළ යුතුයි.

එම්.සී.සී ගිවිසුම සම්බන්ධයෙන් කමිටුවක් පත්කරලා වර්තාවක් ලබා ගත්තා.ඒ කමිටු වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.ජනාධිපති පත්වුනාට තාමත් එතුමාට සහය දෙන පාර්ලිමේන්තුවක් මේ රටේ පත්වෙලා නැහැ.එතුමාට සහය දෙන බලසම්පන්න පාර්ලිමේන්තුවක් පතීවීමත් සමඟ ජිනීවා මානව හිමිකම් කොමිසමට ඇමරිකාව ගෙනාව ලංකාවට එරෙහි යෝජනාවට අනුග්‍රාහකත්වය දැක්වීමෙන් ඉවත් වුනා වගේ පසුගිය ආණ්ඩුව අටවපු රටට හතුරු බිම් බෝම්බ ගලවා ඉවත් කරන්න අපේ ආණ්ඩුවට හැකියාව තිබෙනවා.රනිල්ගේ ආණ්ඩුව කාලේ එම්.සී.සී කාර්යාලය තිබුණේ අරලිය ගහ මන්දිරය ඇතුළේ.ඒ ගැන කටක් නොඇරපු අය දැන් මේ ගිවිසුම ගැන අපි ගන්නා ක්‍රියාමාර්ග මොනවද කියා අසමින් අපව කලබල කරන්න හදනවා.ඊළඟ පාර්ලිමේන්තුව ශක්තිමත්ව පිහිටුවලා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයක් පිහිටටවූ පසු අපි වැඩේ හරියට කරනවා.

කරුණා අම්මාන් එල්.ටි.ටි.ඊ ත්‍රස්තවාදියෙකුව සිට ත්‍රස්තවාදය අත්හැරල ත්‍රස්තවාදය පරාජය කරන්න ආණ්ඩුවට සහය දුන් අයෙක්.එහෙම කෙනෙකුයි දැනටත් බෙදුම්වාදී මතවාදය දරන කෙනෙකුයි එක හා සමාන නැහැ.කෙනෙකුගේ දුර්වලතා තිබිය හැකියි.වැරදි අදහස් තිබෙන්න පුළුවන්.ඒ සම්බන්ධයෙන් අපට විවේචන තිබෙනවා.නමුත් බෙදුම්වාදය පිළිනොගන්නා ඕනෑම දෙමළ නායකයෙකුට බෙදුම්වාදය අත්හැර අපත් සමඟ එකතු විය හැකියි.නිශ්ශංක සේනාධිපති ආණ්ඩුවේ කිසිදු ආයතනයක සභාපති ධූරයක් දරන්නේ නැහැ.ඔහු ව්‍යාපාරිකයෙක්.ඔහුගේ ව්‍යාපාර විනාශ කරන්න ජනතා විමුක්ති පෙරමුණ පසුගිය කාලයේ කටයුතු කළා.ඒ වෙනුවට ඒ ව්‍යාපාර වෙනත් කෙනෙකුට අරන් දෙන්න ඔවුන් උදව්කර තිබෙනවා.මේ නිසා එම ව්‍යාපාරිකයාට සාධාරණ ප්‍රතිවිරෝධයක් ජවිපෙ සමඟ තිබිය හැකියි.ජනතා විමුක්ති පෙරමුණ පසුගිය කාලයේ බරපතල කඩා වැටීමකට ලක්වුණේ මුදල් නිසයි.අපි මන්ත්‍රීවරු 41 ක් දක්වා පක්ෂය ගොඩනැගුවේ සල්ලි නැති කාලේ.දැන් සල්ලි වැඩිවෙනකොට ඡන්ද පදනම 3% ට බහිනවා.තවත් කවුරු හරි සල්ලි ටිකක් දුන්නොත් මේක 1% කට නොවෙයි 0.5% දක්වාත් පල්ලම් බහිවී.

කොළඹ වරාය ආදායමෙන් 34% ක් උපයන්නේ  නැගෙනහිර පර්යන්තයෙන්.ගැඹුරු දියඹට එන්න පුළුවන් විශාල නැව් වලට එන්න පුළුවන් එකම ජැටිය තිබෙන්නේ නැගෙනහිර පර්යන්තයේ.පසුගිය ආණ්ඩුව කැබිනට් තීන්දුවක් මගින් ජපානය,ඉන්දියාව,ශ්‍රී ලංකාව අතර කෝපරේෂන් ගිවිසුමක් අත්සන් කළා හවුල් ව්‍යාපෘතියක් නැගෙනහිර ජැටියේ අරම්භ කරන්න.ඒකත් කලින් ආණ්ඩුව අටවපු බෝම්බයක්.රටවල් රටවල් අතර ගිවිසුම් ඇතිකරගත් පසු ඒවා කොච්චර වැරදි වුනත් ඒවායින් අපි ගැලවෙන්න ඕන බොහොම පරිස්සමින්.රාජ්‍ය සම්බන්ධතා ආරක්ෂා කරගෙන මේක සිදුකළ යුතුයි.ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ජපානය හෝ ඉන්දියාව සමඟ ගිවිසුමට අදාළව මෙතෙක්  කිසිදු සාකච්ඡාවක් පවත්වා නැහැ.කලින් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම අපේ ආණ්ඩුව පිළිගන්නේ නැහැ.ඒ ගිවිසුමෙන් කොළඹ වරායට සාධාරණයක් ඉටුවෙනවා කියලා අපි දකින්නේ නැහැ.ඉදිරියේදී අපේ ආණ්ඩුවක් ශක්තිමත් ලෙස පිහිටවූ පසු නැගෙනහිර පර්යන්තයට කලින් ආණ්ඩුව අටවා තිබෙන බිම් බෝම්බය ගලවා ඉවත් කරන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා.

මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ සමස්ත විරුද්ධ පක්ෂයක් ලබන අඩුම ඡන්ද ප්‍රමාණය මෙවර මහ මැතිවරණයෙන් පත්වන විරුද්ධ පක්ෂ කණ්ඩායම ලබනවා.ඒ ගැන ලියලා තියාගන්න කියලා මම කියනවා.සජිත් කොරෝනා වලට බෙහෙත් නියම කළා.රනිල් ආණ්ඩුවක් ගන්න දෙවැනි කොරෝනා රැල්ල එනකං බලාගෙන ඉන්නවා.මෙහෙම ගොන් කතා කියන විපක්ෂයකට මේ රටේ ජනතාව බලයක් දෙයිද?.ටිල්වින් කියනවා නාවික හමුදාවට කොරෝනා බෝ  කළේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාලු.ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට පාලනය කරන්නේ පාර්ලිමේන්තු බලයක් නොමැතිවයි.ආණ්ඩුවට මේ වෙලාවේ විදේශ රටකින් ණයක් ගන්න හැකියාවක් නැහැ.ණය සීමාව ඉහළ දාන්න අනුමැතිය නොදුන්න විපක්ෂයක් මේක.ඒ සියලු අසීරුතා මධ්‍යයේ තමයි කොරෝනා සාර්ථකව පාලනය කරමින් ආණ්ඩුව ජාති,ආගම්,පක්ෂ බේද නොතකා රුපියල් 5000.00 දීමනාව ලබා දුන්නේ.මේ අවස්ථාවේ රට කලින් කට්ටිය පාලනය කළා නම් මහනායක හාමුදුරුවන්ට කියන්න වෙන්නේ කොරෝනා නොහැදුන ගෙදරකින් අබ ඇටයක් අරන් එන්න කියලයි.රටේ ආර්ථිකය 1.7% ක් දක්වා පහළට වට්ටලා තිබුණේ.රාජ්‍ය ආයතන සියල්ල පාඩු ලබන තත්ත්වයකට පත්කරලා සේවකයින්ට පඩි ගෙවන්න බැරි තත්ත්වයක් ඇති කළා.එවැනි අවස්ථාවක අපි රට බාරගත්තේ.එළඹෙන මහ මැතිවණයෙන් පසු ස්ථවාර ආණ්ඩුවක් බිහිකර අලුතින් අණපනත් සම්මත කරලා අපි රටට දුන්න සියලු පොරොන්දු ඉටුකරනවා.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොරොන්දු ඉටුකරන නායකයෙක්.2500 ක කාර්ය මණ්ඩලය 250 ක් දක්වා එතුමා අඩු කළා.පාතාලය මැඩපවත්වමින් සිටිනවා.අගෝස්තු මස 05 වෙනිදායින් පසු එතුමාට ඕනකරන බලසම්පන්න ආණ්ඩුව අපි පිහිටුවනවා.අලුත් අයවැයක් ඉදිරිපත් කරලා ජනතාවට දියහැකි සියලු සහන ලබා දෙනවා.මේවන විට රටේ ආනයනය විශාල ලෙස සීමාකර තිබෙනවා.රුපියල් අවප්‍රමාණය වෙනවා.රටේ ඩොලර් නැති නිසා මේ තත්ත්වය ඇති වන්නේ.මේක තාවකාලික තත්ත්වයක්.අලුතින් පාර්ලිමේන්තුව පත්වුනාට පසු අලුත් අණපනත් ගෙනල්ලා අපිට ජනතාවට සහන ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ හැකියි.

මෙම අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය ලේකම් හිටපු මධ්‍යම පළාත් සභා අමාත්‍ය,නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක නිමල් පියතිස්ස මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *