අපේ මාලු අපේ – උතුරේ ධීවරයෝ

සංක්‍රමණික ධීවරයින් උතුරු මුහුදේ මසුන් ඇල්ලීමට පැමිණීම වහාම නවතන්නැයි ඉල්ලමින් යාපනයේ ධීවර සංගම් සාමාජිකයින් පිරිසක්  ඊයේ (17) දින යාපනය වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේ විරෝධතාවක නිරත වූහ. වඩමාරච්චි නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට ප්‍රදේශයේ ධීවර සංගම් නියෝජිතයින් පිරිසක් එක්ව මෙම විරෝධතාවය සංවිධානය කොට තිබූ අතර ඒ සඳහා ධීවරයින් පිරිසක්ද සහය ලබා දී තිබුණි.

පුත්තලම, හලාවත,මීගමුව කල්පිටිය, ආදි ප්‍රදේශයන්හි සිට පැමිණෙන සංක්‍රමණික ධීවරයින් නිසා යාපනයේ ධීවරයින්ට දෛනික ධීවර කටයුතු සිදු කරගැනීමට නොහැකි වාතාවරණයක් උදා වී පවතින අතර ඉන්දීය ධීවරයින්ට අමතරව මෙම සංක්‍රමණික ධීවර පැමිණීම සහ ඔවුන්ගේ තහනම් දැල් ආම්පන්න නිසා බාධා රැසක් එල්ල වන බවත් මෙම ගැටලුවට වහාම රජය මැදිහත් වී විසඳුමක් ලබා දිය යුතු බව පවසමින් විරෝධතාකරුවෝ මෙහිදි පැවසූහ.

විරෝධතාවය අවසානයේ මරදන්කේනි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙතට ගොස් සංදේශයක් භාර දීමටද විරෝධතා කරුවන් පියවර ගැනීමෙන් පසුව විරෝධතාවය අවසන් විය.

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ උතුරු නැගෙනහිර සම්බන්ධීකාරක ඇන්ටන් ජේසුදාසන් මෙහිදී පවසා සිටියේ, “මේ සංක්‍රමණික ධීවර ගැටලුව විසඳන්න කියලා අපි කිහිප අවස්ථාවකදීම රජයට බලපෑම් කළා. නමුත් මේ වනතුරුත් එය සිදුවෙලා නැති නිසයි මේ ගැටලුව තාමත් තියෙන්නේ එක අතකින් එය ජාතීන් අතර ප්‍රශ්නයක් වෙයි දිස්ත්‍රීක් අතර ප්‍රශ්නයක් වෙයි කියලා බලධාරීන් මඟහරිනවා වගෙත් පේනවා නමුත් විසඳුමක් ලබා දිය හැකි පැතිකඩ අපි රජයට පෙන්වා දී තිබෙනවා”. යනුවෙනි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *