අපේ වගාවට අපේම බීජ – ඇමති මහින්දානන්ද

මෙරට කෘෂි බීජ ආනයනය කිරීම සඳහා වර්ෂිකව රුපියල් මිලියන 2000 ක් පමණ මුදලක් වැයවන බවත් ඉදිරි වසර තුනේදී ක්‍රමානුකූලව එය අඩුකර ගෙන ගොස් රටට අවශ්‍යය බීජ වලින් 80% ක් පමණම රටේම නිෂ්පාදනය කිරීමට සැළසුම් කර තිබෙන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. මෙරට නිෂ්පාදනය කරගත නොහැකි බීජ හැර වෙනත් කිසිදු බීජයක් පිටරට වලින් ගෙන ඒම වසර තුනක් ඇතුළත අත්හිටුවන බවද හෙතෙම පැවසුවේය.

ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩසටහනට අයත්  ජීවනෝපාය සංවර්ධන කමිටු රැස්වීමට අදාළ මහනුවර දිස්ත්‍රික් රැස්වීම මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පෙරේදා (27) පැවැති අවස්ථාවේදී අලුත්ගමගේ මහතා මේ බව ප්‍රකාශ කළේය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හා මහවැලි අධිකරීය එකට වැඩ නොකිරීම නිසා ගොවීන්ට ගැටලු රැසක් පැන නැගුණු බවත් දැන් මෙම ආයතන සියල්ල එකට තීන්දු තීරණ ගන්නා බවත් ඒ මහතා කීය.

එහිදී වැඩිදුරටත් කතා කළ ඇමැතිවරයා මෙසේද කීය.මහනුවර දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්ත කටයුතු වෙනුවෙන් අමාත්‍යාංශය රුපියල් මිලියන 3000 ක් වෙන් කළා.කෘෂිකාර්මාන්ත අමාත්‍යාංශයට අදාළව දත්ත පද්ධතියක් මෙතෙක් තිබුණේ නැහැ.කෘෂිකර්මාන්තයට අදාළව ජාතික ප්‍රතිපත්තියක් අපි සකස් කළා.ඒ සමඟ අපි හොඳ දත්ත පද්ධතියක් ගොඩනැගුවා.ගොවි මහතාගේ ජාතික හැඳුනුම්පත් අංකය දත්ත පද්ධතියට ඇතුළු කළාම ඔහුගේ වගාවේ ප්‍රමාණය,වගාකර තිබෙන බීජ,අස්වැන්න ලබා ගන්නා කාලය ඇතුළු සියලු දත්ත අපිට බලාගන්න පුළුවන්.නිසි සම්බන්ධීකරණයක් නොමැති නිසා ගොවීන් බොහෝ පිරිසක් එකම වර්ගයේ එළවළු වගා කරනවා.මේ නිසා අතිරික්තයක් ඇතිවෙලා අස්වැන්න විකුණා ගත නොහැකි තත්ත්වයක් ඇති වෙනවා.එවැනි දේ මින් ඉදිරියට ඇති නොවීම සඳහා අපි අවශ්‍යය ක්‍රියාමාර්ග ගන්නවා.

අස්වැන්නෙන් 60% ක් පමණ වන සතුන්ගේ හානියට ගොදුරු වීම ගොවීන් මුහුණ දෙන විශාල ගැටලුවක්.වන අලින්ට වඩා රිලවුන්,ඌරන්,දඬු ලේනන් හා මොණරුන් ගෙන් වගාවට විශාල හානියක් වෙනවා.මේ සඳහා අපි විවිධ ක්‍රමවේද අත්හදා බලමින් සිටිනවා.තාමත් අපිට ස්ථිර විසඳුමක් ලබා දීමට නොහැකි වී තිබෙන්නේ මේ ප්‍රශ්නයට පමණයි.මෙතෙක් ගිනි අවි ලබා දුන්නේ අක්කර 05 කට වැඩි වගාවක් තිබෙන ගොවීන්ට පමණයි.ජනාධිපතිතුමාගේ උපදෙස් මත දැන් මේක අක්කරය දක්වා අඩුකර තිබෙනවා.මේක කලින් තිබුණෙත් අක්කරයක් ලෙසයි.ත්‍රස්තවාදී ප්‍රශ්න නිසා ඒක අක්කර පහක් දක්වා ඉහළ දැම්මා.මේ සඳහා චක්‍රලේඛණය ළඟදීම නිකුත් කරනවා.මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙණිය,මිණිපේ හා උඩුදුම්බර තමයි වන අලි ප්‍රශ්නේ තිබෙන්නේ.අපි අලි වැටවල් ගහලා දෙනවා.මින් පස්සේ මහනුවර දිස්ත්‍රික්කයේ වන අලි ප්‍රශ්නයක් තියෙන්න බැහැ.

එළවළු හා පලතුරු තොග ලොරි වලින් ප්‍රවාහනය කිරීමේදී විශාල නාස්තියක් වෙනවා.මේවා කෝච්චියෙන් ප්‍රවාහනය කිරීමට අපි සැළසුම් කරනවා.මේ සඳහා වෙනම කෝච්චි පෙට්ටි හදනවා.කෘෂිකර්මයට අදාළව දිස්ත්‍රික්කය තුළ ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න ඕන.ජාතික ප්‍රතිපත්තියට අදාළව දිස්ත්‍රික්ක මට්ටමින් මේවා සිදුවිය යුතු ආකාරය අපි හදාගෙන යනවා.එක ගොවිජන බල ප්‍රදේශයක අක්කර 200 ක සුළු අපනයනය බෝග ගම්මානයක් බැගින් රට පුරා අපි ස්ථාපිත කරනවා.කිරි ගොවීන්ට සහන ලබාදී නිෂ්පාදන වැඩි කිරීමටත් පුරුන් කුඹුරු අස්වැද්දීමටත් අපි පියවර ගෙන තිබෙනවා.වී වගාවට පමණක් ලබාදුන් පොහොර සහනාධාරය සෙසු වගාවන්ටත් අපි ලබා දෙනවා.කෘෂිරසායනික ද්‍රව්‍යය මිල අධිකයි.ඒ නිසා ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් ඒවත් ගොවීන්ට ලබා දෙන්න අපි කටයුතු කරනවා.දේශීය දියර කිරි නිෂ්පාදනය ඉහළට ගෙන ඒමේ වැඩසටහන යටතේ එළ ගවයින් 10000 ක් ආනයනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා.කෘතීම සිංචන ක්‍රමය මගින් සතුන් ගැබ් ගැන්වීමේ ක්‍රමය සාර්ථකව පවත්වා ගෙන යෑමට ඒ.අයි තනතුරට අලුතින් පිරිසක් බඳවා ගන්නවා.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කතා කරමින් මෙසේ කීවේය.මහනුවර නගරයට පැමිණෙන සංචාරකයින් දින හතරක් පමණ නගරයේ රඳවා ගැනීම තුළින් තමයි නගරයට ප්‍රතිලාභ හිමිවන්නේ.අපි සංචාරක ආකර්ෂණය දිනාගත හැකි ස්ථාන 6000 ක් අලුතින් හඳුනා ගත්තා.ඒවායින් 506 ක් පිහිටලා තියෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ.සංචාරක ක්ෂේත්‍රයට අදාළව රැකියා කරන විශාල පිරිසක් මහනුවර සිටිනවා.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා මෙසේ කීවේය..ප්‍රවාහනය සම්බන්ධව තීන්දු තීරණ ගන්න අපි දිස්ත්‍රික් මට්ටමින් කමිටුවක් පිහිටුවනවා.ලංගම,ප්‍රවාහන අධිකරිය,පොලීසිය ඇතුළු සියලු අංශ ඒකාබද්ධ වන පරිදි සකස් කරන මේ කමිටුව ප්‍රවාහන අංශයට අයත් දිස්ත්‍රික්කයේ තීන්දු තීරණ ගන්නවා.අලුතින් ත්‍රීවිල් එකක් දානවා නම් මේ කමිටුවේ නිර්දේශය අවශ්‍යයයි.කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක බස් රථ කාල සටහන් ක්‍රමය වෙනස් වුණා.දැන් සෙනඟ වැඩිපුර ඉන්න වෙලාවල් වෙනස් වෙලා.දවසකට බස් රථ 5000 ක් නුවරට ඇතුළු වෙනවා.කාල සටහන් සකස් කිරීම,ත්‍රීවීල් නැවතුම් පොළවල් තීරණය කිරීම කමිටුව මගින් කළ යුතුයි.බස් සියල්ල ගමේ සිට නගරයට එන ක්‍රමය වෙනුවට අපි ගම ඇතුළේ බස් ධාවන වැඩසටහනක් සකස් කරලා මගීන් එක් ස්ථානයක සිට නගරයට ගෙන ඒමේ ක්‍රමයක් සකස් කරනවා.එතකොට නගරයට එන බස් ප්‍රමාණය අපිට 5000 සිට 2000 ක් පමණ දක්වා  අඩුකර ගැනීමට පුළුවන්.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා කතා කරමින් මෙසේ කීවේය.කෘෂිකර්මාන්තය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම ඉතාම වැදගත්.කන්දේ හන්දිය ආර්ථික මධ්‍යස්ථානය කළක පටන් වසා දමා තිබෙනවා.එය යළිත් විවෘත කිරීමට පියවර ගැනීම මගින් ගොවීන්ට විශාල සෙතක් සැලසෙනවා.දඹුල්ලේ ගොවීන්ට අවශ්‍යය පොහොර ප්‍රමාණය තීරණය කිරීම සඳහා ගොවීන්ගේ තොරතුරු ඇතුළත් නිසි දත්ත පද්ධතියක් නොතිබීම නිසා අපි විශාල අසීරුතාවකට පත්වුණා.එය මඟ හරවමින් කෘෂිකර්ම අමාත්‍යාංශය දත්ත පද්ධතියක් සකස් කිරීමත් ඉතා හොඳ දෙයක්.මිල්කෝ සමාගමට කිරි ලබාදෙන ගොවීන්ට එම අවස්ථාවේදීම තමන් දෙන කිරි ප්‍රමාණය හරියට දැන ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කරන්න ඕන.ගොවීන් ගෙන් කිරි ගත්තට පස්සේ සල්ලි දෙන්නේ සති දෙක තුනකට පස්සේ.ලබාදුන් නියම කිරි ප්‍රමාණයට මුදල් ගෙවලද කියලා ගොවීන් දන්නේ නැහැ.මහනුවර නගරයේ ත්‍රිරෝද රථගාල් සියල්ල නගර සභාව සමඟ එක්ව සලකුණු කර තිබෙනවා.ත්‍රිරෝද රථ රියදුරන්ට වෙනම ඇඳුමක් ලබාදීම සම්බන්ධවත් අපේ අවධානය යොමුව තිබෙනවා.මධ්‍යම පළාත් ප්‍රවාහන අධිකාරියේ ආදායම් අඩුවීම නිසා සේවක වැටුප් ගෙවීම පවා අසීරු වී තිබෙනවා.මේ සඳහා අවශ්‍යය මුදල් අපි පළාත් සභාවෙන් ලබා දෙන්නේ.මේකට දිගටම කරන්න බැහැ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ උදයන කිරිඳිගොඩ,මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයින් හා රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි වූහ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *