අලුත්ම ව්‍යවස්ථාවක් වෙනුවෙන් පෙනී සිටින බව මැදගම ධම්මානන්ද හිමි පවසති

පාට පක්ෂ බේදයක් නොමැතිව ජනතාවගේත් විරුද්ධ පක්ෂවලත් අදහස් වලට කන්දී රටට ගැලපෙන පොදුවේ සෑම දෙනාටම ගැලපෙන ආකාරයේ ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම රජයේ වගකීම බව අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ පවසති.
විසිවන සංශෝධනය සම්බන්ධයෙන් නොයෙක් විවේචන එල්ල වුවත් එහි සාධනීය ලක්ෂණ රැසක් තිබෙන බවද උන්වහන්සේ කීහ.

ලේඛකාධිකාරී නාහිමියෝ එසේ පැවසුවේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සාමාජික පිරිසක් සමඟ හිටපු කතානායක කරූ ජයසූරිය මහතා උන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ධම්මානන්ද නාහිමියෝ මෙසේද කීහ.විවිධ කාල වකවානුවල දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්බන්ධයෙන් විවිධ අදහස් පළවුනා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විෂය සංශෝධන ඇති වුණා. මහා සංඝරත්නය වශයෙන් අපේ බලාපොරොත්තුවත් මේ අවස්ථාවේ සියලු දෙනාගේම අදහස් උදහස් අරගෙන ඒවා සමාලෝචනය කරමින් රටට කාලීනව ගැලපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමයි. ජනතාව ඉල්ලා සිටියෙත් ඒ දේම තමයි. ඒ අනුව තමයි 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් යම් කිසි කතා බහක් ඇති වුණේ.

අපි දන්න තරමින් මේ වන විට ඉදිරිපත්ව තිබෙන සංශෝධනයේ යම්කිසි සාධනීය ලක්ෂණ තිබෙනවා. අපි දන්නවා රාජ්‍ය පාලනය කළ ඇත්තෝ යම් යම් අවස්ථාවල තමන්ට වාසිදායක වන ආකාරයට අවස්ථානුකූලව සංශෝධන ඉදිරිපත් කිරීමට කටයුතු කළා. අපි ඒවා දැක්කා. අපිත් ඒවා නොදන්නවා නොවෙයි. එනිසා නව සංශෝධන ගෙනෙන විට මහජනතාවගේ අදහස් අරගෙන ඒවා සමාලෝචනය කිරීමෙන් උකහා ගැනීමෙන් තමයි ඒ කටයුතු කලයුතු වෙන්නේ.ඉන් අනතුරුව මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති කෙටුම්පතට අමතරව අග්‍රාමාත්‍යතුමා විසින් ස්ථාපිත කළ කමිටුවට ඒවා යොමුකොට සමාලෝචනය කළ යුතුයි. දැන් අමාත්‍ය මණ්ඩලය වැඩියි කියන එක ගැන කතාබහ වෙනවා. ඒ එක්කම පසුගිය කාලයේ පැවති රජයන් පක්ෂයක් දෙකක් සම්බන්ධ කරගෙන ජාතික ආණ්ඩු කියලා ඇමති මණ්ඩලය තමන්ට ඕන විදියට වැඩි කර ගත්තා. කොයි කවුරු රාජ්‍ය පාලනය කරද්දී අවස්ථානුකූලව තමන්ට අවශ්‍ය ආකාරයට අවශ්‍ය දෙය කරගත්තා.ඒ නිසා අපි මෙතනදි රජයෙන් බලාපොරොත්තු වෙන්නේ පාට පක්ෂ භේදයක් නැතිව ජනතාවගේ අදහස්, විරුද්ධ පක්ෂවල අදහස් පිළිබඳවත් අවධානය යොමු කරමින් රටට ගැලපෙන පොදුවේ සෑම දෙනාටම ගැලපෙන විදියේ ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමයි.පවතින ව්‍යවස්ථාව හා පසුගිය කාලයේ ඇතිකරගත් මහජන අදහස් හා ලබාගත් කරුණු කාරණා අදාළ කමිටු මගින් සාකච්ඡා වූ කරුණු කාරණා ඒකරාශී කරගෙන ඉතා ඉක්මනින් කඩිනමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කර ගැනීමට අවශ්‍ය පසුබිම දැන් නිර්මාණය වී තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය මූලාශ්‍ර දැන් නිර්මාණය වී තිබෙනවා. එවැනි නව රටට ගැලපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කාලීනව අවශ්‍යයි කියන මතයේ අපි ඉන්නවා. එබැවින් කළ යුත්තේ අපි දැන් කඩිනමින් රටට ගැළපෙන නව ව්‍යවස්ථාවකට යාමයි.

දැන් මේ කතිකා වෙන්නේ පවතින 19 වන ව්‍යවස්ථාව අහෝසි කොට 20 වන ව්‍යවස්ථාවකට යාම පිළිබඳවයි. ඉදිරිපත් කොට ඇති කෙටුම්පතේ යම් සාධනීය ලක්ෂණ තිබෙනවා නම් ඒවා රඳවා ගෙන උදාහරණයක් වශයෙන් ද්විත්ව පුරවැසි භාවය වැනි දේ සමාලෝචනය විය යුතුයි. ව්‍යවස්ථාවක් යනු මේ වන විට රට පාලනය කරන පිරිසට පමණක් සීමා විය යුතු දෙයක් නෙවෙයි. අනාගතයේ මේ රට කවුරු පාලනය කරයිද කියන්න අපි දන්නේ නෑ. ඒ නිසා ඒවැනි දෑ පිළිබඳව නිසි අවධානය යොමු කරගෙන තමයි ව්‍යවස්ථාවක් නිර්මාණය විය යුත්තේ.20 ව්‍යවස්ථා කමිටුව සම්පාදනය කොට තිබෙන කෙටුම්පතෙහි ඇතැම් යම් යහපත් ලක්ෂණ අපි දකිනවා. පාර්ලිමේන්තුව විසිරවීම වැනි දෑ සම්බන්ධයෙන් අපි පසුගිය සමයේ හේතු කාරණා දුටුවා. පවතින ව්‍යවස්ථාව සමාලෝචනය කිරීමේදී ඒකෙ දෙපැත්තක් තිබෙනවා. පසුගිය කාල පරිච්ඡේදය තුළ රටේ නායකත්වයන් එකමුතුව තීරණ නොගැනීමේ ප්‍රතිඵල තමයි අපි අත්වින්දේ. එම තත්ත්වය රටේ ජාතික ආරක්ෂාවට පවා තර්ජනයක් වූ බව අපි කවුරුත් පිළිගත යුතු කාරණයක්. එවැනි දෑ පිළිබඳව විශේෂයෙන් සලකා බලා නව සංශෝධන සිදු විය යුතුයි. මේ අවස්ථාවේ අපේ රටට ගැළපෙන අලුත්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කරගැනීම තමයි මහා සංඝරත්නය වශයෙන් අපේ අදහස වන්නේ.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *