අවවරප්‍රසාදීන්ගේ අධ්‍යාපනයට ඇන්න කොවිඩ් ගොනා

නිල වාර්තාවලට අනුව 2019 දෙසැම්බරයේ චීනයේ වූහාන් නගරය තිඹිරිගෙය කරගනිමින් ඇරඹි කොවිඩ් 19 වසංගතය ආසන්න වශයෙන් ලංකාවේ සමස්ත ජනගහණයට සමාන ලෝවැස්සන් පිරිසකට ආසාදනය වී හමාරය. එපමණක් ලෝවැස්සෝ මාරාන්තික රෝගයේ ගොදුරු බවට පත් වූවද තවමත් ස්වභාවික ප්‍රතිශක්තිකරණ උත්පාදනයේ සීමාවට ලඟාවීමට තරම් ප්‍රමාණවත් ආසාදිතයන් ගණනක් වාර්තා වී නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ බලධාරීහු පවසති. මේ වූ කලී සමස්ත ලෝකයේ ආර්ථික හා සමාජයීය වශයෙන් ක්ෂේත්‍ර ගණනාවක අවපාතයන් තවදුරටත් අපේක්ෂා කිරීමට හේතු වන තත්ත්වයක් වෙද්දී අඩු ආදායම් ලාභී හා ආන්තික ප්‍රජාවන් රෝගයෙන් බිහිසුණු ලෙස බැටකන බව ලොව පුරා උදාහරණවලින් පැහැදිලි වේ. ඔවුන් එලෙස බැට කන්නේ වෛරසයට ගොදුරුව රෝගීන් බවට පත්වීමෙන් පමණක් නොවේ. ආර්ථිකය බිඳවැටීමෙන් ආරම්භ වී ආන්තිකකරණයට දැනටමත් ගොදුරුව සිටින නිසා අහිමිවන සෙසු සමාජ වරප්‍රසාද තවදුරටත් ගිලිහීමේ අබග්ගයට මුහුණ දීමටද ඔවුන්ට සිදු වේ. දකුණු ආසියාවේ කොවිඩ් විපතට ගොදුරු වූ ඉන්දියාව දැඩි පීඩනයක වෙලී සිටියදී ලංකාවේද ප්‍රධාන ධාරාවෙහි අවධානයට භාජනය නොවූ කම්පනීය තත්ත්වයන් ඇති  බව සැඟවිය යුතු නොවේ. ආසියා පැසිෆික් කලාපයේ වෙනත් රටවල මෙන්ම ශ්‍රී ලංකාවේද ආන්තික ප්‍රජාවන්හී සාමාජිකයෝ පසුගිය කාලයේ කළ සීමා කිරීම් නිසා උද්ගත වූ  අවකාශයීය කොටු වීම් හේතුවෙන් මානසික ආතතිය හා අපගාමී චර්යාවන්ටද ගොදුරු වූ අවස්ථා පවතින අතර අධ්‍යාපන සංවර්ධන සන්ධානය එවැනි ප්‍රජාවන්හී තරුණ කණ්ඩායම් ඇසුරේ කළ සමීක්ෂණයකදී මාර්ගගත (ඔන්ලයින්) පහසුකම් සීමිත වීම නිසා සහ අවකාශ සීමා නිසා ඔවුන්ගේ අධ්‍යාපනය කඩා වැටී ඇති අන්දමද හෙළිදරව් කරගෙන තිබේ.

කොවිඩ් 19 ගැහැට මැද ගැහැට

ආසියා පැසිෆික් කලාපීය මූලික සහ වැඩිහිටි අධ්‍යාපනය ආයතනයේ හා අධ්‍යාපන සංවර්ධන සංවිධානයේ ඒකාබද්ධ ප්‍රවේශයෙන් සිදු කෙරුණු මෙම අධ්‍යනයට අනුව කොවිඩ් 19  නිසා අවධානම්කාරී ප්‍රජාව බවට පත් වූයේ දැනටමත් ආන්තික හා අවවරප්‍රසාදිත ජන පිරිසය. පනවන ලද පොලිස් ඇඳිරි නීතිය සහ  මහජන ගැවසීම් සීමා කිරීම නිසා ඔවුන් බහුතරයකගේ එදිනෙදා ආදායම් මාර්ග ඇහිරී යාමෙන් ප්‍රශ්න වඩාත් බැරෑරුම් තත්ත්වයකට පත් විය. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක පහක් පුරා දියත් වූ මේ අධ්‍යනයේදී ඔවුන් විශේෂයෙන් සොයා බලා තිබුණේ ආන්තික ප්‍රජාවන්හී තරුණ කණ්ඩායම්වල අධ්‍යාපනයට කොවිඩ් 19 නිසා එල්ල වූ බලපෑම පිළිබඳව ය. 2000 වසරේ සිදු කරන ලද ජන සංගණනයට අනුව මෙරට ජනගහණයෙන් සියයට 28ක් තරුණ ප්‍රජාව වන අතර ඉන් සියයට 75ක් ජීවත් වන්නේ ගම්බද හා දුෂ්කර ප්‍රදේශවල බව හඳුනා ගනු ලැබ ඇත. මෙරට තරුණ ජනගහණයේ සාක්ෂරතා අගය සියයට 95 ඉක්මවා ගියද 2019 වසරේ දත්තවලට අනුව ඔවුන් අතර රැකියා විරහිත බවේ අගය සියයට 21 ඉක්මවා යයි. ඊට බලපාන ප්‍රධාන හේතුව ලංකාවේ අධ්‍යාපනය ශ්‍රම වෙළඳපොල ආමන්ත්‍රණය කිරීමට අපොහොසත් වීම වන අතර කොවිඩ් 19 වසංගතය එල්ල කරන බලපෑම නිසා බිඳ වැටෙන හා අහිමිවන අධ්‍යාපන පහසුකම් තත්ත්වය වඩාත් ඛේදජනක ස්වරූපයකට පත්කරනු ඇත. බලධාරීන් සතුව ඒ සඳහා සැළසුම් සහගත පිළියමක් තවම පෙනෙන්නට නොතිබියදී වඩාත් ගැහැටට පත්වනු ඇත්තේ ආන්තික හා අවවරප්‍රසාදිත තරුණ ප්‍රජාවන් ය. මාර්තු මස මුල්භාගය වනවිට සංචරණ සීමාකරමින් ඇඳිරි නීතිය පැනවීම හා පාසල් වසා දැමීම සිදු කිරීම නිසා අධ්‍යාපනයටද ඍජු ලෙස බලපෑම් කිරීමට නව කොරෝනා සාර්ස් වයිරසය සමත් විය. අධ්‍යාපන සංවර්ධන සන්ධානයේ මේ අධ්‍යනයට අදාලව අදහස් දැක්වූ දත්ත දායකයන් සියලු දෙනාද සිය හිස් මත පතිත වූ මේ හෙණගෙඩියේ බලපෑමට ලක්ව සිටි අතර වයිරසය හා එමඟින් උද්ගතව තිබූ ගෝලීය ඛේදවාචකයේ තරම ප්‍රමාණවත් පරිදි අවබෝධ කරගෙන සිටියහ. කෙසේවෙතත් භාෂාමය සීමාවන් පිළිබඳ බලධාරීන්ගේ අඩු සැළකිල්ලේ විපාක වශයෙන් වතු ජන ප්‍රජාවේ තරුණ කොටස් සහ සන්නිවේදන ඌණතා සහිත ආබාධිත පිරිස් සාම්ප්‍රදායික නොසළකා හැරීමට ගොදුරුව සිටින නිසා අඩුවෙන් දැනුවත් ව සිටි බවද අධ්‍යයන වාර්තාව පෙන්වා දෙයි.

ගැහැටට ලක් වූවන්ගේ අත්දැකීම්

අධ්‍යනයට අදාලව අදහස් දක්වා තිබූ මුස්ලිම් වාර්ගික අඩු ආදායම් ලාභී පවුලක තරුණියක කොවිඩ් 19 මැද වාර්ගික නොසළකා හැරීම සහ වෛර සහගත ප්‍රතිචාර දැක්වීම තීව්ර වූ අන්දම පිළිබඳව පෙන්වා දී තිබේ. “අපි ජීවත් වුණ ප්‍රදේශයේ  වසර ගණනාවක් පුරා සාමයෙන් සහ සහෝදරත්වයෙන් යුතුව හැමෝම  එකට හිටියා. මේ හැමෝම මගේ හිතවතුන් කියලයි මම සිතාගෙන සිටියේ. ඒ උනාට අපේ  පවුලට කොවිඩ් හැදුනම කිසිම කෙනෙක් අපට උදව් කරන්න කැමැති උනේ නැහැ ඒ අයටත් කොවිඩ් බෝකරන්නෙ අපි කියල චෝදනා කරා.” යනුවෙන් සිය අත්දැකීම  විස්තර කළ ඇය පෙන්වා දී තිබුණේ එමඟින් තමන් තුළ ඇති වූ මානසික ආතතිය හා කම්පනය අධ්‍යාපන කටයුතුවල නියැලීමට බාධාවක් වූ බවයි. එසේම මාර්ගගත අධ්‍යාපන පහසුකම් වෙත යොමුවීමටද එසමයෙහි ඒකාග්‍ර මනෝභාවයක් පවත්වා ගත නොහැකි වූයේ සමාජ මාධ්‍ය ඔස්සේ දියතු වූ පාලනයකින් තොර පහරදීම් නිසා බව ඔවුන්ගේ අත්දැකීම් විශද කරවයි.

නාගරික පැල්පත්වාසී ප්‍රජාවන්ගේ තරුණ පිරිස්ද මෙම අධ්‍යනයේදී දත්ත දායකයන් ලෙස අදහස් දක්වා තිබුණි. එවැනි එක් තරුණයෙකු විස්තර කළේ, අසල්වැසියන් විසින් තමන් කොන්කර ඇති නිසා එය මහත් මානසික බලපෑමක් ඇතිකිරීමට හේතුවී ඇතැ බවයි. මෙම තත්ත්වය හමුවේ තම අධ්‍යයන කටයුතු සිදුකරගැනීම අපහසු බවත් ඔහු  වැඩිදුරටත් පවසා සිටියේය. කොවිඩ් වසංගතය නිසා ඇතිවූ අපහසුකාරී තත්ත්වය මගින් තුලනාත්මකව වැඩි බලපෑමක් නාගරික ප්‍රජාවට ඇතිවී තිබේ. විශේෂයෙන්ම සංවරණ සීමාකිරීම් හමුවේ ඔවුන්ගේ ජීවන අවකාශයන් ඉතාමත් සුලූ ඉඩකඩකට සීමාවී ඇත. එකම නිවසක පවුල් කිහිපයක් ජීවත් වීම නිවස තුළ ඉඩකඩ සීමාවීම පොදු අවකාශයන්ට පිවිසීමට අවස්ථාව නොලැබීම යනාදිය මගින් ඔවුන්ගේ මානසික තත්ත්වයට දැඩි බලපෑමක් එල්ලවී තිඛෙන බව පැහැදිලි විය.

“අපේ ගෙදර සියලූම දේ කිරීමට තියෙන්නේ මේ කාමරේ විතරයි. දැන් කාටවත් එළියට යන්න බැරි නිසා පවුලේ හැමදෙනාම ගෙදර සිටිනවා. එතකොට අපට පාඩම් කරන්න අමාරුයි. ගෙදර කරන්න වෙන වැඩක් නැති නිසා හැමෝම රුපවාහිනිය බලනවා. එතකොට අපිටත් බලන්න හිතෙනවා. යැයි තමන්ගේ අධ්‍යාපනයට බාධා සිදුවූ නාගරික ආන්තික පවුලක තවත් තරුණයෙකු මෙම අධ්‍යනයේදී පවසා තිබුණි. නාගරික පැල්පත්වාසී සිසුවියක්

පවසා තිබුණේ අධ්‍යාපනයට සුදුසු නිස්කලංක පරිසරයක් නිවසේ නොමැතිවීම නිසා බොහෝ අවස්ථාවන්හිදී තමන් අධ්‍යයන කටයුතු වල නිරතවන්නේ පාසලේදී සහ පුස්තකාල වැනි පොදු අවකාශයන්හි බවත් අතිරේක උපකාරක පන්ති වලට සහභාගීවීමට අවස්ථාව නොමැතිවීම තුළින් තම අධ්‍යාපන අවස්ථා සහ ඉගෙනීම් කෙරෙහි මෙම වසංගත තත්වය දැඩි බලපෑමක් එල්ල කර තිබෙන බවත් ය.

ඔන්ලයින් ඉගැන්වීමේ නුදුටු පැත්ත

කොවිඩි වසංගත තත්වය ව්‍යාප්තවීමේ අවදානම මත රජය විසින් පාසල් සහ අනෙකුත් සියලූම අධ්‍යාපන ආයතන වසා දැමීමට තීරණය කිරීමට සමගාමීව අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත්වීම මත ජාතික රුපවාහිනියේ එක් නාලිකාවක් අධ්‍යාපන වැඩසටහන් විකාශය කිරීම සඳහාම වෙන් කරනු ලැබීය. සමස්ථයක් වශයෙන් රටේ ජනතාව අන්තර්ජාලයට ප්‍රවේශවීම සහ සහ රූපවාහිනිය නැරඹීම පිළිබඳව සිදුකරන ලද තක්සේරුවකින් පසුව වැඩි පිරිසකට තම නිවසේ රුපවාහිනියක් තිබීමත් එය නැරඹීමට අවශ්‍ය පහසුකම් තිබීමත් යන පදනම මත අධ්‍යාපන වැඩසටහන් රුපවාහිනියෙන් විකාශය කිරීම ආරම්භ කරන ලදී. සිංහල සහ දෙමළ භාෂාවන් දෙකෙන්ම නිශ්චිත කාලසටහනකට අනුව විකාශය කරන ලද මෙම වැඩසටහන් පිළිබඳව අධ්‍යනයේදී අදහස් දැක්වූ දත්ත දායකයන් පවසා තිබුණේ ඔවුන් ගෙන් වැඩි පිරිසක් මෙම වැඩසටහන් පිළිබඳව දැනුම්වත්ව නොසිටි අතර ඒවා නැරඹීමට යොමුනොවූ බවත්ය. අධ්‍යාපනික වැඩසටහන් නැරඹූ බවට ප්‍රකාශ කරන ලද ස්වල්පදෙනාගේ අදහස වූයේ ඒවා විකාශය වූ  කාලසටහන් පිළිබඳව ප්‍රමාණවත් දැනුම්දීමක් සිදුනොවු බවය. නිවසක තිඛෙන්නේ එකම රුපවාහිනියක් බවත් නිවසේ සාමාජිකයින් සියලූදෙනා පාහේ රුපවාහිනිය නැරඹීමට යොමුවී ඇති අවස්ථාවල අධ්‍යාපන වැඩසටහන්වලට සහභාගීවීම දුෂ්කර බව නාගරික ප්‍රජාව නියෝජනය කළ තරුණ පිරිස පවසා සිටියහ.

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අධ්‍යාපනය ලබාදීම වඩාත් ප්‍රචලිතවීමත් මෙම සමයේදී දක්නට ලැබිණි. ග්‍රාමීය ප්‍රජාව නියෝජනය කරන ලද සිසුන් හැරුණු කොට අනෙකුත් ප්‍රතිචාරකයින් තමන්ගේ අධ්‍යයන කටයුතු වට්ස් ඇප් වයිබර් වැනි සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ යම්තාක් දුරකට සිදුකළ බව දක්නට ලැබුණි. මීට අදාලව බොහෝ අවස්ථාවන්හි දී සිදුව තිබුණේ ගුරුවරුන් විසින් පාඩම් සකස් කර ඒවා සිසුන්ගේ සමාජමාධ්‍ය ගිණුම් වෙත යොමු කිරීමයි. මෙම අධ්‍යයනයට සහභාගී වූ තරුණ සිසුන් විසින් දක්වන ලද අදහස් වලට අනුව විධිමත් අධ්‍යාපනය සිදුකළ නොහැකි මෙවැනි වාතාවරණයකදී මෙම විකල්ප අධ්‍යාපන ක්‍රමය ඔවුන් විසින් ඇගයීමට ලක්කරන බව හෙළිිවිය. නමුත් හුදු දේශන ආකාරයට ක්‍රියාත්මක වන මෙැවනි ප්‍රවේශයකදී සිසුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ තක්සේරුව සහ ඔවුන්ගේ සාධන මට්ටම් පිළිබඳව නිශ්චිත නිගමන වලට එළැඹීම දුෂ්කරවේ.

“අපට මේ දවස්වල කිරීමට නියමිත පාඩම් අපගේ ගුරුවරිය එවනවා. ඊට අමතරව අපිට ප්‍රශ්න පත්‍ර එවනවා. අපි ඒවට පිළිතුරු ලියනවා. පාසල් පටන් ගත්තට පස්සේ මේ ප්‍රශ්න සාකච්ඡා කරනවා කියල අපිට දැනුම් දුන්නා” යැයි පැවසීමට පමණක් ඔවුන්ගේ ප්‍රතිචාරය සීමා වූයේ එහෙයිනි.

අන්තර්ජාලය පදනම්කරගත් ඉගැන්වීම් වෙත ප්‍රවේශවීමට පවත්නා ප්‍රධාන බාධාව ලෙස මෙහිදී අනාවරණය වූයේ අවශ්‍ය පහසුකම් නොමැතිවීමයි. සමාජ මාධ්‍ය ජාලාවලට පිවිසීමට අවශ්‍ය පහසුකම්වලින් යුත් දුරකතන නොමැතිවීම, අන්තර්ජාලයට සම්බන්ධවීමේදී සිදුකළ යුතු ගෙවීම් සඳහා මුදල් නොමැතිවීම, අන්තර්ජාල සම්බන්ධතාවන් හි පවත්නා දුර්වල තත්වයන් යනාදිය මෙහිදී කැපීපෙනේ. මෙයට අමතරව ශ්‍රී ලංකාවේ පාසල් ළමුන්ට ජංගම දුරකතන භාවිතාකිරීමට පාසල්වලින් අවසර ලබානොදේ. ළමුන් බොහොමයක් අවස්ථාවන්හිදී භාවිතා කරන්නේ තමන්ගේ දෙමාපියන්ගේ ජංගම දුරකතනය. නමුත් ඔවුන් නිවසේ රැඳී නොසිටින අවස්ථාවන්හිදී මේ පහසුකම ලබාගැනීමට ඔවුන්ට නොහැකිවේ

“අපේ ගෙදර කාටවත් ස්මාර්ට් ජංගම දුරකතනයක් නැහැ. ඒ නිසා මට මේ පන්ති වලට සහභාගී වෙන්න ලැබුනේ නැහැ ඉතින් මම මගේ අසල්වැසි ගෙදරක අක්ක කෙනෙක් ගේ දුරකතනයකින් මේවාට සම්බන්ධවුණා. නමුත් හැමදාම මෙහෙම කරන්න අමාරුයි.”

“මට ස්මාර්ට් දුරකතනයක් හොයාගන්න විදිහක් නැහැ ඒනිසා මට මේ පාඩම් වලට සම්බන්ධ වෙන්න පුලූවන් කමක් නැහැ ඒ නිසා මම යහලූවන්ට කියල අපේ ටීචර් එවන පාඩම් වල ප්‍රින්ට් අවුට් ගන්නවා”

“මට ස්මාර්ට් ජංගම දුරකතනයක් නැහැ. නමුත් අපේ පාසලේ පාඩම් අන්තර්ජාලයෙන් පවත්වනවා. මම මේ වසරේ අපොස සාපෙ විභාගයට පෙනී සිටිනවා. ඒ නිසා මට දුරකතනයක් අරන්දෙන්න අපේ තාත්තා තීරණය කරල. නමුත් එයාට මුදල් නැහැ. ඒ නිසා අපිට රජයෙන් ලැබුුනු සහනාධාර සහ අසල්වැසියන්ගෙන් ණයක් අරගෙන මිළදී ගන්නයි අපි තීරණය කළේ”. වැනි කතා මේ අධ්‍යනයට දායක වූවන්ගේ පොදු අත්දැකීම් අතර විය.

 

ලසන්ත ද සිල්වා

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *