ආණ්ඩුකාරයාගේ නෙරපා හැරීමේ නියෝගයට එරෙහිව මහියංගණ සභාපති උසාවි යයි.

චාමින්ද බුලත්සිංහල – ගිරාඳුරුකෝට්ටේ.

මහියංගණ ප්‍රාදේශීය සභාවේ 2021 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අය වැය තෙවන වරටත් පරාජය වීම හේතුවෙන් එහි සභාපතිවරයා තනතුරෙන් ඉවත් කිරීමට ඌව පළාත් ආණ්ඩුකාරවරයා විසින් කළ නියෝගයට අනුව නව සභාපතිවරයෙකු පත් කර ගැනීම සඳහා ඡන්ද විමසීමක් 2020/12/30වැනි දින පැවැත්වීමට කටයුතු යොදා තිබුණු නමුත් ඌව පළාත්බද මහාධිකරණයෙන් ලද නියෝගයක් මත මෙම ඡන්ද විමසීම අත් හිටුවන ලදී.

ඌව පළාතේ පළාත් පාලන කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් මෙම ඡන්ද විමසීම පැවැත්වීමට සූදානම් කර තිබුණු අතර හිටපු සභාපති කරූ වීරරත්න මහතා විසින් මෙලෙස අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා ගෙන ඇත.

මේ පිළිබඳව අදහස් දැක්වූ සභාපති කරූ වීරරත්න මහතා, “ඌව පළාතේ ආණ්ඩුකාරවරයා විසින් පළාත් පාලන ආයතන සඳහා රීති කිහිපයක් දාලා ගැසට් නිවේදනයක් නිකුත් කරලා තිබුණා. එම ගැසට් නිවේදනයේ රීතීන් උල්ලංඝනය කළා කියලා තමයි මාව තනතුරෙන් පහ කළේ. පළාත් පාලන ආයතන පනතට අනුව නම් මම වරදක් කරලා නැහැ. අයවැය පරාද වුනත් පනතේ කියන්නේ අනෙකුත් මන්ත්‍රීවරුන්ගේ යෝජනා පිළි නොගන්නේ නම් සභාපතිවරයා ඉවත් වෙන්න ඕන කියලයි. පිළි ගන්නේ නම් නැවත සංශෝධන සහිතව අය වැය ඉදිරිපත් කිරීමයි කරන්න ඕනෙ. ආණ්ඩුකාරවරයාගේ මේ අත්තනෝමතික තීන්දුවට එරෙහිව මම ඌව පළාත් බද මහාධිකරණයට පැමිණිළි කළා. අනෙකුත් සභාපතිවරුන්ටත් මේ අසාධාරණයට මුහුණ දෙන්න වෙන නිසයි ඒ. කොහොම වුනත් මේක අධිකරණයේ පවතින ක්‍රියාවක් අධිකරණයෙන් දින 14කට යළිත් මගේ සභාපතිධූරය නීත්‍යානුකූල කළා. අපි කවුරුත් අධිකරණයට හිස නමන්න ඕන. මෙහෙම සිදුවීමක් ලංකා ඉතිහාසයේ පළමුවැනි වතාවටයි සිද්ධ වෙන්නේ.දින 14කින් පසුව බලමු අධිකරණයේ තීරණය යැයි පැවසීය.”

මේ පිළිබඳව අදහස් දැක්වූ මහියංගණ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුදත් බලගල්ල (ජ.වි.පෙ) මහතා. “සභාපතිවරයාගේ ක්‍රියා කලාපය අපැහැදිලි නිසා නීතියට අනුව තමයි ඔහු ඉවත් කළේ. සභාපතිවරයා තව දවස් දහ හතරක්නේ ඉන්නෙ. සතුටින් හිටියාවේ. ඊට පස්සේ ජනතාවාදී තීන්දුවක් ලැබෙයි. එතකොට සභාපතිවරයා හතරවැනිවරටත් පරාජය වෙනවා. ඒක නිසා සභාපතිතුමා වාර්තා පොතටත් ඇතුළු වෙනවා.” යැයි පැවසීය

ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී පූජ්‍ය වටරැක විජිත(ස්වාධීන)හිමි, “සභාපතිවරයා ඉවත් කළේ නීත්‍යානුකූලවයි. ලිඛිත නියෝගයකින් තමයි ඉවත් කළේ. ලජ්ජාව ඉවසන්න බැරි කමට උසාවියට ගිහින් තියෙන්නේ .අපි ඒ තීරණයට හිස නමලා අද මෙතැනින් යනවා.දවස් දහහතරකට පස්සේ බලමුකෝ.” යැයි පැවසීය.

ඌව පළාත්බද මහාධිකරණයේ නියෝගය මත කරූ වීරරත්න සභාපතිවරයා 30වන දින පටන් දින දහ හතරක් යනතුරු යළිත් මහියංගණ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ඇත.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *