ආණ්ඩුව ජනතාවට ඇහුම්කන් දෙන බව කබ්රාල් කියයි.

වත්මන් රජය ඇහුම්කන් දෙන්නේ ලෝක බැංකුවට,ජත්‍යන්තර මූල්‍ය අරමුදලට හෝ ලෝකයේ බලගතු රටවල් වලට නොව මෙරට ජනතාවට බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

පසුගිය රජය ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවේ ඔවුන් ජනතාවට ඇහුම්කන් නොදී ලෝක බැංකුවේ,ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝකයේ බලගතු රටවල හඬට පමණක් කන්දුන් නිසා බවද ඒ මහතා කීය.

මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ පැවැති ජනහමුවකින් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කබ්රාල් මහතා මේ බව ප්‍රකාශ කළේය.

පසුගිය රජය 2019 වසරේ මැයි මාසයේදී නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ඉන්දියාව හා ජපානය සමඟ එම්.ඕ.යූ ගිවිසුමක් අත්සන් කළ බවත් වත්මන් රජය බලයට පැමිණ අලුත් වැඩපිළිවෙළක් රටට ඉදිරිපත් කළ බවත් කී ඒ මහතා ඒ අනුව වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති අනුව කටයුතු කිරීමේදී අදාළ ගිවිසුමේ ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යා නොහැකි බව එම රටවල් වලට දැනුම් දුන් බවද ප්‍රකාශ කළේය.

එලෙස කටයුතු කිරීමේදී යම් යම් ප්‍රශ්න මතුවීමේ අවධානමක් තිබෙන බවත් ඒවා සම්බන්ධව සාකච්ඡා පවත්වමින් රටවල් අතර පවතින සම්බන්ධතා වලට පළුදු නොවන ලෙස විසඳා ගැනීම වැදගත් බවත්  හෙතෙම අවධාරණය කළේය.

එම්.සී.සී ගිවිසුමෙන් රටක් ලෙස අප ඈත් වනවිට ඒ රටවල් යම් යම් ප්‍රශ්න ඇති කිරීමේ ප්‍රවනතාවක් මතුවන බවත් මේවා රටක් ලෙස අපට අභියෝගයක් නොවන ලෙස විසඳා ගැනීම වත්මන් ආණ්ඩුවේ අභිලාෂය බවත් රාජ්‍ය ඇමැතිවරයා පැවසුවේය.

ඉන්දියාවෙන් ලබාගෙන තිබෙන ණය ගෙවිය යුතු වෙලාවට ගෙවා තිබෙන බවත් යළි ණයක් අවශ්‍යය නම් ඉල්ලීමේ හැකියාව තිබෙන බවත් ඒ මහතා කීය.

වසර පහක් බලයේ සිටියත් පසුගිය රජයට පොලී අනුපාත අඩු කිරීමට නොහැකි වූ නමුත් වත්මන් රජය එය සිදුකළ බවත් ලීසීං වාරිකය ගෙවීමේදී.නිවාස ණය ගෙවීමේදී ජනතාවට මේ සහනය හිමිවන බවත් කී කබ්රාල් මහතා තමන්ට කළ නොහැකි දේ වත්මන් ආණ්ඩුව කළ නිසා අද විපක්ෂයට මෙය ගැටලුවක් වී ඇතැයිද අවධාරණය කළේය.

මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ වසන්ත යාපා බණ්ඩාර මහතාද සහභාගි විය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *