ආදරය සිත්තම් කරමු ….

පොදු ස්ථාන වල පවත්නා පාළුවට ගිය බිත්ති තාප්ප තරුණ කණ්ඩායම් විසින් චිත්‍රණය කිරීමේ වැඩපිළිවෙළ දැන් බෝවන රෝගයකටත් වඩා වේගයෙන් රට පුරා ව්‍යාප්ත වෙමින් තිබේ. ලංකාවේ ප්‍රධාන නගර සියල්ල පුරාම යමින් තිබෙන මෙම වැඩපිළිවෙළ සංවිධානය වූයේ මුහුණු පොත ඔස්සේය. ෆේස් බුක් නොඑසේ නම් මුහුණු පොත් ගිණුම් මිලියන හයක පමණ ලංකාවේ ක්‍රියාත්මකය. එකම පුද්ගලයා නම් දෙක තුනකින් පවත්වා ගෙන යන ගිණුම්ද මෙයට අන්තර්ගය. උහන පිහන කටයුතු වලට මෙන්ම අපරාධ වලට පිහිය පාවිච්චි කළ හැකිසේ මුහුණු පොතද මේ හොඳට හා නරකට භාවිත කළ හැකි බව පෙන්වා දීමට උදාහරණ ඕනෑ තරම් පසුගිය කාලයේදී දක්නට ලැබිණි. සිරිපා වන්දනාවට පැමිණි පිරිස් නොමන ලෙස පරිසරයට මුදා හරින ලද දිරාපත් නොවන අපද්‍රව්‍ය ඉවත් කර පරිසර සුරැකීමේ වැඩසටහන් සඳහා ෆේස් බුක් ඔස්සේ තරුණ තරුණියන් සංවිධානය වෙත්දී තවත් කොටසක් කළේ හෝටල් වලට එක්ව මත්පැන් සාද පැවැත් වීමය. මේ ආකර සුබ අසුබ සිදුවීම් වලින් පිරී තිබෙන මුහුණු පොතෙන් මතුවූ අලුතුම ක්‍රියාවලිය ප්‍රධාන නගර වල තාප්ප පුරා චිත්‍ර ඇඳීමය. රැල්ලක් මෙන් රට පුරා වේගයෙන් පැතිර ගිය මෙම වැඩපිළිවෙළ සම්බන්ධව දෝෂාරෝපන ඉදිරිපත් කිරීමට ඉදිරිපත්වූ පිරිස ඉතා අල්පය. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම වැඩපිළිවෙළ අගය කර තිබිණි.

ජවසම්පන්න තාරුණ්‍යය තුළ ගැබ්ව තිබෙන කැපවීම, උනන්දුව, සංවිධාන ශක්තිය මෙන්ම නිර්මාණ ශීලීත්වය ඉස්මතුවූ අවස්ථාවක් ලෙස මෙය පෙන්වා දීමට පුළුවන. ඉවුරු සීමාව තුළ ගඟක් ගලායන විට සුන්දරය. යම් හේතුවකින් ඉවුරු සීමා බිඳ ගඟ පිටාර ගැලුවහොත් එමඟින් සිදුවන්නේ පෙර කී සුන්දරත්වය අතුරුදන් වීමය.මේ චිත්‍ර ඇඳීමේ වැඩපිළිවෙළටද එම කාරනය පොදුය. බැලූ බැල්මට මේතුළ අපූරු සුන්දරත්වයක් දැකිය හැකිය. එහි සුන්දර බව රැක ගැනීම හෝ වනසා දැමීම තීරණය වන්නේ මෙය ඉදිරියට ක්‍රියාත්මක වන ආකාරය අනුවය. ජාති හා ආගමික අන්තවාදයට යට නොවී නගර සුන්දර ලෙස චිත්‍රණය කිරීම ඔවුන්ගේ වගකීමය.මහනුවර නගරයේ පොදු ස්ථාන ගණනාවක තරුණ තරුණියන් හත්සියයක් පමණ මේවන විටත් චිත්‍ර අඳිමින් සිටිති. භික්ෂූන් වහන්සේලා මෙන්ම සෙසු ආගමික තරුණ කණ්ඩායම්ද මෙයට එක්ව සිටිති. භික්ෂුන් වහන්සේ නමක් හා මුස්ලිම් තරුණියක එකම ස්ථානයක චිත්‍ර අඳිනු ලබන ඡායාරූපයක් සමාජ මාධ්‍යය ඔස්සේ ප්‍රචලිත වෙත්දී ප්‍රධාන ධාරාවේ මාධ්‍යයද එයට ප්‍රමුඛත්වයක් ලබාදෙනු අයුරු දක්නට ලැබිණි. මෙම ඡයාරූපය පිළිබඳව සමාජ අවධානය වැඩි වශයෙන් යොමුවීම තුළම අප කතා කළ යුතු ප්‍රශ්නයක් සමාජයේ පවතින බව තේරුම් ගත හැකිය.

විශේෂයෙන් මහනුවර දිගන ආශ්‍රිතව ඇතිවූ සිද්ධියෙන් පසු සිංහල හා මුස්ලිම් ප්‍රජාවන් දෙක අතර කිසියම් ඈත් වීමක් ඇතිවූ බව අප අවංකව පිළිගත යුතුව තිබේ. පාස්කු ප්‍රහාරය මගින් එම දුරස් බව තවත් වර්ධනය වූ අතර පසුගිය ජනපතිවරණයේදී සිංහල බෞද්ධ ජනතාව එක් පැත්තකටත් සුළු ජාතික කණ්ඩායම් තවත් පැත්තකටත් යොමු වීමට තරම් එය ප්‍රබල විය. තමන්ට ඡන්දය දුන් හා නොදුන් සියලු දෙනාට එක හා සමානව සලකන බව ජනපතිවරයා රුවන් වැලි සෑය අභියස දිව්රුම් දෙමින් ප්‍රකාශ කළේය. මේ ආකාරයෙන් දෙමළ හා මුස්ලිම් ජනතාව තම දේශපාලන ප්‍රතිපත්ති මාලාව තුළට ගොනුකර ගැනීමට ජනපතිවරයා කටයුතු කරමින් සිටින අවස්ථාවක ප්‍රධාන නගර වල පොදු ස්ථානයන්හි චිත්‍ර ඇඳීමේ වැඩපිළිවෙළ දියත් වූයේ මැකී යමින් තිබූ ජනපතිවරණ උණුසුම වෙනත් අතකට තල්ලු කරමිනි. ජනපතිවරණය ගැන මාස ගණනාවක් කළ කතා බහි නිමවී දැන් සැමගේ මුවඟ රැඳී තිබෙන්නේ මේ චිත්‍ර පිළිබඳ කතාය.මුහුණු පොත ඔස්සේ සංවිධානය වී චිත්‍ර අඳින තරුණ තරුණියන්ට කෑම බීම පමණක් නොව චිත්‍ර අඳින්නට අවශ්‍යය තීන්දු පින්සල් ඇතුළු සියල්ල සපයන්නේ ප්‍රදේශවාසීන්ය.

නුවර චිත්‍ර අඳමුද…මේ මුහුණු පොතේ මහනුවර චිත්‍ර අඳින්නට පෙර මුලින්ම සංසරණයවූ වැකියයි. එය තම ෆේස් බුක් ගිණුම ඔස්සේ ප්‍රචාරය කර තිබුණේ උදාර චතුරක නැමැති තරුණයෙකි. මහනුවර විද්‍යාර්ථ විද්‍යාලීය ප්‍රාථමික අංශය ඉදිරිපිටින් ඇරඹි මෙම වැඩපිළිවෙළ තටු ලබමින් මහනුවර පුරා ව්‍යාප්ත වූයේ පවනට බදු වේගයකිනි. හිස් තාප්ප වල වෙන්කර ඇත යනුවෙන් ලියා තබන්නට තරුණ තරුණියන්ට සිදුවූයේ වෙනත් කවුරුන් හෝ පැමිණ එහි චිත්‍රයක් අඳිවි යැයි ඇතිවූ බිය නිසාය. සහයෝගයෙන් ඇතිවූ මෙම සුන්දර වැඩසටහන දැන් ක්‍රියාත්මක වන්නේ තරඟකාරී ස්වරූපයකිනි. රට ලස්සන කරන්නට තරඟයක් අවශ්‍යය නැත.එය කළ යුත්තේ අප හැමෝගෙම සහය මතිනි. එහිදී එක් ජයග්‍රාහකයෙකු හෝ පරාජිතයෙකු නිර්මාණය විය යුතු නැත. සැවොම එකතු වී සාර්ථකව වැඩක් කළහොත් හැමෝම ජයග්‍රහකයෝ වන්නෝය.රට තල්ලු විය යුතුව තිබෙන්නේ එවැනි තැනකටය. මහනුවර යුගයේ චිත්‍ර කලාවට මුල්තැන දෙමින් නගරයේ පොදු ස්ථාන චිත්‍රණය කරන්නට කතිකා කරගත් වැඩපිළිවෙළ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වූයේද යන්න සම්බන්ධව ප්‍රශ්න තිබේ.එසේ වුවත් මහ වැසි නොතකමින් තම අරමුණ කරා යන්නට වෙර දරන තාරුණ්‍යයේ ශක්තියට හා නිර්මාණශීලීත්වයට අප ආචාර කළ යුතුය.

මහනුවර චිත්‍ර ඇඳීමේ වැඩපිළිවෙළ හා සිංහල දෙමළ හා මුස්ලිම් යන සියලු ජාතීන් ගොනුවී සිටිති. මුස්ලිම් කතක් චිත්‍ර නිර්මාණයේ යෙදෙත්දී කන්‍යා සොහොයුරියන් පිරිසක් ඔවුන්ට තේ සමඟ කෙටි අහාර ගෙනවිත් තිබුණි. දෙමළ ජාතික තරුණ පිරිසක් වැස්සෙන් චිත්‍රත් නිර්මාණ කරුවනුත් බේරා ගැනීමය ටෙන්ට් අදින්නට එක්ව සිටියහ. මේ අප සොයන ජාතික සමඟියයි.අපේ රට ලස්සන වෙත්දී ඊට අප සමගේ දායකත්වය ජාති හා ආගම් බේදයෙන් තොරව ලබාදීම වැදගත්ය. පසුගිය දශක කිහිපය තුළ අපගේ චිත්‍ර කලාවට නිසි පිළිගැනීමක් ලබා දීමට වගකිව යුතු අංශ කටයුතු නොකළ බව ප්‍රවීන චිත්‍ර ශිල්පි චාල්ස් දයානන්ද මහතා පවසයි.ජාතික කලාභවන වසර හත අටක් තිස්සේම වසා දමා තිබීමෙන් එය පැහැදිලි වන බව ඒ මහතා පෙන්වා දෙයි. ලංකා කලා සංගමය ආණ්ඩුවට පරිත්‍යාග කළ කලා භවන පවත්වා ගෙන යෑමට සියලු ආණ්ඩු සැලකිල්ලක් නොදැක්වීම සම්බන්ධව ඒ මහතා තුළ දේශපාලනඥයින් සම්බන්ධව ඇත්තේ දෝෂාරෝපණයකි. එවැනි පසුබිමක් තිබියදී මේ ආකාරයෙන් හෝ දේශීය චිත්‍ර කලාව සම්බන්ධව සමජයෙහි කතාබහක් නිර්මාණය වෙමින් ප්‍රබෝධයක් ඇති වීම පිළිබඳව තමන් ඉමහත් සතුටට පත්වන බවද ඔහු පවසයි. ක්‍රමයෙන් වල පල්ලට යමින් පැවැති චිත්‍ර කලාවට මේ ඔස්සේ යම් ජීවයක් ලැබුණු බව පෙන්වා දෙන ඒ මහතා ඒ සම්බන්ධයෙන් මීට මැදිහත්ව කටයුතු කරන සියලු දෙනාට ප්‍රණාමය පුදකරන බවද අවධාරණය කරයි.

අවස්ථා නොමැති කම නිසා සමජය තුළ සැඟව සිටි දක්ෂ තරුණ චිත්‍ර ශිල්පීන් රැසකගේ පුනරාගමනයට මේ ඔස්සේ සිදුව තිබෙන බවද ඔවුන් තුළ පවත්වා දක්ෂතාව, කැපවීම, නිර්මාණශීලීත්වය මෙන්ම වර්ණ සංයෝජනය සම්බධ දැනුම ඉහළ මට්ටමක තිබෙන බවද දයානන්ද මහතා පැවසුවේය. මෙම පිරිස නිසි මඟ පෙන්වීමක් ඔස්සේ ගොඩ නැගුවහොත් එය දේශීය චිත්‍ර කලාවේ හෙට දවස ආලෝකවත් කිරීමට හේතුවනු ඇති බවද හෙතෙම ප්‍රකාශ කරයි. රසවින්දනය ක්‍රමයෙන් ඈත්ව යමින් තිබෙන සමාජයට ක්ෂණිකව ක්‍රියාත්මකවූ වැඩපිළිවෙළ ඔස්සේ නව ප්‍රාණයක් ලැබී තිබෙන නමුත් නිවැරදි කරගත යුතු කරුණු කිහිපයක් තිබෙන බවද ඔහු පවසයි. ඇතැම් ස්ථාන වල චිත්‍රවල තේමාවෙහි අන්තවාදයට බරවූ ජාතිවාදයත් දේශපාලනයත් ගැබ්ව තිබෙන බව පවසන දයානන්ද මහතා යුදවාදී මානසිකත්වයෙන් කලා ශිල්පීන් බැහැර විය යුතු බවද පෙන්වා දෙයි.දුටු ගැමුණු එළාර යුද්ධය මහනුවර බිත්ති වලට ගෙන ඒම කොතරම් දුරට ගැලපෙන්නේද යන කාරනය සම්බන්ධව තරුණ චිත්‍ර ශිල්පීන් උනන්දු විය යුතු බවත් ජාති හා ආගම් වාදී කණ්ඩායම් වල අතකොලු බවට පත්ව තරුණ ශිල්පීන් නිර්මාණ බිහි කරන්නේ නම් එමඟින් සමාජයට සිදුවන යහපතක් නොමැති බවද අවධාරණය කරයි. රණකාමීත්වය පෙන්විය යුතු නම් ඓතිහාසික ගන්නෝරුවේ සටන සිතුවම් කිරීමට කන්ද උඩරටට වඩා උචිත බව පවසන ඒ මහතා තේමාව තෝරා ගැනීමේදී ශිල්පීන් වඩා සැලකිලිමත් විය යුතු බවද ප්‍රකාශ කරයි. දුටුගැමුණු එළාර යුද්ධය සිතුවම් කිරීම ඔස්සේ පැහැදිලි ලෙසම දෙමළ විරෝධයක් මතු කරන්නට උත්සහ කරන්නේ නම් රට ලස්සන කරන්නැයි කියා අප මේ ගන්නා වෑයමෙන් පලක් නොමැති වන බවද හෙතෙම පවසයි.

සිංහල බෞද්ධවාදීත්වය පෙන්නුම් කරන්නට උත්සහ නොකර බුදු දහමට එකඟ චිත්‍ර කලාවක් පෝෂණය කළ හැකි බව පෙන්වා දෙන ඒ මහතා කරුණාව, දයාව, මෛත්‍රිය ආදි සියලු ගුණාංග චිත්‍ර කලාව තුළින් ඉස්මත කළ හැකි බවද පවසයි. චිත්‍ර කලාව යනු එක් ජාතියකට හෝ ආගමකට සීමා නොවූ විශ්ව භාෂාවක් බව පවසන දයානන්ද මහතා සෑම ජාතිකයෙකුටම සෑම ආගමිකයෙකුටම මේ චිත්‍ර බලා රස විඳින්නට පසුබිම තිබිය යුතු බවද ප්‍රකාශ කරයි. යම් නිර්මාණයකින් කිසියම් ජාතියකට හෝ ආගමකට අයත් පුද්ගලයෙකු තුළ සිත් රිදවීමක් වන්නේ නම් එය සාර්ථක නිර්මාණයක් ලෙස පිළිගැනීමට හැකියාවක් නොමැති බව පවසන ඒ මහතා චිත්‍ර කලාව නැමැති විශ්ව භාෂාව තුළින් මානව දායව වර්ධනය කෙරෙන නිර්මාණ සිදු කිරීම වඩා වැදගත් බවද අවධාරණය කරයි. මේ වන විට චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත් වීමට සුදුසු කලාගාර කොළඹින් පිටත නොමැති බවත් චිත්‍ර ශිල්පයට ලැදි තාරුණ්‍යයේ හැකියාවන් හා දක්ෂතාවන් එළි දකිමින් තිබෙන මේ අවස්ථාවේ වත්මන් ආණ්ඩුව එවැනි වැඩපිළිවෙළක් වෙත යොමු වන්නේ නම් එය චිත්‍ර කලාවටත් ශිල්පීන්ටත් කරන්නාවූ ඉහළම සැලකීමක් බවත් හෙතෙම අවධාරණය කරයි.

චාල්ස් දයානන්ද මහතා පවසන මානව දයාවෙන් පෝෂිත චිත්‍ර කාලවක් සඳහා කැපවෙන බොහෝ පිරිසක් තාප්ප වල සිතුවම් මැවීම පිණිස මහනුවරට පැමිණ සිටියහ.හිස් තාප්ප හැඩ කරන්නට එක්ව සිටි මේ අයගේ සිත් බිත්ති තුළින් මතුවන චිත්‍ර වලටත් වඩා සුන්දරය.ඒ සිත්වල ජාති,ආගම්,කුල බේද කිසිවක් නොතිබිණි. කසාවතින් සැරසී බිත්ති මත සිතුවම් මවමින් සිටි පත්කොළ ගොල්ලේ පේමානන්ද හිමි පැවසුවේ සිත්වල උපදින කරුණාව, දයාව, මෛත්‍රිය පදනම් කර ගනිමින් අප සිතුවම් මවන්නට අවශ්‍යය බවයි. බිත්ති, තාප්ප විතරක් ලස්සන වීමෙන් පළක් නොමැති බවත් රට සැබෑ ලෙස සුන්දර වන්නට නම් මිනිස්සුන්ගේ හදවත් ලස්සන විය යුතු බවත් උන්වහන්සේ පැවසූහ. සිව්දරු මවක් වන අස්මා මරියම්ද පැමිණ සිටියේ සිංහල තරුණ තරුණියන් හා එක්ව රට හැඩකරන වැඩපිළිවෙළට සහය වීමටය. රට වෙනුවෙන් යහපත් යමක් කරන්නේ නම් එයට සිංහල, දෙමළ, මුස්ලිම් ලෙස වර්ග නොවී ශ්‍රීලාංකිකයින් ලෙස සැවොම එකතු විය යුතු බව ඇගේ දහමය. පාට හතක් එක්ව සුන්දර දේදුන්නක් සෑදෙන්නා සේ සියලු ජාතීන් එක්ව කරනු ලබන නිර්මාණද සුන්දරය. මුහුණු පොත ඔස්සේ ඇරඹී රටපුරා බිත්ති තාප්ප හැඩ ගන්වමින් ඇඳි චිත්‍ර කාලයත් සමඟ අවපැහැ ගැන්වෙනු ඇත. එහෙත් මේ ඔස්සේ ගොඩ නැගෙන ජාතික හා ආගමික සමඟිය රැක ගැනීමට හැකි වුවහොත් රට සැමදා වර්ණයෙන් බබලනු ඇත.

සටහන – අසේල කුරුළුවංශ

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *