ආදාහනයද? භූමදානයද? රටවල් 190කට නැති, ලංකාවට ඇති ප්‍රශ්නය!

ගයාන් යද්දෙහිගේ

මානව ආගමික විශ්වාසයන්ට ඉතා දිගු ඉතිහාසයක් තිබේ. ප්‍රාග් වෛදික යුගයේ සිටම භාරතීය ජනයා විවිධ දේව විශ්වාස පසුබිම් කරගෙන නොයෙකුත් පුද සිරිත් පැවැත් වූ බවට සාධක ඇත. ආගම් බිහිවීමත් සමඟ ඒ ඒ ආගම්වලට ආවේනික වූ විශ්වාස මත ගොඩනැගුණු සංස්කෘතීන් තුළ විවිධ වූ චාරිත්‍ර නිර්මාණය වූ අතර සෑම මිනිසෙකුටම ගෞරවණීය මරණයක් අත්විය යුතු බව ඉන් ප්‍රධාන වේ. මෙය සෑම ආගමක් මගින්ම පිළිගන්නා කරුණකි.

මේවන විට කොවිඩ් වසංගත රැල්ලත් සමඟ මරණයට පත්වන මුස්ලිම් ජනතාවගේ මළ සිරුරුවල අවසන් කටයුතු සිදු කිරීමේදී ඔවුන්ගේ චාරිත්‍රානුකූල පිළිවෙත වූ භූමදානයට මෙරට ආණ්ඩුව අවසර නොදීම තුළ එක්තරා අන්දමකින් එම ජනතාවගේ ආගමික හා සංස්කෘතික අයිතීන් අහිමි වී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් කොවිඩ් මළ සිරුරු භූමදානය හෝ ආදාහනය කළ හැකි බවට නිර්දේශ කර තිබියදී, මුලදී ඊට අනුකූලව චක්‍රලේඛයක් නිකුත් කළ ශ්‍රී ලංකා ආණ්ඩුව, පසුව ‘ආදාහනය පමණක්‘ කළ යුතුයැයි නියම කළේය. පසුව ඒ පිළිබඳව එල්ල වූ විවේචනවලට ප්‍රතිචාරයක් ලෙස ඒ සම්බන්ධ තීරණයක් ගැනීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කරනු ලැබුවේය. මෙරට පළමු මුස්ලිම් කොවිඩ් මරණය වාර්තා වී මේවන විට දින 300 ද ඉක්මවා ගොස් තිබුණද තවමත් ආණ්ඩුවට ඒ පිළිබඳ ස්ථිර තීන්දුවකට ඒමට නොහැකි වීම නිසා දැන් මෙය ජාති හා ආගම්වාදී ගැටුමක් දක්වා දුරදිග යමින් තිබේ.

ආණ්ඩුව මගින් පත්කළ විද්ගත් කමිටුවේ තීන්දුව බාලගිරි දෝෂයට අසුවීම නිසා අදාළ ගැටලුව මුල්කර ගෙන ජත්‍යන්තර මට්ටමේ විරෝධයන් පවා අප රටට එල්ල වීමට පටන් ගෙන ඇත. එක්සත් රාජධානියේ විශාලතම මුස්ලිම් සංවිධානය වන බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලය කොවිඩ-19 ආසාදිත මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ආදාහනය කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කිරීමට එරෙහිව නීතිමය පියවර ගැනීමට සූදානම් වීම ඊට එක් උදාහරණයකි.මේ වන විට එම කවුන්සිලය ලන්ඩනයේ ප්‍රමුඛ පෙළේ නීතිඥ සමාගමක් වන බයින්ඩ්මන්ස් එල්.එල්.පී. (Bindmans LLP) හරහා ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සූදානම් වෙමින් සිටියි. අදාළ නිවේදනයක් නිකුත් කරමින් එම කවුන්සිලය පවසන්නේ දින 20 ක් වයසැති බිළිඳෙකු ඇතුළු 120 කට  ආසන්න මුස්ලිම් ජාතිකයින් පිරිසක් ශ්‍රීලංකාවේ මේවන විට කොවිඩ් ආසාදිතව මරණයට පත්ව තිබෙන බවයි. ඔවුන්ගේ අවසන් කටයුතු සිදු කිරීමේදී බරපතල ලෙස ආගමික නිදහස උල්ලංඝනය වන බවද අදාළ නිවේදනයේ දක්වා තිබේ.

කොවිඩ්-19 වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමත් ඉන් මරණයට පත්වන සංඛ්‍යාව අවමකර ගැනීමත් සඳහා ලෝකයේ රටවල් කටයුතු කරමින් සිටියදී අප මාස නවයකට ආසන්න කාලයක් තිස්සේ කොවිඩ් මරණ  භූමදානය කිරීම සුදුසුද නැද්ද යන්න පිළිබඳව ස්ථිර නිගමනයකට ඒමට නොහැකිව සාකච්ඡා කරමින් සිටීමට සිදුව තිබෙන්නේ ආදළ ගැටලුවට විසඳුමක් දීමේ සැබෑ වුවමනාවක් ආණ්ඩුවට නොමැති නිසාද යන ප්‍රශ්නය අප හමුවේ තිබේ. මේ ඔස්සේ වැරදි තොරතුරු හා මතවාද සම්ප්‍රදායික මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේද සමාජගත වීමට පටන් ගෙන ඇත. මළ සිරුරු භූමදානය කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා මුස්ලිම් ප්‍රජාව එක් පැත්තකින් උද්ඝෝෂණ කරත්දී බෞද්ධ භික්ෂූන් වහන්සේලා පෙරටු කරගත් සිංහල බෞද්ධ කණ්ඩායම් එක රටක් එක නීතියක් යන සංකල්පය පෙරට ගෙන මළ සිරුරු භූමදානය කිරීමට අවසර නොදෙන ලෙස රජයට බල කරමින් උද්ඝෝෂණ කරන්නට පටන් ගෙන ඇත.

සංස්කෘතික අයිතිය

අන්තර් ආගමික කමිටුවේ මහනුවර දිස්ත්‍රික් කැඳවුම්කරු ගාමීණී ජයවීර මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය. ‘‘ආණ්ඩුව මෙතනදී තීන්දු තීරණ ගන්න ඕන ආණ්ඩුව බලයට ගෙන ඒමට කටයුතු කළ බලවේගවල බලපෑම් වලට යටත්ව නොවෙයි. අද ආණ්ඩුවට හිතවත් මාධ්‍ය මගින් කරන්නේ මුස්ලිම් ජනතාව තමන්ගේ ආගමික නියමයන්ට අනුව මළ සිරුරු භූමදානය කිරීම සඳහා කරන ඉල්ලීම හාස්‍යයට ලක් කිරීමයි. වෛරස් විද්‍යාව පිළිබඳ කිසිදු අවබෝධයක් නැති භික්ෂූන් වහන්සේලා ඇතුළු නොයෙකුත් ජාතිවාදී සංවිධානවල නියෝජිතයින් මාධ්‍ය ඉස්සරහට ගෙනත් මළ සිරුරු භූමදානය කරන්න එපා කියනවා. විද්‍යාව පැත්තකට දාලා මිථ්‍යාව කරපින්නාගෙන යාම හොඳ දෙයක් නොවෙයි. කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානට අවසර නොදීම නිසා අපේ රටේ මුස්ලිම් ජනතාවගේ ආගමික හා සංස්කෘතික අයිතීන් එක්තරා විදිහකට උල්ලංඝනය වී තිබෙනවා. මේ නිසා මුස්ලිම් ජනතාව තුළ පවත්නා අසහනය අද විරොධතා ඔස්සේ ඉස්මතු වෙමින් තිබෙනවා. කොවිඩ් කියන්නේ වෛරස් මගින් ව්‍යාප්ත වන රෝගයක්. මේක ව්‍යාප්ත වීම පාලනය කරන්න නම් රෝග ලක්ෂණ මතුවන අය ප්‍රතිකාරවලට කඩිනමින් යොමු විය යුතුයි. අපේ රටේ පවතින තත්ත්වය තුළ මුස්ලිම් ජනතාව රෝගය වසන් කිරීමේ ඉඩක් තිබෙනවා. මොකද ඔවුන් ආගම හා තදින් බැඳී සිටින පිරිසක්.‘‘

මේ සම්බන්ධව අදහස් දක්වන මහනුවර ප්‍රධාන මවුලවි, වකුබ් සංගමයේ සාමාජික ෆස්රූල් රහ්මන් මවුලවිතුමන් මෙසේ ප්‍රකාශ කළේය. ‘‘ආගමානුකූලව ඉස්ලාම් භක්තිකයෙකුගේ මළ සිරුර භූම දානය කළ යුතුයි. ඒක ඇත්තටම ආගමික අයිතියක්. පස්වලින් ඇති වන සිරුර මරණයෙන් පසු පස්වලටම මුසුවිය යුතු බව මුස්ලිම් ජාතිකයින් දැඩි ලෙස විශ්වාස කරනවා. මුස්ලිම් ජාතිකයෙකු මරණයට පත්වුණාම සිරුර සෝදා පිරිසිදු කරනවා. පසුව සිරුර සුදු රෙදිවලින් ආවරණය කරනවා. ඉන්පසු දේහය පල්ලියට අරන් ගිහින් යාඥා කරලා භූමදානය කරනවා. යාඥා කිරීමේදී වෙන්නේ මියගිය පුද්ගලයාගේ පව් කමා කිරිමයි. එසේ නොවුණොත් ඒක ශාපයක් කියලා මුස්ලිම් ජනතාව විශ්වාස කරනවා. මේ කටයුතු කරන්න අවස්ථාව නොලැඹීම නිසා තමයි ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙන්නේ. සාකච්ඡා මගින් මේ ප්‍රශ්නය විසඳ ගන්න ඕන කියන ස්ථාවරයේ තමයි අපි ඉන්නේ. පුච්චනවා කියන කොට ආගම එක්ක තදින් බැඳී ඉන්න මුස්ලිම් ජනතාව හැඟීම් බර වෙනවා. ජීවිත කාලයම ආගමානුකූලව ජීවත් වුණ කෙනෙකුගේ අවසන් කටයුත්ත ආගමික නියමයන්ට කරන්න ඕන කියලා මුස්ලිම් ජනතාව තදින් විශ්වාස කරනවා. අනිත් රටවල් එක්ක සංසන්දය කරන කොට අපේ රටේ භූමදානයට අවසර නැත්තේ ඇයි කියන ප්‍රශ්නය අපි අහන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියමයන් අනුව ලෝකයේ රටවල් 190ක් පමණම භූමදානය හෝ අදාහනය අනුමත කරනවා. කොවිඩ්වලින් මිනිස්සු මරණයට පත්වෙන්න පටන් ගෙන දැන් අවුරුද්දකට වැඩියි. මේ කාලය තුළ කොහේ හරි රටක කොවිඩ් මළ සිරුරු භූමදානය කිරීම නිසා ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා කියලා තහවුරු වෙලා තියෙනවා නම් ආදාහනය කිරීම ගැටලුවක් නැහැ. ඒත් කිසිම විද්‍යාත්මක පදනමක් නොමැතිව භූමදානයට එරෙහිවීම නිසා තමයි ප්‍රශ්නය ඇති වෙලා තියෙන්නේ.‘‘

අධිකරණ ඇමතිගේ යෝජනාව

කොවිඩ් මරණ පිළිබඳව මෙන්ම එම මළ සිරුරු ආදාහනය හා භූමදානය සම්බන්ධයෙන් මේ වන විට අදහස් දැක්වීම් කරනු ලබන්නේ අවබෝධයට වඩා හැඟීම් මත වීම පැහැදිලිව පෙනෙන්නට තිබෙන කරුණකි. කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් මුස්ලිම් ජාතිකයින්ගේ මළ සිරුරු භූමදානය කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස අධිකරණ අමත්‍ය අලි සබ්රි මහතා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබීමෙන් පසු ඒ පිළිබඳ සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් විද්වත් කමිටුවක් පත් කරනු ලැබීය. එම කමිටුව තමන්ගේ තීරණය දැනුම් දීමටත් පෙර මුස්ලිම් ජාතික කෝවිඩ්-19 රෝගීන් මිහිදන් කිරීමට ආණ්ඩුව අවසර දී ඇතැයි සිලෝන් තව්හීඩ් ජමාආත් සංවිධානය නිවේදයක් නිකුත් කරමින් පවසා තිබුණි. දෙඹරයට ගල් ගැසීමක් බඳු වූ මෙම සිදුවීමෙන් පසු ඇතැම් සිංහල බෞද්ධ ජන කොටස් භික්ෂූන් වහන්සේලාද පෙරටු කර ගනිමින් එම තීරණයට එරෙහිව විරෝධතා දියත් කරන්නට වූහ. තව්හිඩ් ජමාආත් සංවිධානයේ නිවේදනය ප්‍රතික්ෂේප කරමින් ආණ්ඩුව පැවසුවේ එවැනි තීරණයක් ගෙන නොමැති බවය.

මේ සම්බන්ධව  කැබිනට් මණ්ඩලය තුළද පැහැදිලි එකඟතාවක් පැවැති බවක් පෙනෙන්නට නොතිබුණු අතර එක් පිරිසක් මුස්ලිම් ජාතිකයින්ගේ මෘත දේහ භූමදානය කිරීමට අවසර දුන් බව පවසත්දී තවත් පිරිසක් පැවසුවේ එවැනි තීන්දුවක් නොගත් බවය. වියළි කළාපීය ප්‍රදේශය මළ සිරුරු භූමදානය කිරීමට තීරණය වී තිබෙන බවත් ඒ සඳහා සුදුසු භූමියක් සොයමින් සිටින බවත් කැබිනට් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරත්දී විමල් වීරවංශ ඇතුළු ඇමැතිවරු කිහිප දෙනෙක්ම එම ප්‍රකාශය බැහැර කරනු ලැබූහ. මේ ආකාර සාවද්‍ය ප්‍රකාශ සමාජගත වීමත් මළ සිරුරු භූමදානය සම්බන්ධව කැබිනට් ඇමැතිවරු අතර එකඟතාවක් නොමැති වීමත් යන කරුණු කොවිඩ් මරණ භූමදානයට අවසර ලබාදීම සම්බන්ධයෙන් මතුව තිබූ ප්‍රශ්නය තිව්‍ර කිරීමට බලපෑවේ ඇවිලෙන ගින්නකට පිදුරු නොව පෙට්ට්‍රල් දමන්නාක් මෙනි. මළ සිරුරු භූමදානයටද ඉඩ දෙන්නේද නැද්ද යන්න සම්බන්ධව රජය පැහැදිලි ප්‍රකාශයක් නොකිරීම නිසා බොහෝ වැරදි තොරතුරු සමාජගත වීමේ ප්‍රතිපලය වූයේ ජාතික සමඟිය බිඳ වැටෙන ආකාරයේ වෛරී ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ ලැව් ගින්නක් මෙන් පැතිර යෑමය.

විශේෂඥ මතය

හොංකොං විශ්ව විද්‍යාලයේ වෛරස විද්‍යා දෙපාර්තුමේන්තුවේ අංශ ප්‍රධාන වෛරස විශේෂඥ මහචාර්ය මලික් පීරිස් මහතා මේ  සම්බන්ධව අදහස් දක්වන්නේ මෙවන් අදහසකි. ‘‘කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු මියගිය පසු දේහල භූමදානය කළොත් ඒ ශරීරයේ තියෙන වෛරස් පොළොවටත් ඒ මගින් ජලයටත් මුසුවන බවට මතයක් සමාජයේ තිබෙනවා. එහි සත්‍යතාවක් නැහැ. මේ වෛරසය පවතින්නේ ජීවි සෛලවල පමණයි. වෛරස් ආසාදිත පුද්ගලයෙකු මරණයට පත්වීමත් සමඟ ඔහු මගින් වෛරසය ව්‍යාප්ත වීම ක්‍රමානුකූලව නතර වෙනවා. අසූචිවලත් මේ වෛරසය තිබෙනවා. එසේ වුවත් වෛරස් සහිත අසූචි පොළොවට එක් වීමෙන් පසු බෝවන බවට කිසිදු සාක්ෂියක් විද්‍යාත්මකව තහවුරු වෙලා නැහැ.

මහාචාර්ය මලික් පීරිස්

කොවිඩ් ආසාදිත මුගටි දහස් ගණනක් වළදමා තිබියදී ඒම මළ සිරුරු නැවත ගොඩගෙන පුළුස්සා දැමීමට ඩෙන්මාර්ක් රජය පියවර ගත් පුවත මෙරට මාධ්‍ය වාර්තා කළේ මළ මුගටින් මගින් කොවිඩ්-19 වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා එම සිරුරු අදාහනය කළ බවයි. මෙරට කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානය කිරීමට අවසර නොදිය යුතුයි කියන හඬ ගෙනයන කණ්ඩායම් සමාජ මාධ්‍ය මගින් මෙම සිදුවීමට විශාල ප්‍රචාරයක් දෙනු ලැබීය. එසේ වුවත් පසුව අනාවරණය වූයේ ඩෙන්මාර්කය එවැනි තීරණයක් ගෙන තිබුණේ වළ දැමූ මළ සිරුරු නරක් වී ජල මූලාශ්‍ර දූෂණය වීම වළක්වා ගැනීමට බවයි. කල්කටා මහාධිකරණයේ විභාග වූ විනිත් රුයියා එදිරිව බටහිර බෙංගාල ප්‍රාන්ත රජයේ සෞඛ්‍ය සහ පවුල් සුබසාධන අමාත්‍යාංශයේ  ප්‍රධාන ලේකම් නඩුවේ තීන්දුව මගින් මාර්ගෝපදේශයන්ට යටත්ව කොවිඩ් මළ සිරුරු භූමදානයට අවසර ලබාදිය යුතු බවට ප්‍රකාශ කර තිබිණි. ජාත්‍යන්තර අත්දැකීම් එසේ තිබියදී අප තවමත් කරමින් සිටින්නේ ප්‍රශ්නය සමඟ සෙල්ලම් කිරීමය. මළ සිරුරු භූමදානය සම්බන්ධයෙන් තීරණයක් ලබාදීමට පත්කළ කමිටුවේ වාර්තාව සෞඛ්‍ය ඇමැතිවරිය විසින් තවත් කමිටුවකට යොමුකර තිබේ. මේ විවාදය නිමක් නැතිව කල් ඇදෙමින් තිබෙන්නේ කොවිඩ් ආසාදනය හේතුවෙන් මිය ගිය මුස්ලිම් ජාතිකයන් පිරිසකගේ මළ සිරුරු කන්ටේනර් තුළ ශීත කොට තබා තිබියදීය. ආදාහනය නොකළද, මළ සිරුරක් පැය විසි හතරක් ඇතුළත භූමදානය කිරීමේ චාරිත්‍රය මේ වන විට කඩ වී තිබෙන අතර මියගිය අයගේ ඥාතීන්ට මෙන්ම සමස්ත මුස්ලිම් ජනතාවටද එය ආතතියක් දනවන කාරණයකි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ වලට අනුකූලව නිරන්තරව කටයුතු කරන අප මෙම ගැටලුවේදී ඊට එරෙහිව ගමන් කරන්නේ ඇයිද යන්න ප්‍රශ්නයකි. සිංහල බෞද්ධ බහුතර ජනතාවගේ ඡන්දයෙන් බලයට ආ ආණ්ඩුව සුළු ජාතීන්ගේ ඉල්ලීම් වලට කන් නොදී සිටීමෙන් උත්සාහ කරන්නේ තව දුරටත් සිංහල බෞදධ ඡන්ද පදනම පෝෂණය කර ගැනීම නම් ජාතික හා ආගමික නිදහස අගයන මධ්‍යස්ථ ජනතාව එය කිසිසේත් අනුමත නොකරනු ඇත.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *