ආදිවාසීන් හාමත් කළ කොරෝනා

චාමින්ද බුලත්සිංහල

ලොවම අඩපණ කළ කොරෝනා වෛරසය මෙරට ජන ජීවිතයටද දැඩි බලපෑම් එල්ල කර ඇත්තේ එදා වේල සරි කර ගෙන දිවි ගෙවන්නන්ගේ කුසට අහරක් හෝ සපයාගැනීමට ඉඩක් නොතබමිනි.

සංචාරක කර්මාන්තය සිය ප්‍රධාන ආදායම් මාර්ගය කොට ගෙන දිවි ගෙවන දඹාන කොටබකිණිය ආදීවාසී ගම්මානයේ  450කට අධික පවුල් සංඛ්‍යාවක ජනයාට සිය ජීවන වෘත්තිය අහිමිවී ගොසිනි. මේ නිසාම තමන්ගේ හා දරුවන්ගේ කුස පිරවීම සඳහා  පවුල් පිටින් එක්ව දඹානගමේ ඇති දැළි කැදැලි වැවේ හා, ගුරුකුඹුර ගමේ පිහිටි කිරවනාගව කඳුරවැවේ හා උල්හිටිය යන වැව් වල මසුන් ඇල්ලීමෙහි නිරත වන්නේ  තම පවුලල්වල සාමාජිකයින්ගේ කුස ගින්න නිවීම සඳහාය.

දැන් ඔවුන්ගේ දින චරියාවේ වැදගත්ම අංගය මසුන් ඇල්ලීමයි.

උපතින් වන ගත දිවියකට උරුමකම් කියන මෙම වැදි ජනතාවට කෘෂිකාර්මික ජීවිතය හුරු පුරුදු නොවීය. යළ මහ දෙකන්නයේ වී වගා කළ හැකි ඉඩ කඩම් උරුමවී නොමැත. වැසි වාරයේදී හේන් වගා කිරීම මෙන්ම අහස් දියෙන් ගොඩ වී වගා කිරීම ඔවුනගේ කෘෂි කාර්මික උරුමය වී ඇත. වෙනදා දඹාන දැළි කැදලි වැවේ ජලයෙන් වී වගා කරනුයේ දඹාන ගම්මානයේ වෙසෙන ආදිවාසී සම්භවයක් නොමැති වැසියන්වීමද මෙහිලා සැලකිල්ලට ගත යුතුව ඇත

කොරෝනා හෙතුවෙන් සීමාකාරී තත්ත්වය ප්‍රකාශයට පත්කළ මාර්තු මස 10 වෙනිදායින් පසු සංචාරකයින් මෙහි පැමිණ නැත. කොට බකිණයේ කඩ මණ්ඩිය අද පාළුවට ගොසිනි. තාවකාලික වෙළෙඳසැල් ක්‍රමයෙන් දිරා පත් වෙමින් පවතියි. වෙනදා බෙලි මල් තැම්බූ ලිප් නිවී ගොසිනි. අලෙවියට මීපැණි, බඹර පැණි, බෙලිමල්, දුණු හී ආදිය තැබූ තට්ටු හිස්ව තිබෙනු දුටුමි.

සංචාරකයින්ගේ නෙත ගැටුණු ජන උරුම කේන්ද්‍රයද වසා දමා ඇත.එහි භාරකරු වන විමලරත්න කැකුළා අපි යන විට එහි වහළ කොටසක් අළුත් වැඩියා කරනු දැකිය හැකි විය. එහි සේවය කරන කාර්ය මණ්ඩලයටද විරාමයක් ලැබී ඇත. වෙනදා දෙස් විදෙස් සංචාරකයින් දහසකට අධික පිරිසක් දඹානට පැමිණෙන බව විමලරත්න කැකුළා පවසයි. එහි ආදායම් සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇත.

 ජන උරුම කේන්ද්‍රය ආශ්‍රිතව අත්කම් භාණ්ඩ,විවිධ ඖෂධ වර්ග ආදිය සංචාරකයින්ට අළෙවි කිරීමෙන් ජීිවකාව සරි කළ හා තම වරිග පරම්පරාවට උරුම ඇදහිලි හා ශාන්ති කර්ම රඟ දැක්වූ, තම වරිගයාටම උරුම වැදි ගී ආදිය ගායනා කළ පවුල් සියයකගේ පමණ දෛනික ආදායම් අහිමිවී ගොසිනි.

 දඹාන කොට බකිණිය ගම්මානය පිහිටා ඇත්තේ මාදුරු ඔය ජාතික වන උද්‍යානය තුළ වුවද ඔවුන්ට ඒතුළ දඩයම තහනම්වී ඇත. දඩයම් කිරීම කෙසේ වෙතත් මීපැණි හෝ බඹර පැණි කැඩීමටවත් වනයට පිවිසුණහොත් වනජීවී නිලධාරීන්ගේ අත් අඩංගුවට පත්වීමට සිදු වන බව ආදිවාසී  ජනතාව පවසති.

මේ පිළිබඳව අදහස් දැක්වූ ආදි වාසී නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගයේ වන්නියලැත්තන්,මුළු ලෝකයම කොරෝනා වසංගතයට බයෙන් නැවතිලා. ආදායම් මාර්ග අවහිර වෙලා, රෝගය වැළඳුනු සමහරුන් මිය යනවා. තවම බෙහෙතක් නැහැ. මේ නිසාම අපගේ වරිග පරම්පරාවට මෙය තද බල පහරක් අපේ ජනතාවට නිශ්චිත ආදායමක් නැහැ. එදා වේල හම්බ කර ගත්තේ තමන්ගේ අතින් හදපු දෙයක් සංචාරකයින්ට විකුණලා, නැත්නම් අපේ අය බැද්දෙන් ගෙනආ මීපැණි, බඹරපැණි වැනි දෙයක් විකුණලා, යැයි පවසයි.

ආදිවාසී නායකයා සිය රැහේ ඇත්තන් ගැන විස්සෝපයෙනි

අපේ සාම්ප්‍රදායික නැටුමක් පෙන්වලා ඉන් ලැබෙන ආදායමකින් තමයි ඔවුන් ජීවත් වුනේ.  අපේ අයට මාස දෙකක් තිස්සේ කුසට  හරි හමන් ආහාර වේලක් නැහැ. අපේ අයට වගා කරන්න කුඹුරු නැහැ.ඒ නිසා ඉතිරි කර ගත්ත වී නැහැ.ඉදිරි මාස කිහිපය තුළ වැසි වැස්සොත් හේන් වගා කළ හැකියි. අපේ අයට බැද්දට යන්න තහංචි පනවලා. ගියොත් වනජීවී නිලධාරීන් ඔවුන් අල්ලලා නඩු දානවා. මේ කුස ගින්න නිවා ගන්න අපේ වරිගපරම්පරාවේ අය වැව් වල මාළු බාන්නේ.ඉක්මනින් වැස්සක් නොවැස්සොත් තව මාස දෙක,තුනකදී මේ වැව් හිඳෙනවා. එහෙම වුණොත් මෙ අයට කන්න මාළුත් නැහැ. බලධාරීන් අපේ ජනතාව ගැන මීට වඩා සැළකිළිමත් වෙයි කියලා මම හිතනවා.  අපේ ජනතාවට රුපියල් පන්දහසේ සහන දීමනාව ලැබුණා. එම මුදල දින දෙකක් ජීවත් වෙන්නත් මදි. රට පුරාම අසරණතාවට පත්වුනු අයට සහනාධාර  දෙනවා අපේ වරිග පරම්පරාවේ අයට  එහෙම දේවල් ලැබිලා නැහැ. යනුවෙන් පැවසීය.

මසුන් ඇල්ලීමෙහි නිරත වූ යූ.ඩබිලිව්.ඉන්ද්‍රාණි මහත්මිය, අපිට දැන් මාස දෙකක් විතර ආදායමක් නැහැ.අපේ ගම්පැත්තට ඔය කියන විදියේ ආහාර මළු අරන් කව්රුත් ආවේ නැහැ. අපේ දරුවන් බඩගිනියි කියලා කියන කොට අපට ඉවසන්න බැහැ. ඉතින් අපි වැවට ඇවිත් මාළු අල්ලාගෙන වැවේදීම පුච්චාගෙන කනවා. සමහර දවස් වලට එක මාළුවෙක්වත් නොලැබුණු දවස් එමටයි. අපි හිස් අතින් ගෙවල් වලට ගියා දරුවෝ බඩගින්නේමනිදා ගත්තා.

අපේ දරුවන් බඩගිනියි කියලා කියන කොට අපට ඉවසන්න බැහැ. ඉතින් අපි වැවට ඇවිත් මාළු අල්ලාගෙන වැවේදීම පුච්චාගෙන කනවා.

යූ.ඩබිලිව්.ඉන්ද්‍රාණි

තමන්ට අත්වී ඇති ඉරණම ගැන ඌරු වරිගයේ චුට්ටා මෙසේ පැවසීය,අපේ කඩ මණ්ඩිය වැහිලා අපේ අයගේ ආදායම නැති වෙලා.මේ කොරෝනාව ආව දවසේ ඉඳන් අපිට හරි හමන් කෑමක් ලැබිලා නැහැ.අපේ තරුණ ශක්තියෙන් ලෙකු වැඩක් කරලා ආදායමක් මේ දවස් වල සොයා ගන්න බැහැ.එළියට යන්න බැහැ.ඇඳිරි නීතිය.එහෙම කියලා නීති විරෝධී වැඩ කරන්න බැහැ. අපි වැවට ඇවිත් කටු ගහලා (බිලි කොකු)බලා ඉන්නවා. දිය මැච්චෙක්(මාළුවෙක්) හසු වෙයි කියලා.සමහර දවස් වලදී අපි හිස් අතින් යනවා. ගෙදර අයත් එක්කම ඇවිත් හම්බවෙන මාළුවා වැවේදීම පුච්චං කනවා. මේක තමයි අපේ ජීවිතේ. අපි මේ රටේ විශේෂ ජන වර්ගයක් ඒත් අපිට තියෙන්නේ කුඩම්මාගේ සැලකිලි.අපි හාල් ගන්නේ කඩෙන්.

අපි වැවට ඇවිත් කටු ගහලා (බිලි කොකු)බලා ඉන්නවා. දිය මැච්චෙක්(මාළුවෙක්) හසු වෙයි කියලා.සමහර දවස් වලදී අපි හිස් අතින් යනවා. ගෙදර අයත් එක්කම ඇවිත් හම්බවෙන මාළුවා වැවේදීම පුච්චං කනවා. මේක තමයි අපේ ජීවිතේ.

ඌරු වරිගයේ චුට්ටා

අපි ආදී වාසීන් කියලා මහා ලොකුවට කියලා බොරු පිළිගැනීමක් දීලා ගොඩ දෙනෙක් අපිව ප්‍රදර්ශන භාණ්ඩ කර ගෙනයි හිටියේ මේ කොරෝනාව නිසා අපිට ගැන හොඳ අවබෝධයක් ලැබුණා ඒ ගැන. අපේ අය ක්‍රිකට් ගහන එක නගරෙ අයට මැජික් වගේ. අපේ කිරි කොරහ නැටුම ඒ අයගේ සිත සතුටු කරවන එකයි කරන්නේ. එදා අපේ අයව හොයා ගෙන ආපු කිසි කෙනෙක් අපි ගැන සොයා බැලුවේ නැහැ. අපිට කථා කළේ නැහැ. අපේ වැදිකම පිට මිනිස්සු තමන්ගේ වාසියට ගත්තා මිසක් ඇත්තටම අපිව රැක ගන්න ඕන කියලා හිතලා නැහැ යැයි ආදිවාසි නායකයාගේ පුතෙකු වන ඌරු වරිගයේ කළු පැවසීය.

සත්‍ය වශයෙන්ම මෙම ගම්මානයට කිසිදු සහන කණ්ඩායමක් පැමිණ නැති අතර ඒ වෙනුවෙන් කිසිවෙකුගෙන් උපකාරයක් ඉල්ලා හෝ නොමැත.කඩිනමින් කව්රුන් හෝ මැදිහත්වී මොවුන්ට සහන සැපයිය යුතුමය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *