ආනවිලුන්දාව සමඟ කරළියට ආ, මොනවද මේ රැම්සා තෙත් බිම්

ආනවිලුන්දාව, වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයට අයත් වැදගත් තෙත් බිමක් (wet land). ඉස්සන් වගාව සඳහා එහි හෙක්ටයාර තුන්කාලකට ආසන්න බිමක් පසුගියදා කිසියම් පිරිසක් විසින් ඩෝසර් කර හෙළි පෙහෙළි කරනු ලැබුවා. සමාජ මාධ්‍ය ඔස්සේ පවා ඒ ගැන දැඩි විවේචනයක් එල්ල වූ අතර තෙත් බිම හෙළි කිරීමට යොදාගත් ඩෝසරයද, එය ක්‍රියා කර වූ පුද්ගලයා හා තවත් අයෙකුද දැඩි සමාජ බලපෑම නිසාම අත්අඩංගුවට ගැනීමට පොලීසියට සිදු වුණා. මේ පිළිබඳව පක්ෂ හා විපක්ෂ දේශපාලනඥයන් පාර්ලිමේන්තුවේදීත් අදහස් පළ කළා. ඒ සෑම තැනකදීම ආනවිලුන්දාව රැම්සා තෙත් බිමක් බව අවධාරණය කෙරුණා.

රැම්සා තෙත් බිම් කියන්නේ මොනවාද?

තෙත් බිම් සංරක්ෂණයට හා තිරසාර භාවිතයට අදාලව ජාත්‍යන්තර ප්‍රජාව එකඟ වූ ප්‍රඥාප්තියක් ලෙස රැම්සා එකඟතාව හඳුන්වන්නට පුලුවන්. මෙහිදී විශේෂයෙන් සළකා බැලෙන්නේ, ජලජ ජීවී පද්ධති ආරක්ෂා කරගැනීම සම්බන්ධව ජාත්‍යන්තර වශයෙන් වැදගත් යැයි සළකා බලන කරුණු. ජාත්‍යන්තර තෙත් බිම් ප්‍රඥාප්තිය ලෙසද හඳුන්වන එය රැම්සා ප්‍රඥාප්තිය ලෙස හඳුන්වන්නේ 1971 ඉරානයේ රැම්සා නුවරදී ඊට අදාල එකඟතා ලියවිල්ලට අත්සන් තැබීමට ජාත්‍යන්තර ප්‍රජාව කටයුතු කළ නිසා. ඒ අනුව මේ ලියවිල්ලට අත්සන් තැබූ රටවල ඊට අදාල සාධක යටතේ ගැනෙන ලක්ෂණ සහිත සංරක්ෂිත තෙත් බිම් ජාත්‍යන්තර රැම්සා තෙත් බිම් ලෙස හැඳින්වෙනවා.

 

ඉහළ නවුආ රැම්සා තෙත් බිම ෆීජී දිවයින – තෙත් බිම් තිරසාර භාවිතයට උදාහරණ
තෙත් බිම් තිරසාර භාවිතයට උදාහරණ – ඉන්දියාව

රැම්සා ප්‍රඥාප්තිය හෙවත් ජාත්‍යන්තර තෙත් බිම් ප්‍රඥාප්තියට අත්සන් කළ එහි කොටස්කාර රාජ්‍යයන් සෑම වසර තුනකටම වරක් හමුවෙනවා. ඒ, ප්‍රතිපත්ති සම්පාදකයන් විදියට පරිපාලන කාර්යයන්ට අදාල තීන්දු ගැනීමට සහ නිර්දේශ, එකඟතා ක්‍රියාත්මක කිරීමට වගේම ප්‍රඥාප්තියේ අරමුණු වෙනුවෙන් ක්‍රියා කිරීමට. මේ වෙනුවෙන් 2015 දී උරුගුවේ රටේ පුන්ටා ඩෙල් එස්තේ නුවරදී හමුවූ රැම්සා එකඟතාවෙ පාර්ශවකරුවන් 2018 දී යුනයිටඩ් ඇරෑබ් එමිරේට්ස් රාජ්‍යයේ ඩුබායි නුවරදී හමු වුණා.

රැම්සා ලැයිස්තුවේ ජාත්‍යන්තර වැදගත්කමක් උසුලන තෙත් බිම්

2018 වර්ෂය වනවිට ජාත්‍යන්තර වශයෙන් වැදගත් කමක් උසුලන තෙත් බිම් 2331 රැම්සා බිම් ලෙස හඳුනාගෙන තිබුණා. ප්‍රමාණාත්මකව ගත් විට ඒවා සමස්ත ලෝකයේ භූමියෙන් වර්ග කිලෝමීටර් මිලියන 2.1ක් ආවරණය කරනවා. රටවල් විදියට ගත්තම වැඩිපුරම රැම්සා තෙත් බිම් තිබෙන්නේ එක්සත් රාජධානියේ. එහි රැම්සා තෙත් බිම් 175ක් තිබෙන අතර මෙක්සිකෝවේ රැම්සා තෙත් බිම් 142ක් තිබෙනවා. විශාලතම වපසරියකින් යුක්ත රැම්සා තෙත් බිම තිබෙන්නේ බොලීවියාවේ. එහි විශාලත්වය වර්ග කිලෝමීටර් 148000ක්.
ලොව ඕනෑම රැම්සා තෙත් බිම් කලාපයකට අදාල තොරතුරු රැම්සා භූමි තොරතුරු සේවයෙන් RSIS ලබා ගන්නට පහසුකම් සළසා තිබෙනවා. ඉන් ⁣ලබාගත හැකි දත්තවලට අනුව 2016 වසර වනවිට දේශසීමා ඉක්මවා යන හෙවත් රටවල් කිහිපයක් පුරා පැතිරෙන රැම්සා තෙත් බිම් 18ක් හඳුනාගෙන තිබුණා. ඒ වගේම ප්‍රාදේශීය කලාප 15ක් ඔස්සේ, මධ්‍යධරණී, ආසියා, අප්‍රිකා හා දකුණු ඇමරිකානු බිම් නියාමනය වෙනවා.

සුන්දර රැම්සා තෙත් බිමක් – ගිනියා බිසවු රාජ්‍යය

සහයෝගී ජාත්‍යන්තර සංවිධාන

තවත් ජාත්‍යන්තර සංවිධාන 06ක් සමඟ රැම්සා සම්මුතිය සහයෝගයෙන් ක්‍රියා කරනවා. ඒවා නම්,
Birdlife International. පක්ෂීන් සම්බන්ධ ජාත්‍යන්තර එකමුතුව
International Union for Conservation of Nature පරිසර සංරක්ෂණය උදෙසා ජාත්‍යන්තර එකමුතුව
International Water Management Institute ජාත්‍යන්තර ජල කලමනාකරණ ආයතනය
Wetlands International තෙත් බිම් ජාත්‍යන්තරය
WWF International
Wildfowl and Wetland Trust වනවිහඟ හා තෙත් බිම් භාරය
යන සංවිධානයි.
විශේෂඥ තාක්ෂණික උපදේශකත්වය සැපයීම, ක්ෂේත්‍ර අධ්‍යයන සිදු කිරීමට සහය දීම, මූල්‍ය සම්පාදන සහාය ආදියේදී මේ සංවිධාන රැම්සා එකඟතාවට සහාය ලබා දෙනවා. සියලු රැම්සා සමුලුවල නිරීක්ෂණ සහභාගිකයන් ලෙස නියෝජනය වන මේ සංවිධාන විද්‍යාත්මක හා තාක්ෂණික ඇගයුම් පැනලවල පූර්ණ සාමාජිකත්වය දරනවා.

ජර්මනිය, නෙදර්ලන්තය හා ඩෙන්මාර්කය යන රටවල් තුනටම අයත් රැම්සා තෙත් බිමක්

වෙනත් සහයෝගිතා සංවිධාන

ජාත්‍යන්තර ජෛව විවිධත්ව එකඟතාව, ලෝක උරුම එකඟතාව, සංක්‍රමනික ජීවීන් සඳහා වන එකඟතාව, ලෝක උරුම එකඟතාව, තර්ජිත ජීවීන් විකිණීමට එරෙහි ජාත්‍යන්තර එකඟතාව

ලෝක පරිසර අරමුදල සහ ජාත්‍යන්තර බැංකු ඇතුළත් ⁣අරමුදල් සම්පාදකයෝ

UNDP, UNEP, UNESCO වැනි එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් අනු සංවිධාන

තෙත් බිම් විද්‍යාඥයන්ගේ සමිතිය, සංරක්ෂණ ජාත්‍යන්තරය වැනි රාජ්‍ය නොවන සංවිධාන

Danone Group, Star Alliance වැනි පුද්ගලික ව්‍යාපාර හා Evian වැනි සන්නාම
ද රැම්සා ප්‍රඥාප්තිය හා එකඟව වැඩ කරන  වෙනත් පාර්ශව අතරට එක් වෙනවා.

රැම්සා ප්‍රඥාප්තියෙන් නිර්මාණය වූ සංසද

පාර්ශවකරුවන්ගේ සමුලුව

රැම්සා එකඟතාවේ පරිපාලන ව්‍යුහය එයයි. එකඟතාව අනුව සියලු පරිපාලන බලය එය සතුයි. එ් මඟින් ප්‍රඥාප්තියට අදාලව සිදු කෙරෙන කටයුතුවල ප්‍රගතිය විමසා බැලෙනවා. නව ප්‍රමුඛතා හඳුනාගැනීම, සාමාජිකයන් සඳහා වැඩ සැළසුම් සකස් කිරීම ඉන් කෙරෙන වෙනත් කාර්යයන්. ඒ වගේම එකඟතා ලියවිල්ලට නව එකතු කිරීම් සිදු කිරීම, විශේෂඥ උපදේශක මණ්ඩල තැනීම, සාමාජික ජාතීන්ගේ ප්‍රගති වාර්තා පරීක්ෂා කිරීම, වෙනත් ජාත්‍යන්තර සංවිධාන සහ ගිවිසුම් සමඟ සහයෝගයෙන් ක්‍රියා කිරීමද එහි වැඩ අතර තිබෙනවා.

ස්ථාවර කමිටුව

සැසිවාර අතර විධායක කාර්යය භාර ස්ථාවර කමිටුවට පැවරෙන අතර ඔවුන් සාමාජික රාජ්‍යයන් නියෝජනය කරනවා. සම්මුතියට අත්සන් කළ රටවල් විසින් සම්පාදනය කරන වැඩ රාමුවට අනුව ඔවුන් සිය කාර්යය සිදු කරනවා. එකඟතාවට අත්සන් කළ රටවල ඡන්දයෙන් ස්ථාවර කමිටුවට නියෝජිතයන් පත් කෙරෙන අතර එක් සමුලුවකදී පත්වන ඔවුන් ඊළඟ සමුලුව දක්වා වසර 03ක නිල කාලයක් සිය ධූර හොබවනු ලබනවා.

විද්‍යාත්මක හා තාක්ෂණික විමසුම් පැනලය

සාමාජික සමුලුවට, ස්ථාවර කමිටුවට හා රැම්සා මහ ලේකම් කාර්යාලයට විද්‍යා හා තාක්ෂණ කාරණා පිළිබඳ මඟ පෙන්වීම එමගින් සිදු කරනවා.

මහලේකම් කාර්යාලය

සම්මුතියේ ක්‍රියාකාරකම්වලට අදාල දෛනික සම්බන්ධීකරණය සිදු කරන්නේ මහ ලේකම් කාර්යාලයයි. ස්විස්ටර්ලන්තයේ ග්ලෑන්ඩ් නුවර පිහිටා ඇති සොබා සම්පත් සංරක්ෂණ ජාත්‍යන්තර එකමුතුවේ (IUCN) මූලස්ථානයේ එය පිහිටා තිබෙනවා. රැම්සා ප්‍රඥාප්තිය ක්‍රියාත්මක කිරීම එකඟතාවේ පාර්ශවකරුවන්, ස්ථාවර කමිටුව හා මහලේකම් කාර්යාලය ඒකාබද්ධව සිදු කරනවා. ඒ සඳහා ජාත්‍යන්තර සහයෝගී සංවිධාන සහ ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් කමිටු විශේෂඥ උපදෙස් ලබා දෙනවා.   Martha Rojas Urrego රැම්සා සම්මුතියේ වත්මන් මහ ලේකම් වරයායි.

රැම්සා මහ ලේකම් කාර්යාලය – ග්ලෑන්ඩ්, ස්විස්ටර්ලන්තය

ලෝක තෙත් බිම් දිනය

සෑම වසරකම පෙබරවාරි 02 වැනිදා ලෝක තෙත් බිම් දිනය ලෙස නම් කර තිබෙනවා. 1971 පෙබරවාරි 02 වැනිදා තෙත් බිම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට එළඹුනු නිසා එලෙස මෙම දිනය නම්කර තිබෙනවා. “මිහිතලය හා මිනිස්කම වෙනුවෙන් තෙත් බිම්වල අගය” තේමාවෙන් හඬ නැගීම අරමුණු කර ගනිමින් 1997 මුල්වරට සැමරූ ලෝක තෙත් බිම් දිනය එතැන් සිට අද දක්වා සමරනු ලබනවා. 2015 දී ලොව පුරා රටවල් 59ක් ලෝක තෙත් බිම් දින සැමරුමට එක් වුණා.

ඉතිහාසය

තෙත් බිම් සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතිය හෙවත් රැම්සා එකඟතාවෙහි වැදගත්කම වටහා ගනිමින් ඊට මූලික වූ අය ලෙස ඉරානයේ එවකට පරිසර ඇමතිවරයා වූ එස්කන්දාර් ෆයිරූස්, ප්‍රංශයේ Tour du Valat පර්යේෂණ මධ්‍යස්ථානයේ ලූක් හොප්මාන්, වනවිහඟ හා තෙත්බිම් භාරයේ ජෙෆ්රි මැතිව්ස් හඳුන්වන්නට පුලුවන්.

ලසන්ත ද සිල්වා

සංස්කාරක

Related post

1 Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *