sdr

ආයුබෝවන් පුල්ලුමලෛ

බදුල්ලේ සිපිරි ගෙදරට මෙපිටින් නාගරික පුස්තකාලය මදක් ඉදිරියේ සිටුවා තිබූ සාරා අකුරු කැටයම් කළ ගල් පුවරුවක් පොඩි කාලේ මට විස්මය ගෙනාවා. ගල් පුවරුවක් කිව්වට ඒක ගමන් විස්තර සඳහනක්. ඒ අකුරු කැටයම් කිව්වෙ පේරාදෙණියෙ ඉඳලා චෙන්කල්අඩි වෙනකම් දුවන ඒ 05 මාර්ගයේ බදුල්ල චෙන්කල්අඩි දක්වා දුර. ලුණුගල පැත්තෙන් බිබිලට පල්ලම බැහැලා වනන්තරේ මැද්දෙන් පදියතලාව, මහඔය පහුකරලා දුවන පාර පෙරිය පුල්ලුමලෛ, කරදියනාරු පහුකරලා චෙන්කල්අඩි වෙනකම් යනවා. ඉන් එහාට මඩකලපුවට යන්න පුලුවන්. ඒ ශ්‍රේනියේ මාර්ගයක් වුණාට ලුණුගල, බිබිල අතරෙත් ඉන් එහාට පදියතලාව පැත්තෙත් මහඔය චෙන්කල්අඩි වෙනකම්ම මේ පාරෙ සංවර්ධනය අසූ ගණන්වලින් නැවතුන හැටියෙ තවම එකතැන පල් වෙනවා. මං ඊයෙ පෙරේදා යද්දි යාම්තම් පළාත ඔලුව උස්සන්න වීරිය ගන්න අන්දම දැක්කට සියල්ල අවදි වෙන්නෙ හෙමින්. පළාතෙ දියුණුව එක තැන නතර වෙන්න හේතු වෙන්න ඇත්තෙ බිහිසුණු යුද්ධය. කරදියනාරු, පුල්ලුමලෛ වගේ පළාත් යුද්ධයේ අන්තිම කටුක අතවරවලට මුහුණ දුන්නා. කොහොම වුණත් වෙනසකට හරි ඒ 05 පාරෙන් මේ ඉසව්ව හරහා යන ගමනකදි පදියතලාව, මහඔය පොඩි ටවුන්වල ගැවසෙනවා නම් ඒ දෙතැනෙදිම උණු දිය බුබුලු බලන්න පුලුවන්. හැබැයි මේ කියන්න හදන්නෙ උණුදිය බුබුලු ගැන කතාවක් නෙවෙයි. අවුරුදු‍ පහළොවක දෙපැත්තෙ තියෙන කතාවක මතක ගැන. මේ කතාවෙ මුල් මතක ලියවෙන්නෙ පෙරිය පුල්ලුමලෛ ගමේදි. කතාව අහවර වෙන්නෙත් පෙරිය පුල්ලුමලෛ ගමෙන්ම. පුංචි සන්දියේ මාව විස්මයට පත් කරපු දුර රාජධානියක් වගේ දැනුණු චෙන්කල්අඩි කියන ඒ ගමනාන්තය තෙක් ඇදිලා ගිය පාරෙ නැවතුමක කතාවෙන්.

තණ ගොල්ලෙන් වැසුණු කන්ද


පුල්ලුමලෛ කියන නමට තියෙන්නෙ ලස්සන සරළ තේරුමක්. තෘණ ගොල්ලෙන් වැසුණු කන්ද කියන අදහස ඒ. පෙරිය කියන්නෙ නම් ලොකු. අපේ අහළ පහල වතුකරයේ මිනිස්සු ලොකු මහත්තයට කිව්වෙ පෙරිය දොරේ කියල බවත් පුල්ලුමලෛ ගිය මට මතකයි. පහළොස් අවුරුද්දකට පස්සෙ යන එන නිනව්වක් නොදැන ඒ ඉසව්වට යද්දි ඇත්තටම තිබුණෙ පුල්ලුමලෛ නමට ගැලපෙන දසුනක් තමයි. මහා වෙනසක් නොවුණත් එදා නොතිබ්බ තරමෙ පොඩි පෙට්ටි ගෙවල් තැනින් තැන බිම්මල් වගේ පිපිලා වැටවලුත් හැදිලා තියෙන නිසා අද ටිකක් පෙනුම වෙනස්. එදා තෘණ බිම් බවට පත් වෙලා තිබුණු කුඹුරු කට්ටිත් දැන් ආයෙම සී සාලා වගා කරන්න පටන් අරගෙන තියෙන හින්දා යුද්ධ කාලෙ නොතිබ්බ මනුස්ස වාසයක හැඟීම දැන් දැනෙනවා. වෙනසට හේතුව මොන විධියකින් හරි යුද්ධය ඉවර වුණාට පස්සෙ පුල්ලුමලෛ, කරදියනාරු, තොප්පිගලට මෙපිට තිබ්බ පොඩි ගම්වලින් පවා ඈත් වෙලා බාගෙදා නෑ ගෙවල්වල නැත්නම් අනාථ කඳවුරුවල හිටපු මිනිස්සු ආපහු ඇවිල්ලා ජීවිතය අලුතෙන් පටන් ගැනීම.
මං මුලින්ම මේ ගම්වල කරක් ගැහුවෙ ඉබාගාතෙ වගේ හරිම අහම්බෙකින්. ගොඩාක් කාලෙකට ඉස්සර හරියටම කියනවා නම් කොටි සංවිධානයයි ලංකා ආණ්ඩුවයි නෝර්වීජියානුවන්ගෙ මැදිහත් වීම ඇතිව සාම ගිවිසුමක් අත්සන් කරලා තිබුණු කාලෙ නැත්නම් සටන් විරාම කාලෙ. අපිට තිබ්බ වුවමනාව සටන් විරාමයේ ප්‍රථිඵල සාමාන්‍ය මිනිස්සු අත් විඳින්නෙ කොහොමද කියලා හොයා බලන එක. ඒ ගමනට මාත් එක්ක තනියට ගියේත් නොදන්න දෙමළෙට ගිහිල්ලා වරිගෙ නහගන්න නොවෙන තැනට වැඩ සැළැස්සුවෙත් නඩරාජා මනිවානන්. නැත්නම් දැන් දෙමළ කෙටි චිත්‍රපට කරුවෙක් වෙලා ඉන්න මනී.
අම්පාරෙන් මහඔය පැත්තට යද්දි හැටනවය හන්දියෙ නවත්තලා ඒ කාලෙ ඒ පැත්තෙ දුර්ලභ, අයිස් කැට දමාපු දොඩම් වීදුරුවක් දකිද්දි මට අර සිහින ගමන හිතට ආවා. මෙන්න ඒ 05 පේරාදෙණිය චෙන්කල්අඩි පාර. ඒ අතරමග පිල්ලුමලෛ. විපරම් කෙරුවම කිලෝ මීටර් දෙකක් ඒ පාරෙ ගිහින් ඇතුළු වෙන්න ලැබෙන්නෙ කොටි පාලන ප්‍රදේශයට කියලත් දොඩම් ඉස්ම විකුණන අක්කා කිව්වා. මං මනීට කිව්වා අපි යා යුත්තෙ මහඔයට නෙවෙයි පිල්ලුමලෛ පැත්තට කියලා. වාහනෙ හරවගෙන ගමන් පටන් ගන්න කළිං විශේෂ කාර්ය බලකායෙ මුර පොළට රපෝරතු කරන්න වෙනවා. එතැන තමයි වාහන යන එන මගීන් පරීක්ෂා කරන්නෙ. අපෙන් දාහක් ප්‍රශ්න අහන්න වුවමනා වුණේ නැහැ. මාධ්‍ය හැඳුනුම්පත් පෙන්නලා කතාව කිව්වම යන්න අවසර ලැබුණා. හැබැයි ප්‍රශ්නයක් වුණොත් අපි වග කියන්නෙ නැහැ කියන කතාවත් කියන ගමන්. කිලෝමීටර් භාගයක් ඉස්සරහට යද්දි වැඩේ පත්තු වුණා. එතැන පොලිස් මුර පොළක්. ආයෙම පරීක්ෂාව එතැනින් කිව්වා යනවනම් පරිස්සමෙන් අපිට වගකීම ගන්න බැහැ කියලා. ඔය අතරෙ රියදුරා ඇවිත් කියනවා. අරුන් වාහන උස්සනවලු මට නම් යන්න බැහැ කියලා. ඇත්තටම ඒ වෙනකොට වාහන කිහිපයක් රඳවගත්ත සිදුවීමුත් වාර්තා වෙලා තිබ්බා. ඒත් අපි මීඩියා හින්දා එහෙම වෙන එකක් නැහැ කිව්වට රියැදුරා හිත හදා ගන්න සූදානම් වුණේම නැහැ. අන්තිමට මනියි මායි තීරණය කළා ඒ ගමන පයින්ම යන්න කිලෝමීටර් එකහමාරක් විතර මහ දුරකුත් නොවෙන හින්දා. ඒ පාලු තාර පාරෙ වාහනයක් ගියේ බොහෝම කලාතුරකින්. දෙපැත්තෙ සද්දන්ත පාරෙ මාර ගස්. ඈතට යනකම් ඉලුක් යාය. හරිම සුන්දරයි. නිසංසලයි. හැබැයි නාඳුනන වෙඩි උණ්ඩයක් අපි හඹා එයිද නැත්නම් අලියෙක් පන්නාගෙන එයිද කියන දෙගිඩියාව හිතේ තිබ්බා.

කටු වැට මැද කඳවුර

ගමනාන්තය විදියට අපිට පෙනුණේ කොටින්ගේ සළකුණ. පාරෙ වම් පැත්තට වෙන්න තිබුණු දැවැන්ත මාර ගහක් අද්දර ඒ පුවරුව තිබුණා. දකුණු පැත්තෙ වැලි කොට්ට, ගස් කඳන් එක්කාසු කරලා හදපු බංකර එක්ක කටු කම්බි වැටෙන් වට වුණු පරණ ගෙයක්. ඒ ගෙදර කඳවුර වෙන්න ඇති මනියි මායි කතා වුණා. අර මාර ගහ යට උක්කුටියෙන් වාඩි වෙලා හිටපු කොල්ලො දෙතුන් දෙනාගෙ අතේ තුවක්කු තිබ්බා. ආගන්තුක අපි ගැන පිරිස විමසිලිමත් වෙනවා. මනී දෙමළෙන් අපි කවුද ආවෙ මොකටද කියලා පැහැදිලි කරලා දුන්නා. අපිට එහෙමම ඉන්න කියලා කෙනෙක් කඳවුරට ගිහින් ටික වෙලාවකින් ආවෙ කුඩා කේක් කෑලි තියෙන තසිමකුයි, කෙහෙල් ඇවරියකුයි කිරියි අරගෙන. එහෙම සංග්‍රහයක් ලැබුණට අපිට අර නිවහනට කතා කෙරුවෙ නැහැ. ටික වෙලාවකින් කෙසඟ මනුස්සයෙකුයි බයිසිකලේකුයි අපිට ලැබුණා. ගම වටේ රවුමක් යන්න. මම ඉස්සරහ පොල්ලෙ, මනි ලගේජ් එකේ. අර මනුස්සයා බයිසිකලේ පදින ගමන් සිංදුවක් කියනවා. මනී මට ඒ සිංදුවේ තේරුම සිංහලෙන් කියන්න උත්සාහ ගන්නවා. “දෙමළයි, දෙමළ ඊළමයි මට මගේ ඇස් දෙක වගේ” ඒ සිංදුවේ මුල් පදවල තියෙන්නෙ එහෙම තේරුමක්ලු. ඒ ගමේ මිනිස්සු දැක්කම මගේ සිංහල හිත අඬනවා. අහිංසක මිනිස්සු කොහේ හිටියත් විපත්තිවලට මුහුණ දෙනවා ඇරෙන්න දිනා ගත්ත දෙයක් නැහැ. ඒ බිම වගේම මිනිස්සුත් යුද්ධය නිසා කෘශ වෙලා අකලට මහළු වෙලා. අපේ පටිගත කිරීමේ යන්ත්‍ර මිනිස්සුන්ගේ අ‍දෝනාවලින් පුරවගත්තට පස්සෙ ආපහු කඳවුරු දොරකඩට ආවම තුවක්කු ගත්ත යම්තම් දැලි රැවුලවත් වැවිච්ච නැති කොල්ලො දන්න සිංහලෙන් අනාගත හීන තෝරන්න ගත්තම හිත තවත් බර වුණා. මං ඒ වෙලාවෙ දැනගෙන හිටියෙ නැහැ උන්ගෙ මරණ සහතික ලියවිලා තිබ්බා කියලා. නැගෙනහිර යුද්ධය ආපිට ඇවිත් පුල්ලුමලෛ කොටි මරා දැමුණා කියලා ප්‍රවෘත්තිවල ප්‍රචාරය වෙද්දි මගේ යටි හිතේ මනුස්සකම ඇඬුවෙ ඇත්තටම උන් ළමා සොල්දාදුවො කියලා මට දැනුණු නිසා වෙන්න ඇති.
ඒ ගමනෙදි තමයි මං හරියටම දැනගත්තෙ මොන යුද්ධයක් මැද්දෙ වුණත් ජාවාරම්වලට ඉඩක් වෙන් වෙලා තියෙනවා කියලා. ඇත්තටම ඒක අපි ඉන්න සමාජය ගැන අඬමින් හිනා වෙන්න තරමෙ හාස්‍යජනක කතාවක්.  අපිව පාරෙ ගිය දෙමළ මනුස්සයෙක්ගෙ වාහනයක පටවලා ආපහු 69 හන්දිය පැත්තට එවන්න කලිං තැපැල් නයින්ටියක නැගපු මිනිහෙක් කඳවුර ඉස්සරහට ආවා. මවිල් කෙඳි පුලුස්සාපු වල් ඌරු කවන්ධයක් තැපැල් නයින්ටියේ පිටිපස්ස කොටසෙ කිටිකිටියේ ගැටලාල තිබුණා. “සර් ඌරු මස් ඕනද?” අර මනුස්සයා අහනවා. “කිලෝ එකක් රුපියල් එකසිය පනහයි. සර්ලගෙන් සල්ලි ඕන නැහැ”   ඒත් ආපහු අම්පාරට යන්න තියෙන ගමනට වල් ඌරු මස් තහංචියි. මගදිගට චෙක් පොයින්ට් අපේ හිත් කියනවා. “ඌරු මස් එපා. ඒත් මේවා කොහේට ගෙනිහිල්ලද විකුණන්නෙ” අපේ කුතුහලය ප්‍රශ්න අහනවා. “මෙහෙමයි සර් මේකා කපලා විකුණන්න අමාරුයි අපි ගිහිල්ලා පොලිස් මුරපොලට සතා පිටින් දුන්නම අපිට කිලෝවට සීය ගාණෙ දෙන්න එයාලා එකසිය පනහ ගාණෙ විකුණ ගන්නවා” සටන් විරාමෙ තවත් ප්‍රතිලාභයක් මනීටයි මටයි හිනාවෙන්න තවත් මාතෘකාවක් එක්ක ඒ ගමන යහතින් ආපහු එන්න ලැබුණා.

ආයෙත් පිල්ලුමලෛ හරහා

මේ පාර මඩකලපුවෙන් චෙන්කල්අඩි ඇවිත් පදියතලාව මහියංගණය හරහා දහ අට වංගුව තරණය කරලා නුවර යන්න හිතා ගත්තෙ ඒ සුන්දර මතක එක්ක මළවුනුත් මතක් වුණු හින්දම. මොකද මනුස්සකම්වලට ජාතියක් ජම්මයක් නැහැ. ගමන ලස්සන වෙන්න උදව්ව එරාවුර් පොල් රා කඩෙන් ලැබුණා. හරියට දකුණෙ වෙරළ වාටියෙදි වගේම රස පොල් රා එරාවුර්වල තියෙනවා. ඒකත් පුදුමයක්. මොකද මේ පැත්ත පොල් රාවලට චිර ප්‍රසිද්ධ නැහැ. එක කුලයක මිනිස්සුන්ට ජීවත්වෙන්න විදිහක් වුවමනා නිසා අනෙක් මිනිස්සු ඒ තැබෑරුමට පොල් රා බොන්න එනවා. අපි ඒ මිහිරත් ඇරගෙන හුඟක් දුර ඇවිල්ලා අපිට නවතින්න වුවමනා තැන අහගත්තෙ “අර කොටි කෑම්ප් එකක් තිබ්බ තැන මතකද?” කියලා මග හිටපු උදවියගෙන් අහලා. එතැන ඒ කවුරුවත් අද නැහැ. තවම පැරණි තෘණ කන්දක මතකය එක්ක මළවුන්ගේ මතක කියන නටබුන් තියෙනවා. ළඟපාත අලුත් කෝවිලක තේරු උත්සවයක් පටන් ඇරගෙන. මිනිස්සු සල්පිල් හදාගෙන වෙළඳාම් කරන්න බලාගෙන ඉන්නවා. අපිට එතැනින් මුරුක්කු, ගෝදම්බ රොටී එක්ක මඤ්ඤොක්කා කටගැස්මක් හොයා ගන්න ලැබුණා. යුද්ධෙන් පස්සෙ ගමේ කුඹුරු කරන්න අලුත් වැවක් හැදිලා. ඒ වෙද්දි නියඟය නිසා දිය අහේනි කාලයක් ඇවිදිල්ලා තිබ්බත් වැව් පිටියෙ කුඹුක යට හෙවණ සිහිලයි. වැව මැද හරක්, මීම්මු කරක් ගහද්දි රෑ අයිතිකාරයො අලින්ගෙ බෙටි හැම තැනම. වෑ කන්දෙ රෑ ගෙවන්න පුලුවන්නම් මේක අලි බලන්න කදිම තැනක්. හැබැයි අලි වැට තියෙන්නෙ වෑ කන්දෙන් එපිට හින්දා අවධානමක් එක්කයි ඉන්න වෙන්නෙ. අන්තිමට යම්තම් හිස බමන වේලේ ඒ මතක එක්ක පුල්ලුමලයට ආයුබෝවන් කියද්දිත් මට තුවක්කු උරිහෙ එල්ලාගෙන හිටපු අර ළා ඉලන්දාරි මතක් වුණා.

ලසන්ත ද සිල්වා

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *