ආර්ථික ඝාතකයන්ගෙන් අප බේරා ගන්න – ව්‍යාපාරිකයෝ අයදිති

කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ ඉපයීම් නොමැතිව තම ව්‍යාපාර පවත්වාගෙන යෑමට නොහැකිව ව්‍යාපාරිකයින් අසරණව සිටියදී ඔවුන් බැංකු ණය ලබා ගැනීම සඳහා ඇපයට තිබූ දේපොළ ඇතැම් බැංකු මගින් වෙන්දේසි කිරීමට පියවර ගැනීම බලවත් අසාධාරණයක් බව ව්‍යාපාරික එකතුවකින් සැදුම්ලත් සිටුවර ජයබල සංවිධානයේ ජාතික සංවිධායක සිසිර වික්‍රමසේකර මහතා පවසයි.මෙම ගැටලුව සඳහා ජනපතිතුමන්ගේ හෝ අගමැතිවරයාගේ මූලිකත්වයෙන් බැංකු ප්‍රධානීන් හා ව්‍යාපාරිකයින් අතර සාකච්ඡාවක් පවත්වන්නේ නම් එය අගය කරන බවද ඒ මහතා කීය. මහනුවර යටිනුවර වීදියේ ඩෙවෝන් රෙස්ටුරන්ට් හිදී පසුගියදා (04)පැවැති මාධ්‍ය හමුවකදී වික්‍රමසේකර මහතා මේ බව ප්‍රකාශ කළේය.කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ව්‍යාපාරිකයින් බැංකු ණය වාරික ගෙවීමට නොහැකිව අසරණව සිටියදී බැංකු හා මූල්‍ය ආයතන විසින් දිගින් දිගටම ඔවුන් පීඩාවට පත්කරමින් සිටින බවත් මේ නිසා අද ඇතැම් ව්‍යාපාරිකයින්ට තමන් දුක් මහන්සියෙන් අවුරුදු ගණනාවක් තිස්සේ ගොඩනගා ගත් දේපොළ වත්කම් පවා අහිමිව යාමේ අවධානමක් මතුව තිබෙන බවත් හෙතෙම පැවසුවේය.

පාස්කු ප්‍රහාරයෙන් පසු තම ව්‍යාපාර පවත්වාගෙන යෑමේ අර්බුදයකට මුහුණ දුන් ව්‍යාපාරිකයින් කොවිඩ් අර්බුදයත් සමඟ කබලෙන් ලිපට වැටී ඇති බවත් රජය කොතෙක් සහන ලබාදීමට උනන්දු වුවත් රාජ්‍ය හා පෞද්ගලික බැංකු,මූල්‍ය සමාගම් මෙය තේරුම් නොගැනීම කනගාටුවට කරුණක් බවත් ඒ මහතා කීය.මෙහිදී අදහස් දැක්වූ සිටුවර ජයබල සංවිධානයේ මහනුවර ක්‍රියාකාරී සාමාජික රංජිත් සමරක්කොඩි මහතා බැංකු සමඟ වසර 15 ක පමණ කාලයක් හොඳින් ගනුදෙනු කළ ව්‍යාපාරිකයින් පසුගිය මාස තුන හතරක කාලයේදී ණය වාරික ගෙවීමට නොහැකිව අසරණව සිටින බවත් ඔවුන්ගේ ව්‍යාපාර බිඳ වැටී තිබෙන්නේ කලමනාකරණයේ වරදකින් නොව ලෝක වසංගත තත්ත්වයේ බලපෑම නිසා බවත් ප්‍රකාශ කළේය. දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයා යනු මෙරට ආර්ථිකයේ කොඳු නාරටිය බව ජනපතිතුමන් ප්‍රකාශ කළ බවත් අද අන්ත අසරණ තත්ත්වයට පත්ව තිබෙන්නේ මෙම පිරිස බවත් හෙතෙම කීය.පොලී අනුපාත අඩුකර ණය වාරික ගෙවීමට සාධාරණ කාලයක් ලබාදෙන ලෙස තමන් රජයෙන් බැගෑපත්ව ඉල්ලා සිටින බවද ඒ මහතා කීය.සංචාරකයින් නොමැති නිසා තම සංචාරක හෝටලය වසා දමා තිබුණත් විදුලි, ජල හා වරිපනම් බිල් ගෙවිය යුතු බවත් එයට අමතරව ලක්ෂ ගණනක බැංකු ණය වාරිකයක් තිබෙන බවත් කී සමරක්කොඩි මහතා හෝටලය වසා දමා එහි වෙනත් ව්‍යාපාරයක් කළ නොහැකි බවද අවධාරණය කළේය. කොවිඩ් නිසා ව්‍යාපාරිකයින් ලබන පාඩුවෙන් කොටසක් රජය සහ  බැංකු විසින්ද දරාගත යුතු බවත් මෙම පාඩුව පාර්ශව තුන අතර බෙදී ගියහොත් ව්‍යාපරිකයින්ට යම් සහනයක් ලැබෙනු ඇති බවත් ඒ මහතා කීය. මෙහිදී සිටුවර ජනබල සංවිධානයේ බදුල්ල සංවිධායක සරත් කරුණාදාස,නිශාන්ති මංතිලක යන මහත්ම මහත්මීන්ද කතා කළහ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *