ඇද වැටුණු අලියා සිටුවන්න රුවන් පෙරට

අලියා යළි නැගිට්ටුවා පක්ෂයක් ලෙස ඉදිරියට යෑමට දැන් කාලය එළඹ තිබෙන බවත් ඒ සඳහා පක්ෂය බිම් මට්ටමේ සිට සංවිධානය කිරීම ආරම්භ කර තිබෙන බවත් එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.එජාප නායකත්වය පමණක් නොව නායකත්වය සඳහා පැවැති සටනද පාක්ෂිකයින් පක්ෂයෙන් ඈත් වීමට හේතු වූ බවත් බලයේ සිටි වසර 4 1/2 ක කාලය තුළ පාක්ෂිකයින්ගේ ප්‍රශ්න දෙස පක්ෂයේ නිසි අවධානය යොමු නොවුණු බවත් ඒ මහතා කීය.මහනුවර එජාප පක්ෂ කාර්යාලයේදී පෙරේදා (22) පැවැති පක්ෂ ක්‍රියාකාරී හමුවකදී විජයවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේය.බලයේ සිටියදී පාක්ෂිකයින්ගේ ප්‍රශ්න සම්බන්ධව නිසි අවධානයක් යොමු නොකිරීමේ ප්‍රතිපල පසුගිය මහ මැතිවරණයේදී අත්විඳින්නට සිදුවූ බවත් සෑම ආසනයකටම ගොස් පාක්ෂිකයින් හමුවී ඔවුන්ගේ අදහස් හා යෝජනා ලබා ගනිමින් පක්ෂය ප්‍රතිසංවිධානය කරන බවත් හෙතෙම අවධාරණය කළේය.වත්මන් ආණ්ඩුව ලක්ෂ 69 ක අති විශාල ජනප්‍රසාදයක් සමඟ බලයට පැමිණියත් ඉතාමත් කෙටි කාලයක් තුළ ජනතා අප්‍රසාදයට පත්වූ බවත් එජාපයට යළි නැගී සිටීමට හොඳම කාලය මෙය බවත් කී ඒ මහතා තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවට අභියෝග කිරීමට නම් සියලු කණ්ඩායම් එකතු වී පුළුල් බලවේගයක් ගොඩනැගිය යුතු බවද ප්‍රකාශ කළේය.වත්මන් ආණ්ඩුව බලය තහවුරු කර ගැනීම සඳහා ප්‍රමුඛතාව ලබාදී කටයුතු කරන බවත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට තිබූ උනන්දුව කොවිඩ් වෛරස් ව්‍යාප්තිය වැලැක්වීම සඳහා නොමැති බවත් එජාප නියෝජ්‍ය නායකයා පැවසුවේය.කොවිඩ් ආසාදනය වී දැන් දවසකට හතර පස් දෙනෙකු මරණයට පත්වන බවත් ආණ්ඩුව මේ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග ගන්නා බවක් පෙනෙන්නට නොමැති බවත් හෙතෙම කීය.මෙම අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත රංගේ බණ්ඩාර,පාලිත තෙවරප්පෙරුම,සංදීප් සමරසිංහ,මහනුවර පුරපති කේසර සේනානායක,එජාප මහනුවර දිස්ත්‍රික් නායිකා ශාන්තිනී කෝන්ගහගේ  යන මහත්ම මහත්මීන්  ඇතුළු පිරිසක් සහභාගි වූහ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *