ඇෆ්ඝනිස්ථානයේ කාන්තා මාධ්‍යවේදීන් තිදෙනෙකුට ප්‍රහාර

සේවය නිම වී නිවෙස බලා යමින් සිටි ඇෆ්ඝනිස්ථානයේ  Enikass TV ආයතනයේ මාධ්‍යවේදිනියන් තිදෙනෙකු නාඳුනන තුවක්කුකරුවකුගේ ප්‍රහාරයකින් මරණයට පත් ව තිබේ. මාර්තු 02 වෙනිදා ස්ථාන දෙකකදී මෙම ප්‍රහාරය එල්ල කර තිබේ. සිදුවීම හෙළා දකින ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර ෆෙඩරේෂණය සහ ඇෆ්ඝන් නිදහස් මාධ්‍යවේදීන්ගේ සංධානය පවසන්නේ මෙය ඇෆ්ඝනිස්ථානයේ මාධ්‍ය වෘත්තිකයන්ට මුහුණ දෙන්නට සිදුව ඇති බරපතල තත්ත්වය විදහා දක්වන බවයි.

නන්ගර්හාර් ප්‍රාන්තයේ ජලාලාබාද් නගරයේ ස්ථාන දෙකකදී වෙඩි ප්‍රහාරයට ලක් වූ මුර්සාල් වහිදි, සාදියා සදාත් සහ සානාත් රොආෆි තිදෙනාම  Enikass TV හී හඬ කැවීම් අංශයේ සේවයේ නිරත ව සිට ඇත. සාදියා සහ සානාත් හවස 04ට පමණ මුලින්ම වෙඩි ප්‍රහාරයට ගොදුරුව ඇති අතර ඉන් මිනිත්තු කිහිපයකට පසුව යාබද වෙනත් ස්ථානයකදී මුර්සාල් ඝාතනය කරනු ලැබ ඇත.  එක්සත් ජනපදයේ මැදිහත්වීමෙන් රටේ සිවිල් යුධ තත්ත්වය අවසන් කිරීමට සාකච්ඡා සිදුවෙමින් පවතින පසුබිමක මාධ්‍ය වෘත්තිකයන් ඉලක්ක කරගත් ඝාතන වැලක අලුත්ම සිදුවීම මෙම ත්‍රිත්ව ඝාතනයයි.

තම කාර්ය මණ්ඩලයට ජීවිත තර්ජන ඇති බව අදාල මෙම රූපවාහිනී නාළිකාව ඇෆ්ඝනිස්ථාන ජාතික බුද්ධි කාර්යාංශයට දන්වා තිබුණද නිශ්චිතව කිනම් සේවකයෙකුට එලෙස තර්ජන ඇතිද යන්න සඳහන් කර නොතිබුණි. 2020 දෙසැම්බර් 10 වැනිදාද  Enikass TV හී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක වූ මලාලා මයිවාන්ඩ් වෙඩි තබා ඝාතනය කරනු ලැබීය. ඇය පවතින රෙජීමය සහාය දක්වන මාධ්‍යවේදිනියක නිසා ඝාතනය කළ බව පවසමින් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය එහි වගකීම භාර ගත්තේ ය.

Enikass TV හී අධ්‍යක්ෂවරයා පවසන්නේ නන්ගර්හාර් දිස්ත්‍රික්කයේ සිදුවීම් පිළිබඳ සිය ආයතනය වාර්තා කරන නිසා ප්‍රදේශයේ ක්‍රියාත්මක ත්‍රස්ත කල්ලිවලින් තර්ජන එල්ල ව තිබූ අතර ඒ පිළිබඳව කාර්ය මණ්ඩලය දැනුවත් කර තිබූ බවයි.

ඇෆ්ඝනිස්ථාන නිදහස් මාධ්‍යවේදීන්ගේ සංවිධානය පවසන්නේ මරණවල වගකීම කිසිම සංවිධානයක් තවම භාරගෙන නැතත් ආරක්ෂක අංශවල නොසැළකිලිමත් බව නිසා ආරක්ෂාව සම්බන්ධයෙන් දරුණු හිඩැසක් නිර්මාණය වී ඇති බවයි. පසුව ඇෆ්ඝනිස්ථාන පොලීසිය නිවේදනය කළේ ඝාතකයන් සමග සබඳතා පැවැත් වූ ජ්‍යෙෂ්ඨ තාලිබාන් නායකයෙකු අත්අඩංගුවට ගත් බවයි.  නමුත් පසුව නිවේදනයක් නිතුක් කළ තාලිබාන් සංවිධානය පැවසුවේ අදාල සිදුවීම සමග තමන්ගේ සම්බන්ධයක් නොමැති බවයි.

2020 සැප්තැම්බරයේ ඇෆ්ඝන් ආණ්ඩුව හා තාලිබාන් සංවිධානය අතර සාම සාකච්ඡා ආරම්භ වූ අවස්ථාවේ සිට මාධ්‍ය වෘත්තිකයන් ඉලක්ක කරගත් ප්‍රහාර වර්ධනය වී ඇත. එක්සත් ජාතීන්ගේ වාර්තාවලට අනුව 2020 සැප්තැම්බරයේ සිට 2021  ජනවාරි දක්වා අඩුම ගණනේ මාධ්‍ය වෘත්තිකයන් සහ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නන් 11 දෙනෙකුට ඇෆ්ඝනිස්ථානය මරණයේ භූමිය වී ඇත.

ලසන්ත ද සිල්වා

 

 

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *