ඉඩම හෝටලයකට දෙන්න පාරට ඇද දැමූ පවුල, උපවාසයේ

පොහොට්ටු දේශපාලනඥයා හෝටලයක් හදන බව ගැමියා කියයි. පිටින් ආපු ටී.ඒටත් ඉඩම් ගැමියන්ට ඔප්පු නෑ.

ප්‍රදේශයේ දේශපාලනඥයෙකුට හෝටලයක් ඉදි කිරීම සඳහා ලබා දීමට තමන් පදිංචිව සිටි ඉඩමෙන් නෙරපූ බව පවසමින් හා ඊට විරෝධය දක්වමින් ලුණුගම්වෙහෙරේ පවුලක් සතියක් තිස්සේ උපවාසයක නිරත ව සිටිති. ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට මෙලෙස උපවාසයේ නිරතව සිටින්නේ 45 හැවිරිදි සුවඳහැන්නදිගේ සරත් නමැති පුද්ගලයෙකු ඔහුගේ බිරිඳ හා දරුවන් සිව් දෙනාය. පසුගිය 24 වැනිදා සිට උපවාසයේ නිරත සුවඳහැන්නදිගේ සරත් අප වාර්තාකරු හා පවසා තිබුණේ, තමන් වසර 28ක් පදිංචි ඉඩම හෝටලයක් ඉදි කිරීම සඳහා දේශපාලනඥයෙකු වෙත ලබාදීමට බලධාරීන් පියවර ගෙන ඇති බවයි. ඒ අනුව තමන් ඉඩමෙන් නෙරපා හැරීමට කටයුතු කර ඇති බව ඔහු පවසයි.

“අවුරුදු 28ක් අපි මෙතැන පදිංචි වෙලා හිටියට ඉඩම්වලට ඔප්පු නැහැ. මේ පැත්තේ ඉන්න කාටවත් ඔප්පු නැහැ. හැමෝම ලන්ද කපලා ඉඩම් කෑල්ලක් අල්ලගෙන ජීවත් වෙනවා. ඡන්දෙ ඉල්ලපු කෙනෙකුට මේ ඉඩම වුවමනා වුණා හෝටලයක් දාන්න. නුදුන්නම ප්‍රාදේශිය ලේකම් කාර්යාලය අල්ලගෙන නඩු දැම්මා. කුලී වැඩ කරන මට කොහෙන්ද පදිංචිය ඔප්පු කරන්න නඩු කියන්න සල්ලි. මං පාරට ඇදගෙන වැටුණා.” යැයි සුවඳහැන්නදිගේ සරත් තමන් මුහුණ දුන් තත්ත්වය පිළිබඳ පවසයි.

ඔහු පවසන අන්දමට පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයට පොහොට්ටුවෙන් තරඟ කළ අයෙකු මේ සිදුවීම පසුපස සිටින අතර සිය ගැටලුව ජනාධිපතිවරයාටද දැනුම් දී තිබේ. “මං මේ ගැන ජනාධිපතිතුමාට දැනුම් දීලා ඉල්ලීමක් කළා මට සාධාරණයක් කරන්න කියලා. එතුමා ඒ වෙලාවේම නිලධාරීන්ට උපදෙස් දීලා තියෙනවා යුක්තිය ඉටු කරන්න කියලා. එහෙම තියෙද්දි තමයි පොහොට්ටුවේ මනුස්සයෙක්ම මේ ඉඩම සුද්ධ කරලා හෝටලයක් හදන්න යන්නෙ. මං ජනාධිපතිතුමාට වැඳලා කියනවා මට සාධාරණයක් කරන්න කියලා” යැයි පවසන ඔහු සඳහන් කරන්නේ තමන් වැනි ප්‍රදේශවාසීන්ට ඉඩම් සඳහා හිමිකම් ලබා නුදුන්නද ගාල්ලේ පදිංචිකරුවෙකු වන තාක්ෂණික නිලධාරිවරයාට තමන්ගේ ඉඩම ඉදිරියේ නිසි පරිදි ඉඩමක් ලබා දීමට බලධාරීන් ක්‍රියා කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම්වරයා වන එල්.අයි වික්‍රමනායක මෙම ඉඩමේ හෝටලයක් හැදිමට නියමිත බව පිළිගත්තේය. ලේකම්වරයා පවසන්නේ උපවාසයේ නිරත අය රජයේ ඉඩමක් බලෙන් අල්ලාගෙන සිටි පුද්ගලයෙකු බවයි. එමනිසා 2007 නඩු පවරා 2020දී ලැබුණු තීන්දුව ප්‍රකාරව ඔහු ඉඩමෙන් නෙරපීමට ක්‍රියාකරන බව පවසන ඔහු ප්‍රාදේශීය ඉඩම් පරිහරණ කමිටුවෙන් හා දිස්ත්‍රික් ඉඩම් පරිහරණ කමිටුවෙන් අදාල ඉඩමේ හෝටලයක් තැනීමේ ව්‍යාපෘතියට අනුමැතිය ලැබී ඇති බව සඳහන් කරයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *