ඉදිරි අයවැයේදී බිම් මට්ටමේ යෝජනාවලට ඉඩ – ඇමති නාමල් පවසයි

යටිතල පහසුකම් හා සමානව රටේ මානව සම්පතද දියුණු කිරීම අරමුණු කරගනිමින් ජනපති හා අගමැති සංකල්පයක් මත පිහිටවූ සමාජීය යටිතල පහසුකම් සංවර්ධන කමිටු රැස්වීම් හරහා දිස්ත්‍රික් මට්ටටමින් ඉදිරිපත් වන අදහස් හා යෝජනා ඉදිරි අයවැය සකස් කිරීමේදී සැලකිල්ලට ගනු ලබන බව තරුණ  හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. සමාජ සංවර්ධනයකින් තොරව රටක් භෞතික සම්පත් අතින් කොපමණ දියුණු වුවත් පළත් නොමැති බවත් මේ අංශ දෙකම එක හා සමානව සංවර්ධනය කර ගෙන යෑම වත්මන් ආණ්ඩුවේ අරමුණ බවත් ඒ මහතා කීය. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් මෙහෙයවනු ලබන ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීමේ ජාතික වැඩසටහන යටතේ ක්‍රියාත්මක සමාජීය යටිතල පහසුකම් සංවර්ධන කමිටු රැස්වීම් මාලාවේ මහනුවර දිස්ත්‍රික් ප්‍රථම රැස්වීම මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී ඊයේ  (14) පැවැති අවස්ථාවේදීය. කමිටුවට අදාල අමාත්‍ය මණ්ඩල නියෝජිත තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත් විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ ඇමැතිවරයා මෙසේද ප්‍රකාශ කළේය.අපි ගොඩක් වෙලාවට යටතල පහසුකම් ගැන කතා කළත් මානව සම්පත ගැන කතා කරන්නේ නැහැ.පාසැල් වල කොච්චර ගොඩනැගිලි තිබුණත් වැඩක් නැහැ දක්ෂ ශිෂ්‍යයෝ බිහි වෙන්නේ නැත්නම්.ක්‍රීඩාවෙන් ජත්‍යන්තර ජයග්‍රහණ අරගෙන රටට පදකම්කම් ගේන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නොමැතිව කොච්චර ක්‍රීඩාංගණ තිබුණත් වැඩක් නැහැ.වෘත්තිය පුහුණු ආයතන කොපමණ තිබුණත් ප්‍රයෝජනයක් නැහැ ඒවට තරුණ තරුණියෝ එන්නේ නැත්නම්,යටිතල පහසුකම් හා සමාන වටිනාකමක් අපි දෙනවා මානව සම්පතට.සමාජ යටිතල පහසුකම් සංවර්ධන කමිටුව ලෙස අපි රටපුරා ගිහින් ගැටලු හඳුනා ගන්නවා.එළඹෙන අයවැයෙන් ඒ ගැටලු විසඳීමට යම් යම් යෝජනා ඉදිරිපත් කරන අතරතුර මේ ගැටලු විසඳීමට ඉදිරි කාලයේදී කළ යුුතුව දේ හඳුනා ගෙන ඊට සැළසුම් සකස් කරනවා.  කොවිඩ් තත්ත්වයත් සමඟ සමස්ත ලෝකයම විශාල අර්බුදයකට ලක්ව තිබෙනවා.එහි බලපෑම අපටත් තිබෙනවා.ඒ හමුවේ රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කළ යුතුයි.කොවිඩ් තිබුණා කියා ජනතාවට තම තමන්ගේ දෛනික කටයුතු වලින් ඈත් වෙලා ජීවත් වෙන්න බැහැ.

සෞඛ්‍ය නිර්දේශ වලට අනුකූලව අද අපට ජීවත් වෙන්න සිදුවෙලා තිබෙනවා.ජනපතිතුමන් රටට ඉදිරිපත් කළ සෞභාග්‍යයේ ඉදිරි දැක්මේ ඇති ප්‍රතිපත්ති වලට අනුකූලව අපි රට ඉදිරියට ගෙන යනවා.ඒ වෙනුවෙන් ස්ථාපිත කළ කමිටු හතරෙන් එකක් තමයි මේ සමාජ යටිතල පහසුකම් සංවර්ධන කමිටුව.අපි ක්‍රීඩාංගණ හදන්නේ රටේ ජනතාවගේ අවශ්‍යතාව මත මිස දේශපාලන අවශ්‍යතා මත නොවෙයි.අපි ක්‍රීඩංගණ හදන්නේ පදක්කම් ගන්න මිස මනාප ගන්න නොවෙයි.ඒ සඳහා අපි සැළස්මක් හදනවා.ඒකට ගැලපෙන ලෙස ක්‍රීඩාංගණ හදනවා.ක්‍රීඩා පාසැල් ස්ථාපිත කිරීමේ වැඩසටහන අපි ක්‍රියාත්මක කරන්නේ කතා කරන භාෂාව පදනම් කරගෙන නෙවෙයි.කතා කරන භාෂාව අනුව අපිට පිට්ටනි දෙකක් දෙන්න බැහැ.දුවන අයටයි පනින අයටයි අපිට පිට්ටනි දෙකක් දෙන්න පුළුවන්.රටේ සියලුම දරුවන්ට ජත්‍යන්තර ජයග්‍රහණ සඳහා යන්න අවශ්‍යය පහසුකම් අපි ලබා දෙනවා.ඉදිරි වසර පහ තුළ අපේ ප්‍රමුඛතාව ක්‍රීඩා පාසැල් හදන එකටයි.ක්‍රීඩා පාසැලක උපරිම වශයෙන් ඉන්නේ ක්‍රීඩා කරන ළමුන් 250 ක් විතර.ඒ වුණත් අපි ළමයි 600 කට පහසුකම් දෙන්න පුළුවන් ආකාරයට මේ පාසැල් සංවර්ධනය කරනවා.වලල ක්‍රීඩා පාසැල සංවර්ධනය කරන්න අපි රුපියල් කෝටි 1000 ක් වැය කරනවා.ඒ අවට කිලෝ මීටර 10 ක පමණ දුරින් පිහිටි සියලු පාසැල් වල ක්‍රීඩා කරන දරුවන්ට මේ පාසැලේ පහසුකම් ලබා ගන්න පුළුවන්.ඒ සඳහා ප්‍රවහන අමාත්‍යාංශය හා සාකච්ඡා කර විශේෂ බස් සේවාවක් ඇති කිරීමටත් බලාපොරොත්තු වෙනවා.

මෙහිදී අදහස් දැක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා මෙසේ ප්‍රකාශ කළේය.මධ්‍යම පළාතේ ජාතික පාසැල් වල ගුරු අතිරික්තයක් තිබියදී පළාත් සභාවට අයත් පාසැල් වල විශාල ගුරු හිඟයක් තිබෙනවා.මේක තුලනය කරන්න නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කිරීම ඉතා වැදගත්.සමහර ගුරුවරු නගරයේ පාසැල් වල අවුරුදු 15 ක් එක දිගට වැඩ කරන අය ඉන්නවා.විල්ගමුව,වලපනේ වගේ දුෂ්කර කළාප වල අවුරුදු පහක සේවා කාලය සම්පූර්ණ කළ ගුරුවරු ඉන්නවා එතනින් එන්න බැරුව.මොකද ගුරුමාරු ප්‍රතිපත්තියක් නියම විදිහට ක්‍රියාත්මක නොවෙන නිසා.මේක ඉතාම අසාධාරණ තත්ත්වයක්.පළාතේ තෝරාගත් පාසැල් හතරක් ජාතික පාසැල් ලෙස සංවර්ධනය කිරීමේ කාර්යයේදී පළාතේ ආණ්ඩුකාරවරයා,දේශපාලන අධිකාරියා,අධ්‍යාපන බලධාරීන්,දෙමව්පියන් ආදි සියලු කණ්ඩායම් සමඟ සාකච්ඡා කර පාසැල් තෝරා ගැනීම කරනවා කිව්වත් අධ්‍යාපන අමාත්‍යාංශය හිතුමතේ එම පාසැල් තෝරාගෙන තිබෙනවා.ඒක වැරදියි.

කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී අදහස් දක්වමින් මෙසේ කීවේය.මහනුවර දිස්ත්‍රික්කය ගත්තෝ මහනුවර නගරයේ විශාල ගුරු අතිරික්තයක් තිබෙනවා.වතුකරයේ පාසැල් වල ගුරුවරු නැහැ.සමහර ගුරුවරු මහනුවර කළාපයට පත්වෙලා ඇවිත් විශ්‍රාම යන්නෙත් එතනමයි.අපි කියන්නේ නැහැ මහනුවර ගුරුවරයා විල්ගමුවට දාන්න කියලා.අපි කියන්නේ මහනුවර කෙනා මාතලේට දාන්න,මාතලේ කෙනා විල්ගමුවට දාන්න කියලා. ගුරුමාරු ප්‍රතිපත්තියක් අපි සකස් කරන්න ඕන ගුරුවරු පීඩාවට පත්කරන්න නොවෙයි. ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල,කමිටුව නියෝජනය  කරන රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රියංකර ජයරත්න, ලසන්ත අලගියවන්න, විදුර වික්‍රමනායක,තේනුක විදානගම, සිසිර ජයකොඩි හා පියල් නිශාන්ත,මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය ඇමැතිවරුන් වන දිලුම් අමුණුගම ,ලොහාන් රත්වත්තේ,මහනුවර දිස්ත්‍රික්  සංවර්ධන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිලක් රාජපක්ෂ, උදයන කිරිදිගොඩ, වේලු කුමාර්, අමාත්‍යාංශ ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන් මෙන්ම මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමීණී රාජරත්න,මහනුවර දිස්‍ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයන් හා රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

 

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *