ඉදිරි වසරේ බීජ කහත් හිඟ වෙයිද?

රටේ පවතින කහ හිඟය සහ ඒ සඳහා පවතින ඉහළ මිල හේතුවෙන් ගොවි ජනතාව සිය කහ අස්වනු මෝරන්නට පෙර ගලවා අළෙවි කිරීමට පෙළඹී තිබෙන බවත් මේ නිසා ඉදිරි වසරේදී රට තුළ බීජ කහ අල හිඟයක් ඇති විය හැකි බවත්  අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (සංවර්ධන) උපුල් රණවීර මහතා පවසයි.

මෙසේ කිරීමෙන් ගොවි ජනතාවට පාරිභෝගිකයන්ට පමණක් නොව ජාතික වශයෙන් රටට ද විශාල පාඩුවක් සිදුවන්නේ යැයි ඒ මහතා කීය. මේ වන විට රට තුළ කුඩා හා මධ්‍ය පරිමාණ වගා ලෙස හෙක්ටයාර 370 ක් පමණද ගෙවතු වගා ලෙස හෙක්ටයාර් 1000 ක් පමණද කහ වගාකොට ඇත.මෙමඟින් මෙට්‍රික් ටොන් 25, 000ක් පමණ අමුකහ අස්වැන්නක් අපේක්ෂා කෙරෙයි.එයින් මෙට්‍රික් ටොන් 5000ක් පමණ ඉදිරි 2021 වසර සඳහා බීජ කහ ලෙස යළි වගා කිරීමට අවශ්‍ය වන බව අධ්‍යක්ෂවරයා පැවසුවේය.

එලෙස බීජ කහ වගා කරගත හැකි වුවහොත් වර්ෂ 2022 වනවිට රටේ දේශීය කහ අවශ්‍යතාවය සපුරා ගත හැකි වන බවද ඒ මහතා ප්‍රකාශ කළේය. වියළි කහ කුඩු කිලෝ ග්රෑම් 01 ක් සකස් කර ගැනීමට මේරූ කහ කිලෝ ග්‍රෑම් 07 ක්  පමණ අවශ්‍යය බවත් නොමේරූ කහ මේ සඳහා යොදා ගන්නේ නම් ඒ සඳහා කහ කිලෝ ග්‍රෑම් 10 – 12 ක් පමණ අවශ්‍යය බවත් හෙතෙම කීය.මෙය නිෂ්පාදකයින්ට මෙන්ම පාරිභෝගිකයන්ටද අවාසිදායක තත්ත්වයක් බවත් එලෙස නෙළා ගන්නා කහ අස්වැන්නේ ගුණාත්මකභාවය පවතින්නේද  අවම මට්ටමක තිබෙන බවත් කී රණවීර මහතා මේ නිසා කහ වගාකරුවන් නොමේරූ කහ අස්වනු නෙළීමෙන් වලකින ලෙස වගා කරුවන් ගෙන් ඉල්ලීමක් කරයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *