Traditional fishing boats work off the east coast of Natuna Besar, Indonesia July 9, 2014. REUTERS/Tim Wimborne/File Photo

ඉන්දීය ධීවර ආක්‍රමණ වළක්වන බව ඩග්ලස් කියයි

ඉන්දියානු ධීවරයින් දේශසීමා පසු කරමින් ශ්‍රී ලංකා මුහුදු තීරය තුළ නීති විරෝධි ධීවර කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් කොළඹ ඉන්දීය තානාපති කාර්යාලය සහ නවදිල්ලියේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කොට කඩිනම් විසදුමක්  ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා  ඊයේ (25) පාර්ලිමේන්තුවේ දී පැවසීය. ඉන්දියානු ධීවරයින් උතුරු හා නැගෙනහිර මුහුදු සීමාවන්ට පමණක් නොව දකුණු මුහුදු තීරයට ද පැමිණ නීති විරෝධි ලෙස මසුන් ඇල්ලීම සිදුකරන බවත්, ඒ නිසා මෙම නීති විරෝධි ක්‍රියාවන් නතර කිරිමට කඩිනම් පියවර ගත යුතු බව ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය  උපදේශක කාරක සභාව ඊයේ (25) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන චාල්ස් නිර්මලනාදන් , එස්. ශ්‍රීධරන් සහ නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් යන මහත්වරුන් ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඉන්දියානු ධීවරයින් විසින් දේශසීමාවෙන් පිටත නීති විරෝධි ධීවර කටයුතු සිදුකිරීම පිළිබඳ ප්‍රශ්නය දැනටමත් කොළඹ ඉන්දියානු තානාපති කාර්යාල නිලධාරීන් සමඟ අවස්ථා ගණනාවකදී සාකච්ඡා කර ඇති බවත් එසේම  ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා  සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා  අතර මෑතකදී  මාර්ග ගත ( ඔන්ලයින් )ක්‍රමයට පැවැත්වූ සාකච්ඡාවේදී ද මේ බව සාකච්ඡා කළ බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය. විශේෂයෙන් මේ සම්බන්ධයෙන් දෙරට අතර ඇනහිට තිබූ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට එකඟතාවක් ඇතිවුව ද තවමත් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත්  මේ සඳහා කඩිනමින් විසඳුමක් ලබාදීමට කොළඹ ඉන්දියානු තානාපති කාර්යාලය සහ නවදිල්ලියේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා පවත්වන බවත්  මෙහිදී අමාත්‍ය වරයා වැඩිදුරටත් පැවසීය.

පසුගිය කාලසීමාව තුළ  ශ්‍රී ලංකා නාවික හමුදාව මැදිහත් වී ඉන්දීය ධීවරයින් දේශ සීමාව හරහා පැමිණීම වැලැක්වුව ද වර්තමාන කොවිඩ් වාතාවරණය නිසා වැඩි වශයෙන් ඉන්දීය ධීවරයින් දේශ සීමාව උල්ලංගනය කරන බවත්  පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා සහ නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතා පෙන්වා දුන් අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව මැදිහත් වී හෝ නැවත මේ සඳහා සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඔවුහු අමාත්‍යවරයාට යොජනා කළහ. කිරින්ද සහ හම්බන්තොට ධීවර වරාය සංවර්ධනය කිරීම කඩිනම් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති මහතා අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි අතර, ධීවර අමාත්‍යාංශය මේ වන විටත්, ඒ පිළිබඳ අවධානය යොමු කර ඇති බව රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා එහිදී ප්‍රකාශ කළේය.

ඔලුවිල් වරාය ‍ ධීවර වරායක් බවට පත් කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව අමාත්‍යවරයා කමිටුවේ දී පැවසූ අතර මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ළඟදීම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. පසුගිය රජය සමයේ හම්බන්තො රැකවැව ප්‍රදේශයේ  ආරම්භ කිරීමට යෝජිතව තිබූ  ක්‍රැබ් සිටි ව්‍යාපෘතිය සඳහා ලබාගත් ඉඩම සම්බන්ධයෙන් නීතිමය ගැටලුවක් පවතින බවත්, එම ගැටලු විසඳීමෙන් අනතුරුව පෞද්ගලික අංශය සමඟ එක්වී එම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට පියවර ගෙන ඇති බවත් රාජ්‍ය  අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *