ඉල්ලීම් එනතුරු බලා සිටී තොරතුරු!… බදුල්ලේ තොරතුරු නිලධාරීන්ගේ අත්දැකීම්

(ජයසිරි ජයසේකර)

තොරතුරු අයිතිය ලංකාවේ පුරවැසියන්ගේ මූලික අයිතියක් ලෙස පිළිගෙන, තොරතුරු දැනගැනීමේ  අයිතිවාසිකම පිළිබඳ පනත සම්මත කිරීම මෑත ඉතිහාසයේ ලාංකියන් අත්කරගත් වැදගත් ජයග්‍රහණයක්. ජනතාවගේ ක්‍රියාකාරකම් පාලනය කිරීමට තිබෙන සිය ගණනක් අණ පනත් අතර, ජනතාවගේ අයිතිවාසිකම තහවුරු කරන මේ පනත ලංකාවට අලුත් අත්දැකීමක්.

මෙතෙක් රාජ්‍ය නිලධාරීන් භාරයේ ඉබි යතුරු ලා ජනතාවට අත පෙවිය නොහැකිව තිබුණු තොරතුරුවලට ප්‍රෙව්ශ වීමටත්, අවශ්‍ය ලිපිලේඛනවල පිටපත් ඉල්ලා සිටීමටත් මේ පනත මගින් මහජනතාවට අවස්ථාව සැලසුණා. වෙනදා තොරතුරු හෙළි කිරීම වරදක් ලෙස සලකා කටයුතු කිරීමට හුරු පුරුදු වූ රාජ්‍ය නිලධාරීන්ට, තොරතුරු ලබා නොදීම (විශේෂයෙන් සඳහන් කළ අවස්ථාවලදී හැර) වරදක් බව මතක තබාගෙන කටයුතු කිරීමට සිදු වුණා.

බදුල්ලේ තොරතුරු කැඩපත

මේ පනතේ ප්‍රායෝගික භාවිතය කෙබඳුද? රාජ්‍ය නිලධාරීන් හා මහජනතාව මේ අලුත් වෙනස තුළ කටයුතු කරන්නේ කොහොමද? තොරතුරු පනත ක්‍රියාත්මක වීමට පටන්ගෙන වසර තුනහමාරක් ගතවෙද්දී ඒ ගැන සමීපව විමසා බැලීමේ අවස්ථාවක් පසුගියදා උදා වුණා. ඒ තොරතුරු කොමිසමේ සහභාගිත්වයෙන්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය හා ඌව ශක්ති පදනමේ සංවිධායකත්වයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනවල තොරතුරු නිලධාරීන් සඳහා පැවති වැඩමුළුවයි.

ප්‍රමුඛ රාජ්‍ය ආයතනවල තොරතුරු නිලධාරීන්, නම් කළ නිලධාරීන් හෝ ආයතන ප්‍රධානීන් සියයකට ආයන්න පිරිසක් සහභාගී වූ මෙම වැඩසටහනේ සම්පත්දායකයින් ලෙස තොරතුරු කොමිසමේ කොමසාරිස්වරයකු වූ නීතිඥ එස්. ජී. පුංචිහේවා, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රෙය් ජ්‍යෙෂ්ඨ පර්යේෂක හා සන්නිවේදන අංශ ප්‍රධානී ලයනල් ගුරුගේ සහ නීති විද්‍යාලයේ කථිකාචාර්ය දුමිඳු මධුෂාන් එක් වුණා.

තොරතුරු පනත පිළිබඳව සහ තොරතුරු කොමිසමේ කාර්යභාරය පිළිබඳව පුංචිහේවා මහතා පැවැත්වූ ප්‍රධාන දේශනයෙන් හා සාකච්ඡා වාරයෙන් පසුව සියලු තොරතුරු නිලධාරීන්ට සිය අත්දැකීම් ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි වුණා. සැබැවින්ම එය බදුල්ල දිස්ත්‍රික්කය තුළ තොරතුරු පනතේ ක්‍රියාකාරිත්වය පිළිබඳ කැඩපතක්.

උද්‍යෝගිමත් සහභාගිත්වය

මේ වැඩමුළුවේ කැපී පෙනුණ කරුණක් නම් තොරතුරු නිලධාරීන්ගේ උද්‍යෝගිමත් සහභාගිත්වයයි. තොරතුරු පනත ක්‍රියාත්මක වීම ආරම්භ වූ දා සිට සිය ආයතනවලට ලැබුණු තොරතුරු ඉල්ලීම් සංඛ්‍යාව හා ඒවායේ ස්වභාවය, ඒවාට දැක්වූ ප්‍රතිචාර මෙන්ම ඒ අතර ලැබුණු සුවිශේෂ අද්දැකීම්ද ඔවුන් විස්තර කළා. තොරතුරු පනත හා එහි භාවිතය පිළිබඳ ප්‍රමාණවත් පුහුණුවක් ලබා සිටි ඔවුන්ට සෙසු ආයතනවල ක්‍රියාකාරිත්වය හඳුනාගැනීමටත්, සමාන්තර ගැටලුවලදී අන් අය ක්‍රියාකර ඇති අන්දම පිළිබඳව අත්දැකීම් හුවමාරු කර ගැනීමටත් මෙය මහඟු අවස්ථාවක් වුණා. නිලධාරීන් බොහෝ දෙනෙක් තොරතුරු පනත සාධනීය දෙයක් බව ප්‍රකාශ කළ අතර තොරතුරු ඉල්ලාසිටින ජනතාවට නොපමාව ඒවා ලබා දීම ඔස්සේ පනතෙහි පරමාර්ථ සාධනය කිරීමට උත්සුක වී තිබුණා. ඇතැම් නිලධාරීන් සඳහන් කළේ ජනතාව නිතර අපේක්ෂා කරන තොරතුරු සේවා ස්ථානවල ප්‍රදර්ශනය කිරීමට (ප්‍රගාමී හෙළිදරව් කිරීම්) කටයුතු කර ඇති බවයි.

ඉල්ලීම් සීමිත වීම

බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රමුඛ රාජ්‍ය ආයතන රැසක අත්දැකීම්වලින් හෙළි වූ ප්‍රධානතම කරුණ නම්, මහජනයාගෙන් ආයතනවලට තොරතුරු ඉල්ලීම් ලැබී ඇත්තේ ඉතා සුළු සංඛ්‍යාවක් බවයි. තොරතුරු පනත පිළිබඳව පුරවැසියන්ගේ අවබෝධය ඉතා පහළ මට්ටමක පැවතීම ඊට ප්‍රධාන හේතුවක් ලෙස බොහෝ නිලධාරීන් සඳහන් කළා. උදාහරණයක් ලෙස මහජනයාට සෘජුව බලපාන ආයතනයක් වන ඌව පළාත් සභාවේ ප්‍රධාන ලේකම් කාර්යාලයට 2017 වසරේදී ලැබී තිබුණේ ඉල්ලීම් 6ක් පමණයි. 2018දී ඉල්ලීම් 5ක්ද 2019දී ඉල්ලීම් 12ක්ද 2020 වසරේ මේ දක්වා ඉල්ලීම් 6ක්ද ලැබී තිබුණා. ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයට 2018 ඉල්ලීම් 3ක් 2019 ඉල්ලීම් 8ක් හා 2020 මේ දක්වා ඉල්ලීම් 4ක් පමණක් ලැබී තිබුණා. මේ සියල්ලටම පිළිතුරු ලබා දුන් බවද එම නිලධාරීන් සඳහන් කළා. ජනතාවගේ කටයුතු බොහොමයකට සම්බන්ධ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ප්‍රාදේශීය සභා ආදී ආයතනවල තත්වයත් මීට දෙවැනි නැහැ. ආයතන කිහිපයක තොරතුරු ඉල්ලීම් පිළිබඳ අවධානය යොමු කිරීම එම තත්ත්වය වටහාගැනීමට ප්‍රමාණවත්.

ඌව පළාත් පරිවාස දෙපාර්තමේන්තුව 2017-3, 2018-5, 2019-1, 2020 නැත.

කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 2018-2, 2019-2, 2020-1

බණ්ඩාරවෙල මහ නගර සභාව 2017 සිට මේ දක්වා 23

බදුල්ල කම්කරු කාර්යාලය- මේ දක්වා කිසිදු ඉල්ලීමක් ඉදිරිපත් වී නැත.

ඌව පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය- 2017 සිට මේ දක්වා 20

බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 2019දී 150

මහියංගණය, ඇටැම්පිටිය, පස්සර පොලිස් ස්ථාන- එකදු ඉල්ලීමක් හෝ ලැබී නැත.

කැපී පෙනෙන කරුණු

මෙහිදී බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කැපී පෙනෙන සංඛ්‍යාවක් තොරතුරු ඉල්ලීම් ලැබී ඇති අතර එය උමාඔය ව්‍යාපෘතිය ආශ්‍රිතව මතු වූ ගැටලු හේතුවෙන්, ඒ ගැන බහුජන සංවිධානවල මැදිහත්වීම ඔස්සේ ඇති වූ විශේෂ තත්ත්වයක් ලෙස හඳුනාගත හැකියි. කම්කරු කාර්යාලය වැනි තැනකට එකම ඉල්ලීමක් හෝ නොලැබීම, අයිතිවාසිකම් පිළිබඳ දැනුවත් හා සංවේදී පිරිසක් ලෙස සැලකෙන වෘත්තීය ප්‍රජාව අතරෙහි පවා මේ ගැන ඇති අල්ප අවබෝධයට නිදසුනක්. පොලිස් ස්ථානවලට කිසිදු තොරතුරු අයදුම්පතක් ඉදිරිපත් වී නොතිබීමද විශේෂ අවධානය යොමු විය යුතු කරුණක්. පොලිසිය නියෝජනය කරමින් වැඩමුළුවට සහභාගී වූ නිලධාරීන් සඳහන් කළේ පැමිණිලි පිටපත් ලබාගැනීම ආදී අවශ්‍යතා සඳහා පැමිණෙන ජනතාවට ඒවා කඩිනමින් ඉටු කර දෙන නමුත් තොරතුරු පනත යටතේ ඉල්ලීම් ඉදිරිපත් නොවන බවයි.

සංඛ්‍යාත්මකව පමණක් බැලූ විට නොපෙනෙන ඇතැම් අපූරු කරුණුද නිලධාරීන්ගේ අදහස් දැක්වීම්වලදී හෙළි වුණා. ඇතැම් ආයතනවලට ඉදිරිපත් වී තිබුණු තොරතුරු ඉල්ලීම් එකම පුද්ගලයකු විසින් ඉදිරිපත් කළ ඒවායි. එකම ප්‍රශ්නය නැවත නැවතත් විවිධාකාරයෙන් ඉදිරිපත් වූ අවස්ථාද තිබෙන බව ඔවුන් පැවසුවා. ඇතැම් තොරතුරු ප්‍රමාණයෙන් ඉතා විශාල වන අතර ( උදා- පොහොර සහනාධාරය ලැබූ අයගේ නාම ලේඛන) ඒ බව පෙන්වා දී පිටපත් සඳහා වැය වන මුදල සඳහන් කළ විට තොරතුරු ලබා නොගත් අවස්ථාද සඳහන් වුණා. එමෙන්ම එවැනි තොරතුරු පැමිණ පරීක්ෂා කිරීමට හැකි බව දැනුම් දුන් විට අයදුම්කරුවන් ඊට උනන්දු වී නැහැ. එමෙන්ම ඉල්ලා සිටි තොරතුරුවල ඡායා පිටපත් සූදානම් කර, මුදල් ගෙවා ලබා ගන්නා ලෙස දැනුම් දී ඇතත් ඒවා රැගෙන නොගිය අවස්ථා කිහිපයක් ගැනත් අසන්නට ලැබුණා.

අභියාචනා කිරීම්

තොරතුරු ඉල්ලීමක් ප්‍රතික්ෂේප වී ඒ පිළිබඳව පළමුව නම් කළ නිලධාරියාටත්, එයින්ද අවශ්‍යතාව ඉටු නොවූ විට තොරතුරු කොමිසමටත් අභියාචනා කළ අවස්ථා තිබුණේ සීමිත ප්‍රමාණයක්. කිසියම් පොදු අධිකාරියක් සන්තකයේ නොමැති තොරතුරු ඉල්ලා, ඒවා නොමැති බව දැනුම් දුන් විට ඉන් සෑහීමට පත් නොවූ අයදුම්කරු ඒ ගැන නැවත අභියාචනා කළ අවස්ථාවක් ගැන එක් නිලධාරියෙක් සඳහන් කළා. තොරතුරු ලබා දීම සම්බන්ධයෙන් මතු වූ ගැටලු පිළිබඳව තොරතුරු කොමිසමේ සාමාජික නීතිඥ එස්.ජී. පුංචිහේවා මහතා සමඟ සාකච්ඡා කොට උපදෙස් ලබා ගැනීමට හැකි වීම නිලධාරීන්ට ලැබුණු වටිනා අවස්ථාවක්. ගැටලු මතු වන්නේ විවිධාකාර තොරතුරු ඉල්ලීම් ලැබෙන විටයි. තීරණ ගැනීමට පූර්ව අත්දැකීම් වැදගත් වෙනවා. තොරතුරු ඉල්ලීම් විශාල සංඛ්‍යාවක් සම්බන්ධයෙන් කටයුතු කර ඇති තොරතුරු නිලධාරියකුට, වඩාත් නිවැරදි තීරණයක් ලබා දීමේ හැකියාව ලැබෙනවා. ඒ අනුව තොරතුරු ඉල්ලීම් වැඩි වැඩියෙන් ඉදිරිපත් වීම තොරතුරු නිලධාරීන්ගේ කුසලතාද වර්ධනය වීමට හේතුවක්. බොහෝ නිලධාරීන්ගේ අදහස් පළ කිරීම්වලින් පැහැදිලි වුණේ, ඔවුන් එසේ අත්දැකීම් ලැබීමට කැමති බවයි.

බදුල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් සමිත සපුතන්ත්‍රී මහතා සිය කාර්යාලයට ලැබුණු තොරතුරු ඉල්ලීම් පිළිබඳ කදිම සමාලෝචනයක්ද ඉදිරිපත් කරමින් අදහස් පළ කළා.

“මෙහිදී තොරතුරු ඉල්ලීම් ඉදිරිපත් වූ ප්‍රධාන විෂයයන් වුණේ පරිසර, ජල, ආපදා කළමනාකරණ, ඉඩම් හා වන්දි තොරතුරුයි. ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කටයුතු සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලීම් හතරක් ලැබී තිබුණා. ඒ වගේම විෂය කරුණු සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සිසුන්, රාජ්‍ය නොවන සංවිධාන ආදී පාර්ශ්ව වෙතින් ඉල්ලීම් 15ක් ලැබී තිබුණා. අපට පෙනී ගිය කරුණක් තමයි බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කවලින් සමන්විත ඌව පළාතේ තොරතුරු ඉල්ලීම් සඳහා මහජනතාවට ඇත්තේ අඩු උනන්දුවක්. ඒත් අපි දන්නවා මීට බොහෝදුරට සමාන අධ්‍යාපන මට්ටමක් ඇති නැගෙනහිර පළාතේ තොරතුරු පනත යටතේ මීට සාපේක්ෂව ඉතා ඉහළ ඉල්ලීම් ප්‍රමාණයක් ලැබෙනවා. මේ පිළිබඳව ජනතාවගේ දැනුවත්භාවය ඉහළ නැංවිමයි කළ යුත්තේ.”

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *