උඩිස්පත්තුවේ කරාටේ පවුල

කරාතේ ක්‍රීඩාවෙන් සුවිශේෂි දක්ෂතා දක්වමින් රන්,රිදී හා ලෝකඩ පදක්කම් 104 ක් දිනාගත් එකම පවුල් සහෝදර සහෝදරියන් සිව් දෙනෙකු පිළිබඳ පුවතක් උඩිස්පත්තුව ඇටඹගහ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

අවුරුදු 16,13,10 හා 06 වයසේ පසුවන මෙම සහෝදරියන් කරාතේ ක්‍රීඩාවට යොමුව මාස නවයක පමණ කාලයක් තුළ මෙම ජයග්‍රහණ ලබාගෙන තිබේ. අමුපිටිය ජාතික පාසැලේ 11 වන වසරේ අධ්‍යාපනය ලබන සඳුන් සෙව්මිණ ධර්මරත්න කරාතේ ක්‍රීඩාවට යොමුව මාස හතක් වැනි කෙටි කාලයක් තුළ පදක්කම් 29 ක් දිනා ඇත.ඔහුගේ නැගණිය වන දිව්මි තස්මිලා සෙව්මිණි ධර්මරත්නද එම විදුහලේම අධ්‍යාපනය ලබන අතර මේවන විට ඇය දිනා තිබෙන පදක්කම් ගණන 10 කි.

පවුලේ තෙවැන්නා වන දස හැවිරිදි චේතන විදුෂාන් ධර්මරත්න උඩිස්පත්තුව ප්‍රාථමික විදුහලේ හයවන ශ්‍රේනියේ අධ්‍යාපනය ලබන අතර ඔහු දිනා තිබෙන පදක්කම් ගණන 34 කි.පවුලේ බාලයා වන හය හැවිරිදි ඔෂධ විදුෂාන් ධර්මරත්න රන් පදක්කම් 25 ක් සමඟ දිනා තිබෙන මුළු පදක්කම් ගණන 31 කි.

තෙල්දෙණිය නගරයේ සිට කිලෝ මීටර පහක පමණ දුරින් පිහිටි උඩිස්පත්තුව ඇටඹේගහවත්තේ පදිංචි මෙම දරුවන්ගේ පියාවන ප්‍රියන්ත සංජීව ධර්මරත්න වෘත්තියෙන් පෙදරේරුවෙකි.ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති වීම නිසා දරුවන්ගේ අධ්‍යාපන හා ක්‍රීඩා කටයුතු වලට වැය කිරීමට ප්‍රමාණවත් මුදලක් නොමැති බව ඔහු පවසයි.කළු පටි හතරවන ශ්‍රේනිය දරන එස්.සූරියභවන් මහතා යටතේ ශිල්ප හදාරන මෙම ළමුන් සිව්දෙනාගේ අරමුණ කෙදිනක හෝ මෙරටට ජත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ අත්කර දීමය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා පසුගියදා එම නිවසට ගොස් මෙම දරුවන්ගේ කුසලතා අගයකර ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙළක් දියත්කරන බවට පොරොන්දුවක් ලබා දුන්නේය. මහවැලියට අයත් රක්ෂිත ඉඩමක පදිංචි මොවුන්ට ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා නිවසක් තනා දීමට කැමැත්ත පළකළ බව පැවසූ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ඒ සඳහා අවශ්‍යය ඉඩම මැද දුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයෙන් ලබා දීමට ප්‍රාදේශීය ලේකම්වරයා පියවර ගනිමින් සිටින බවද අවධාරණය කළේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *