එක්සත් ජාතීන්ගේ යෝජනාවලට අපි බය නැහැ

ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා සටනක නිරත වූයේ නිදහස් රටක ස්වෛරීත්වය ආරක්ෂා කර ගැනීමට මිස පුද්ගලයෙකුට හෝ ජාතියකට විරුද්ධව නොවන බවත් ඩයස්පෝරාවේ බලපෑම් වලට නතුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම කුමන යෝජනා ගෙනාවත් ඒවාට මුහුණ දීමට රජය සූදානම් බවත් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අසත්‍ය පදනමක් නොමැති කරුණු මත සකස්වූ බොරුවක් සහ ශ්‍රී ලංකා රජය පවසන සත්‍ය අතර සටනක් දැන් නිර්මාණය වෙමින් තිබෙන බවත් එහිදී සත්‍ය ජයගනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඒ මහතා කීය.

හන්තාන සඳගිරු සෑ විහාරස්ථානයේ බුද්ධ මන්දිරයට මුල්ගල් තැබීම සහ එහි දහම් පාසැල් ගොඩනැගිල්ල විවෘත කිරීම නිමිත්තෙන් ඊයේ (28) විහාරස්ථානයේදී පැවැති උත්සවයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී ඇමැතිවරයා වැඩිදුරත් කතා කරමින් මෙසේද පැවසුවේය.ත්‍රස්තවාදීන් සමඟ සටනක් කරන විට මරණ සිදු නොවන බව  කියන්න තරම අපි මෝඩයෝ නොවෙයි.එවැනි සටනක් ආරම්භ කරලා රට විනාශය කරා ගෙනගිය කණ්ඩායම ගැන අවාසනාවකට කිසිදු කතාවක් නැහැ.විදේශ ඇමැතිවරයා ලෙස මංගල සමරවීර මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට යෝජනාවක් ගෙනල්ලා අපි වැරදි කළා අපිට දඬුවම් දෙන්න කියලා කිව්වා. ලෝකයේ කිසිම රටක් ඒ විදිහට තමන්ගේ රටට විරුද්ධව යෝජනා ඉදිරිපත් කරලා නැහැ.

තිලක් මාරපන ඇමැතිවරයා 2018 වසරේදී විදේශ ඇමැති ලෙස කටයුතු කරමින් සිටියදී මානව හිමිකම් කොමසාරිස්තුමිය වාර්තාව කියවලා අවසන් වුණාම නැගිටලා කිව්වා කවුරු මේවා ඉදිරිපත් කළත් එය රටේ මූලික නීතියට පටහැනි බැවින් ඒවා ඉටු කිරීමට නොහැකියි කියලා.ඒ ගැන අපි එතුමාට ස්තූතිවන්ත වෙනවා.

මේක අභියෝගයක් නමුත් ඒක අපි ජයගන්නවා.අවසන් සටනේදී 60000 ක් මියගියා කියලා තමයි  ප්‍රචාරය ගෙනගියේ.ලෝඩ් නෙස්පි කියනවා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ දත්ත වලට අනුව මියගිය සංඛ්‍යාව 6000 කට අඩුයි කියලා.මේවාට මුහුණ දීම අපිට අභියෝගයක් නොවෙයි.ඒවා අභියෝග නොවන බව අපි ඔප්පු කරලා පෙන්වා තිබෙනවා.

මෙම අවස්ථාවට සඳගිරි සෑ විහාරස්ථානයේ විහාරාධිපති ගඟසිරිපුර ධම්මාලෝක හිමිද සහභාගි විය.

 

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *