එ.ජා.ප නායකත්වය තමන්ට අවශ්‍ය බව නවීන් කියයි.

වසර 26 ක් අඛන්ඩව පවතින එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ වෙනසක් විය යුතු බවත් එම නායකත්වයට අවශ්‍යය සුදුසුකම් තමන්ටද තිබෙන බවත් එජාප ජාතික සංවිධායක සහ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක නවින් දිසානායක මහතා පවසයි. හැටන් දිඹුලපතන ප්‍රදේශයේ පැවැති පාක්ෂික හමුවකට එක්වෙමින් දිසානායක මහතා ඊයේ (19) මේබව ප්‍රකාශ කළේය. තමන් කෙලින් කතා කරන කෙලින් වැඩකරන අයෙකු බවත් පක්ෂ නායකත්වයට පත්ව ජනපති,අගමැති පුටුවලට යාහැකි තමන් මුලින්ම සේවය කරන්නේ නුවරඑළියේ ජනතාවට බවත් ඒ මහතා කීය.

වසර 20 ක කාලයක් දේශපාලනයේ නිරත තමන් පක්ෂයේ දෙවන හෝ තෙවන තැන සිටින බවත් තමන්ට අවශ්‍යය පළමු තැනට ඒමට බවත් කී ඒ මහතා ඒ සඳහා තමන්ට තල්ලුවක් දෙන ලෙස නුවරඑළිය ජනතාවගෙන් ඉල්ලා සිටින බවද අවධාරණය කළේය.

තරුණ නායකයින් රැසක් තමන් නුවරඑළියට බිහිකර තිබෙන බවද ඒ මහතා කීය. එක්සත් ජාතික පක්ෂය මේ රටේ පැරණිතම දේශපාලන පක්ෂය බවත්  දැවැන්ත නායකයින් පිරිසක් එජාපයෙන් බිහිව තිබෙන බවත්  දිසානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය යම්කිසි බෙදීමකට ලක්ව තිබෙන බව කවුරුත් දන්නා බවත් අවුරදු තුනක කාලයකට තමන් මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක්වූයේ යුද්ධය අවසන් කිරීම සඳහා සහය වීමට බවත් කී ඒ මහතා ඉන්පසු තමන් එක්සත් ජාතික පක්ෂයට පැමිණි බවද ප්‍රකාශ කළේය. එක්සත් ජාතික පක්ෂය කිසිවකුටත්  විනාශ කළ නොහැකි බවත් එය ජීවමාන පක්ෂයක් බවත් හෙතෙම පැවසුවේය. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අත,පුටුව,බුලත් කොළය ලෙස වෙනස් වුවත් එජාපයේ ලකුණ හැමදාම අලියා බවද ඒ මහතා කීය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *