එ.ජා.ප හැර ගිය පිරිස පසුතැවෙන දිනය ළඟයි – නීතීඥ රුෂ්ඩි හබීබ්

එක්සත් ජාතික පක්ෂය තාවකාලික පසුබෑම්වලට මුහුණ දුන්නද ඒ සෑමවිටක විසල් බලවේගයක් ලෙස යළි පිබිදී ඇති බවත් එළඹෙන මැතිවරණයෙන් අනතුරුවද ජනතාවගේ පක්ෂය ‍ලෙස අනාගතයට මුහුණ දෙන බලවේගය වන බවත් මෙවර මහමැතිවරණයේදී එ.ජා.ප යෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින නීතීඥ රුෂ්ඩි හබීබ් පවසයි. අද (04) බලංගොඩදී පැවති මාධ්‍ය හමුවක අදහස් දක්වමින් ඔහු පැවසුවේ, පක්ෂයේ ප්‍රතිපත්ති සහ දැක්ම නිවැරදිව වටහා නොගත් පිරිසක් පක්ෂය හැර ගොස් මැතිවරණයට වෙනමම තරඟ කරන නමුත් ඔවුන් අතර සිටින බහුතරයක් යථාර්තය අවබෝධ කරගනිමින් සිටින අතර මැතිවරණයෙන් පසුව නැවත එක්සත් ජාතික පක්ෂය හා එක්වීමට වුවමනාවෙන් පසුවන බවයි. ඔවුන්ටද පක්ෂයේ දොරටු විවෘත නමුත් නව සාමාජිකයන් ලෙස පක්ෂයට එක්වීමට සිදුවිය හැකි බවද නීතීඥ රුෂ්ඩි හබීබ් පැවසුවේය.

“පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එරෙහිව ඔවුන් ගත් නීතිමය ක්‍රියාමාර්ගයත් අපතේ ගිහිල්ලා තියෙනවා. ඒ නිසා දැනටමත් සමහරු කියනවා තමන්ට පසුතැවිල්ලක් තිබෙන බව සහ නැවත පක්ෂයට එන බව. එ.ජා.ප කියන්නේ එහෙම හිතෙන වෙලාවට යන්න එන්න අම්බලමක් නෙවෙයි. එහෙත් පක්ෂයට ඔවුන් ගැන වෛරයක් නැහැ. රනිල් වික්‍රමසිංහ කියන්නෙ දුර දකින නැණවත් නායකයෙක්. ඔහු කියන්නේ නිසි විනය ක්‍රියාමාර්ගයකට මුහුණ දීලා පක්ෂයට එන්න ඒ හැමෝටම ඉඩ දෙනවා කියලා. දැන් සමහරු වහසි බස් දොඩවනවා ඡන්දෙන් පස්සෙ සිරිකොත අල්ලගන්නවා කියලත්. ඒවා එහෙම කරන්න පුලුවන් දේවල් නෙවෙයි. පක්ෂයේ දේව්ල් අයිති පක්ෂයට අලියා ලකුණට.” යැයිද හෙතෙම මෙම මාධ්‍ය හමුවේදී පැවසීය.

එසේම, අලුතෙන් හදාගත් කල්ලි කණ්ඩායම්වල සළකුණවත් ජනතාව නොදන්නා බව පැවසූ නීතීඥ රුෂ්ඩි හබීබ් සඳහන් කළේ ජනතාවගේ හදවතේ ඇඳුණු ඡන්ද සළකුණ අලියා බැවින් එළඹෙන මැකිවරණයේදීත් එක්සත් ජාතික පක්ෂයේ ශක්තිය දැක ගන්නට හැකි වනු ඇති බවයි.

“මෙම මැතිවරණයේදී රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරඟ වදින්නට අවස්ථාව ලැබීම, ආශිර්වාදයක්” කොට සළකන අතර සියලු ජනපිරිස් වෙත එකලෙස සේවය සළසමින් සාමය වෙනුවෙන් කැපවීම සිය අරමුණ බවත් ඔහු පැවසුවේය. රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව අන්තවාදය පිළිකුල් කරන අතර භේදයකින් තොරව උගත් ජනහිතකාමීන් පාර්ලිමේන්තු යවන්නට කැපවන බවද පැවසූ නීතීඥ රුෂ්ඩි හබීබ් තමන් පොදු ජනයාගේ මිනිසෙක් බවද සඳහන් කලේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පෙන්වා දුන්නේ, හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ හුදු දේශපාලන වාසි තකා ජාත්‍යන්තර කීර්තියට පත් මෙරට ක්‍රීඩකයන් අපහසුවට පත් කිරීම කනගාටුදායක බවයි. අදාල නෛතික තත්ත්වයන්ට අනුව සාවද්‍ය පැමිණිලි ඉදිරිපත් කරමින් ක්‍රීඩකයන් අපහසුවට පත් කිරීම දඬුවම් ලැබිය යුතු වරදක් වන අතර ක්‍රීඩාවට ලැදි සැමගේ වගකීම මහින්දානන්ද හිටපු ඇමතිවරයා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම බවද ඔහු පැවසුවේය.  

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *