ඒඩ්ස් දිනයට සමගාමීව බිම්තැන්නටත් කොන්ඩම් රඳවන හා 22 කාමරයක්
චාමින්ද බුලත්සිංහල – ගිරාඳුරුකෝට්ටේ
මහියංගණ,රිදීමාලියද්ද, ගිරාඳුරු
ලෝක ඒඩ්ස් දිනය හා මහියංගණයේ තත්වය පිළිබඳව අදහස් දැක්වූ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ සායනයේ විශේෂඥ වෛද්‍ය චතුරිකා වික්‍රමරත්න මහත්මිය,ලෝක ජනගහනයෙන් මිලියන 39.9කට එච්.අයි.වී.ආසාදනය වෙලා, මිලියන 1.8 ක පිරිසක් අළුතින් එච්.අයි.වී.ගොදුරු බවට ලක් වෙනවා. මිලියනයක පමණ පිරිසක් වාර්ෂිකව ඒඩ්ස් තත්වයට පත්වෙලා මිය යනවා.
ලංකාවේ තත්වය මීට වඩා වෙනස්, දැනට ජාතික ලිංගාශ්‍රිත රොග ඒකකයේ ලියා පදිංචි වී සිටින පිරිස 3615ක් වෙනවා.ඌව පළාතේ බදුල්ල,මොනරාගල දිස්ත්‍රික්ක වලින් බදුල්ල දිස්ත්‍රික්කයෙන් එච්.අයි.වී.ආසාදිතයන් 59 දෙනෙකු වාර්තා වෙනවා. ඉන් සැලකිය යුතු පිරිසක් මේ මහියංගණ ප්‍රදේශයෙන් හමු වෙනවා.තව දුරටත් අදහස් දක්වන වෛද්‍ය චතුරිකා වික්‍රමරත්න මිය, මෙවර ලෝක ඒඩ්ස් දිනයේ තේමාව තාරුණ්‍යයේ වගකීම ඉටු කරමු.එච්.අයි.වී.වළකමු යන්නයි; ඒත් කොවිඩ් තත්වය හමුවේ ගෝලීය තේමාව වෙනස් ගෝලීය සහයෝගිතාවය සහ සාමූහික වගකීම යන්න එහි තේමාවයි. ලංකාව දෙස බලන විට HIV ආසාදනය වීම සඳහා තරුණ අයගේ විශාල නැඹුරුතාවයක් පවතිනවා.ඊට හේතුව විදියට අපි දකින්නේ වත්මන් තරුණ ප්‍රජාව තුල ලිංගිකත්වය මෙන්ම ලිංගාශ්‍රිත රෝග පිළිබඳව ඇති දැනුම අල්පවීමයි.ඒ වගේම අවදානම් හැසිරීම් වලින් වලකින්න ප්‍රමාණවත් තරම් කුසලතාවන් හා ප්‍රඥාව ඔවුන් සතුව නැහැ.විශේෂයෙන්ම දැන් දැන් මේ තරුණ ප්‍රජාව නූතන තාක්ෂණික මෙවලම් භාවිතය හරහා අවධානම් සහිත ලිංගික ක්‍රියාකාරකම් වල නිරතවෙනවා වැඩියි.ඒ විතරක් නෙවෙයි මේ තාක්ෂණය හරහා නොදන්නා පුද්ගලයින් සමග ක්ෂණික සබඳතා ඇති කර ගැනීමත් බහුලව දක්නට පුලුවන්. මේ ප්‍රදේශය ගත්තාම බාල වයස් දරුවන් අපයෝජනයන්ට ගොදුරු වන අවස්ථාවන් ඉහළ අගයක් ගන්නවා.එහිදී දරුවන් මේ ලිංගාශ්‍රිත රෝග වලට ගොදුරුවීමේ අවධානම වැඩියි. ඒ මගින් එම දරුවන්ගේ මුලු ජීවිත කාළයම අඳුරේ වැටෙන්න ඇති හැකියාව වැඩියි.ඒ විතරක් නෙවෙයි සම වයස් කණ්ඩායම් වලින් එල්ලවෙන පීඩනයද යෞවනයින් අතරේ ලිංගාශ්‍රිත රෝග පැතිර යාමට රුකුලක් වෙනවා.
අද ලෝක ඒඩ්ස් දිනය සමරන්නේ අපි මහියංගණයේ ලිංගාශ්‍රිත රෝග සඳහා වෙනමම ඒකකයක් ආරම්භ කරලයි. දැනුවත්වීම මගින් මෙම රෝග වලින් ආරක්ෂා වීමට අවශ්‍ය ශක්තිය අපි ඔවුන්ට ලබා දෙනවා. මහියංගණය කේන්ද්‍ර කර ගනිමින් කාන්තා ලිංගික ශ්‍රමිකයින් විශාල පිරිසක් සිටින බවට අප ලඟ තොරතුරු තිබෙනවා. අඩු තරමින් ඔවුන් මෙම රෝග වලින් මුදවා ගැනීමට හැකි වුනොත් එය මහා සමාජ සේවාවක් වෙනවා.එම නිසා මෙය සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල වගකීමක් විතරක් කියලා කව්රුන් හෝ සිතනවා නම් එය වැරදීමක් ප්‍රජා දායකත්වය මීට අවශ්‍යයි.කොවිඩ් නිසා පාලනය වෙලා තිබුණාට රටේ කටයුතු සාමාන්‍ය වුනු විගසින් තත්වය මීට වඩා වෙනස් වෙනවා.විශේෂයෙන්ම නිවෙස් වලට සිරවී සිටින අධික ලෙස ලිංගික ක්‍රියාකාරකම් වල යෙදෙන්නන් යළි සුපුරුදු පරිදි තමන්ගේ කටයුතු පටන් ගනීවි.එතකොට තමයි පරෙස්සම් විය යුත්තේ. අපි අපේ තරුණ පරම්පරාව බේරා ගනිමු .ඒ වෙනුවෙන් මාධ්‍ය මිත්‍රයින්ට මෙම පණිවිඩය සමාජයට හොඳින්ම ගෙන යා හැකියි.යනුවෙන් ප්‍රකාශ කළාය.
මීට අමතරව මහියංගණය,ගිරාඳුරුකෝට්ටේ,හා කන්දකැටිය යන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාස වල කොන්ඩම් රඳවන 04 තබා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩිලංක මහතා පැවසීය. මෙය පරීක්ෂණ මට්ටමෙන් පවත්වන බවත් දැනට එම රඳවන වල කොන්ඩම් අවසන්වූ පසු සතියකට වරක් මේවා යළි පිරවීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින්ම සිදු කරන බවත් පැවසීය. මෙමගින් ලිංගාශ්‍රිත රෝග පැතිරීම අවම තත්වයකට ගෙන ඒම තම අපේක්ෂාව බව ඔහු පැවසීය.