කඳුරට ගුවන්විදුලියෙන් ඉංග්‍රීසි දැනුම

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කඳුරට සේවය මගින් ආරම්භ කළ කඳුරට කැලැසික් එෆ්.එම් ඉංග්‍රීසි විකාශනය ශ්‍රවන කලාපය තුළ ඉංග්‍රීසි බස හදාරණ සිසු දැරියන්ට විශිෂ්ට අත්දැකීම් ලබා ගැනීමට පිටුවහලක් වන ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.විවිධ තොරතුරු හා යහපත් ආකල්ප කඳුරට කැලැසික් එෆ්.එම් ඔස්සේ ජනතාවට සන්නිවේදනය වනු ඇති බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලය වැනි උසස් ආයතන වල සම්පත් දායකයින්ගේ සහය මෙයට ලබා ගැනීමෙන් වඩා හොඳ සේවාවක් ලබාදිය හැකි බවත් ඒ මහතා කීය.ඒ මහතා මේ බව පැවසුවේ කඳුරට ගුවන් විදුලිය සතියේ දිනවල පෙරවරු 11.00 සිට 12.00 දක්වා විකාශනය ආරම්භ කළ කැලැසික් එෆ්.එම් විශේෂ ඉංග්‍රීසි විකාශනයට සිය සුබ පැතුම් එක් කරමිනි.ජත්‍යන්තර පාසැල් වල මෙන්ම නාගරික හා ග්‍රාමීය රජයේ පාසැල් වල දරුවන්ගේ අත්දැකීම් හා කුසලතා සෙසු පාසැල් වල දූ දරුවන්ටද බෙදා හදා ගැනීමට මෙය මනා අත්වැලැක් වනු ඇතැයි රඹුක්වැල්ල මහතා සිය සුබ පැතුම් පණිවිඩයෙන් දන්වා සිටියේය.ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේ සිට භාෂා හතරකින් විකාශන කටයුතු සිදු කළත් ප්‍රාදේශීය සේවා මගින්ද ජත්‍යන්තර භාෂාවක් වන ඉංග්‍රීසි භාෂාව උපයෝගි කරගනිමින් මෙලෙස විකාශනයක් ආරම්භ කිරීම කාලීන අවශ්‍යතාවක් ඉටු කිරීමක් බවද ගුවන් විදුලි සංස්ථාවේ සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ මහතා පැවසුවේය.එමඟින් ඉංග්‍රීසි සාහිත්‍යයේ ගැබ්ව තිබෙන විශිෂ්ට නිර්මාණ අධ්‍යාපනයේ හා සෞන්දර්ය වර්ධනයට යොදාගත හැකි බවත් අත්හදා බැලීමක් වන මෙම විකාශනය ඉදිරියේදී පැය දෙක බැගින් දින හතේදීම ක්‍රියාත්මක කරන බවත් කී සභාපතිවරයා ඊට බාල,ළමා තරුණ හා වැඩිහිටි  සැම සහභාගි කර ගැනීම වැදගත් බවද අවධාරණය කළේය.කඳුරට කැලැසික් එෆ්.එම් ඉංග්‍රීසි විකාශනය 107.3 හා 107.5 හා 90.1 සහ එස්.එල්.බී.සී රේඩියෝ ගාර්ඩ්න් (Slbc radio garden) ඔස්සේද ඊට සවන් දීමට පුළුවන.නව විකාශනයේ ආරම්භක නිවේදන කටයුතු මහනුවර මහාමායා බාලිකාවේ සරණී අලහකෝන් සිසුවිය විසින් සිදු කරනු ලැබුවාය.මාධ්‍යවේදී සම්පත් බණ්ඩාර මහතා මෙම විකාශනයේ මෙහෙයුම් සම්බන්ධීකාරක ලෙස කටයුතු කරයි.මෙම අවස්ථාවට අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන සමීර ගමගේ,නිපුණ වාහලතන්ත්‍රි,ප්‍රධාන කාර්යාලයේ ගාමීණී අබේසේකර,කඳුරට සේවයේ සහකාර අධ්‍යක්ෂ සමන් ජයරත්න,කාර්යභාර නිලධාරී සිරාජ් ලුතිපි යන මහත්වරුද සහභාගි වූහ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *