කඳුළුත් කලු කළ අඳුරු මතකය. කලු ජූලිය

“මට ඒ කාලේ බොහෝම සරුයි. හොඳට වෙළඳාම් කළා අපි. ඒ අවුරුද්ද 1983. මාසේ ජූලි. කවදාවත් මගේ හිතෙන් මැකෙන්නෙ නෑ ඒ දවස්. වෛරයක් හන්දානම් නෙමෙයි. මට හරිම පුදුම හින්දා එහෙම වුණේ ඇයි කියලා. දන්නවද මට හොඳටම ගහපු, අපේ දේවල් පුච්චපු මිනිස්සුම තමයි අන්තිමේදී අපි අසරණ වෙලා ඉන්නකොට බත්මුල් බැඳගෙන අපිව බලන්න ආවේ. මට ඒ වෙලාවේ හරිම පුදුම හිතුණා. මෙහෙම බත්මුල් බැඳගෙන බලන්න එන්න පුලූවන් මිනිස්සු මොන එහෙකට මට ගැහුවද කියලා˜. හේ බලංගොඩ කදීර් වේලායුධ ස්වාමි කෝවිලේ කුරුක්කල් ෂන්මුගා සුබ්‍රමනියම්ය. අද ඔහු වයස අවුරුදු 62ක් වන වියපත් මිනිසෙකි. ජීවිතයේ තමන් මුහුණ දුන් බොහෝ සිදුවීම් දෙස උපේක්ෂා සහගතව බලන්නෙකි. 1983 කලූ ජූලියට මුහුණ දෙන්නට සිදුවන විට සශ්‍රීක දිවිපෙවෙතක් ගත කළ අසල්වැසි සිංහලයින්ටද උදව් කළ දෙමළෙකි. ජීවිතයේ පශ්චීම යාමයේ ස්නායු ආබාධයකින් පෙලෙන නිසා වචන අමුණමින් තමන්ගේ කතාව කියන ඔහු 1983 ජූලි මාසයේ මුහුණ දුන් බියකරු අත්දැකීම් නිසාම ඉන්දියාවට පලා ගොස් පිටුවහලේ සිව්වසරක් ගෙවා නැවත මව්බිමට ආවෙකි. “දෙවියනේ පරම්පරා කීපයක් අවුරුදු සියයකට වඩා අපි මෙහේ උන්නා. අපේ මුත්තා ඉන්දියාවෙන් ආවට තාත්තා, මම ඉපදුණේ මෙහේ. ඉතිං මේක නෙවෙයිද මගේ මව් රට?. ඒ කාලේ අපේ බිස්නස් සරුවට තියෙද්දි සිල්ලර වෙළඳාම් කරපු සිංහල අය හුඟ දෙනෙක් බඩු ගත්තෙ අපෙන්. බලංගොඩින් පත් වෙච්ච මුස්ලිම් මන්ත්‍රී අබුසාලි මහත්තයට පාර්ලිමේන්තු යන්න කාරෙක දුන්නෙ අපේ මිනිස්සු. ඒ කාලෙ වෙන කාටද කාර් තිබ්ඛෙ. ඉතිං මේ හැම දෙයක්ම සිද්ධ වුණේ ඉරිසියාව නිසා වෙන්න ඇති. මැණික් නිසා අලූතෙන් සල්ලි කාරයො වෙච්ච සමහරු මනුස්සකම් අමතක කළා. අපිට ගහපු අය එහෙම කළේ උසි ගන්වපු නිසා. නොදැනුවත්කමට. ඒකයි පස්සෙ බලන්න එන්නත් ඇත්තෙ.˜  ඔහු සුසුමක් හෙලන්නේ දෙමළ හා සිංහල මිනිසුන්ගේද මහත් භක්තියට හා ගෞරවාදරයට පත් කතරගම දෙවිඳුන්ගේ රුව අබියස සිටය. සෝවුරන් මෙන් බැඳී සිටිය යුතු දෙපිරිසකගේ කතාවේ දුක හිතෙන තැන් ගැන සාක්ෂිය කතරගම දෙවිඳුන් බවට පත් කරමිනි. 

කලු ජූලිය

සිංහලෙන් කලූ ජූලියද දෙමළෙන් කරුප්පු ජුලයි යනුවෙන්ද හැඳින්වෙන හා පොදු අදහසක් දනවන 1983 ජූලි මාසය ආසන්න සමය මෑත ශ්‍රී ලංකාවේ වර්ගවාදී ප්‍රචන්ඩත්වය ඉතාම බිහිසුණු ලෙස මුදා හරින ලද අවාසනාවන්තම භීම සමය ලෙස හැඳින්විය හැකිය. 1983 ජූලි 23 වන දින දෙමළ විමුක්ති කොටින් ශ්‍රී ලංකා යුධ හමුදාවේ සෙබලූ 13 දෙනෙකු ඝාතනය කිරීමත්, ඔවුනගේ සිරුරු 24 වැනිදා කොළඹට රැගෙන ඒමත් දෙමළ ජනයාට එරෙහි වාර්ගික සංහාරයකට සිංහල ජනයා පෙළඹවීම සඳහා අවස්ථාවාදී දේශපාලනය ලද ස්වර්ණමය අවස්ථාවක් සේ සැළකිය හැකි වේ. එතැන් සිට දිවයිනේ සිංහලයින් බහුතරයක් වෙසෙන කලාප වල දෙමළ ජනයාට පහරදීම, ඝාතනය කිරීම, පදිංචි ස්ථාන වලින් පලවා හැරීම, දේපල විනාශ කිරීම හා මංකොල්ල කෑම සිදුවිය. මේ සිදුවීම් පිළිබඳ සෑහෙන තරමේ පශ්චාත්තාප වීමක් දේශපාලනඥයින් වෙතින් සිදුව නොමැති අතර බිහිසුණු විනාශය පිළිබඳ නිශ්චිත සංඛ්‍යා ලේඛන නොමැත. ආසන්න වශයෙන් 4000 ත් 3000 ත් අතර පිරිසක් ඝාතනය කෙරුණු අතර නිවාස 8000ක් හා කඩ සාප්පු 5000 ක් විනාශ කොට ලක්ෂ එක හමාරක් වත් ජනයා අවතැන් වූවන් බවට පත් කෙරුණි. ඩොලර් මිලියන 300 ක් වත් ආර්ථීකයට අහිමි කෙරුණු අතර මූල්‍ය සවිය තිබුණු දෙමළ ජනයා ආරක්ෂාව පතා විදේශයන්ට පළා  යෑමට හා දෙමළ තරුණයින් නිරායාසයෙන් සන්නද්ධ සංවිධාන වලට බැඳීමට බල කෙරුණි. අවසානයේ මේ ජූලිය ශ්‍රී ලංකාවට උදා කර දුන්නේ තිස් වසරක බිහිසුණු යුද්ධයකි. ඉන් බොහෝ සිංහලයින් සේම දමිළයින්ද මිය ගොස් ශ්‍රී ලංකාව දශක ගණනාවක් ආපස්සට ගෙන ගියේය.

මල් සුවඳ දෙන මතක

ෂන්මුගා සුබ්‍රමනියම්ට පරම්පරා උරුමයෙන් පේවූ කදිර් වේලායුධ ස්වාමි කොවිල තුළ ඇත්තේ දෙවියන්ට පිදූ පළතුරු සුවඳ හා මුසුවූ පිච්ච මල් සුවඳය. ඒ ඔස්සේ ඔහුට දැනෙන්නේ සශ්‍රීක අතීතයේ සුවඳය. කෝවිලේ ඇති පිත්තල බඳුනක දෙමළෙන් ලියූ සාක්ෂියකට අනුව ඒ 1869 දී පමණ වන්නට ඇත. “අවුරුදු 140 කට වැඩිය ඉස්සර. ඒ සුද්දා මේ රට පාලනය කරපු කාලේ. වෙළඳාමට ඉන්දියාවෙන් ආපු චෙට්ටියාර්ලා එක්ක අපේ තාත්තගෙ තාත්තත් ඒ කියන්නෙ මගේ සීයත් ඇවිත් තිබුණා මෙහාට මේ බලංගොඩට. එයාලගේ පූජා වලට. ඉතිං සීයා තමයි මේ කෝවිල පටන් ගත්තේ.˜ චෙට්ටියාර්ලා දක්ෂ වෙළෙන්දෝය. සුද්දන්ගේ වතු වල කම්කරුවන්ට හාල්, පිටි, සීනි වික්කේ ඔවුහුය. රේල් පාර හැදුනු පසුව කෝච්චියෙන් ඕපනායකට රැගෙන එන බඩු මුට්ටු ගල් ටයර සවි කළ කරත්ත වලින් උඩහ බලංගොඩ පැත්තට ඇද්දේ ඔවුන්ය.

“චෙට්ටියාර්ලා වෙනුවෙන් කෝවිල හැදුනට සීයගෙ කාලෙත්, මගෙ තාත්තගෙ කාලෙත් ගොඩක් සිංහල මිනිස්සු කෝවිලට ආවා. අදත් සීයට අනූවක් එන්නෙ සිංහල මිනිස්සු. ඒ උදවිය කතරගම ස්වාමිට ගොඩක් ගරු කරනවා. 83 අපිට ගැහුවට, කඩ පිච්චුවට දේවාලෙට හිරිහැරයක් කළේ නෑ.” ෂන්මුගා සුබ්‍රමනියම්ගේ පරම්පරාව ලංකාවට කැඳවාගෙන ආ චෙට්ටියාර්ලාට 1956 දී යළි ඉන්දියාවට යන්නට සිදුවන්නේය. ඒ රටේ ඇති වූ දේශපාලනය මුල් කරගත් විපර්යාස නිසාය. එහෙත් ෂන්මුගාගේ අප්පාට තම දූදරුවන්, සෝවුරන් කැටුව ඉන්දියාවට යන්නට නොසිතෙන්නේය. ඒ මේ තමන්ගේ මාතෘ භූමිය යැයි ඔහු ඒ වනවිට දැඩිව විශ්වාස කරමින් සිටි නිසාය. මිනිසෙකුගේ මව්බිම වන්නේ තමන් උපන් බිම වන බව ඔහු සිතූ නිසාය. “ඉතිං චෙට්ටියාර්ලා යන්න ගියේ දේපල අපේ තාත්තලට දීලා. ඒවා අයිති වුණේ අපට. ලොරි 11ක් විතර. බස්, කාර් එකක්. ව්‍යාපාර හැමදේම. අසූතුනේ කලබල වලදී පුච්චලා විනාශ කළේ ඒවා. ගිනි තියන්න ආවේ අපි දන්න අය. පහුවදා බත්මුල් බැඳගෙන අපිව බලන්න ආවෙත් එයාලම තමයි.” ෂන්මුගා සුබ්‍රමනියම් පුදුම වන්නේ එහෙයිනි.

“කලූ ජූලියට කළිං වාහන තිබ්බ අපිට අද මොකක්වත් නැතිව පයින් යන්න වෙලා තියෙනවා. එදා අපිට පහර දුන්න සමහර අය වෙළදාමට බඩු ගත්තෙ අපෙන්. සල්ලි ණයට ගත්තෙ අපෙන්. ඒ ගොල්ල දන්නෙත් නෑ ඇයි අපිට ගැහුවෙ කියලා. වැරදි දේශපාලනය නේද?˜ අන්තිමේදී ඔහු විමසන්නේය. කෙසේ වෙතත් අදටත් ඒ කාටවත් දොස් කියන්නේ නැතැයි කියන ඔහු උදව්වක් ඉල්ලන වෙලාවක ඉදිරිපත් වන්නට තරම් වේදනාවන් යටපත් කර ඇත්තේය. තමන් වෙනුවෙන් කතරගම දෙවියන් යදින්නට අද ඔහු සොයා එන ඇතමුන්ද එදා මේ වේදනාව උරුම කර දෙන්නට හවුල් වූවන්ය. ඔවුන් ඉදිරියේද ෂන්මුගා නිහ~ව සිටින්නේ සියල්ලේ භාරකරුවා දෙවියන් බව සළකාය. 

අමතක නොකළ යුත්තේ මනුස්සකම්ය.

මේ බොරැල්ලේ සිදු වූ අවාසනාවන්ත සිදුවීමකි

ෂන්මුගා සුබ්‍රමනියම් පීඩාවන් සේම පීඩකයන්ද අමතක කර ඇත්තේය. ඒ නිමාවක් අවශ්‍ය වන නිසාය. ඔහු තරයේ විශ්වාස කරන්නේ එදා සිදුවීම් අවස්ථාවාදී දේශපාලනඥයින් හා ඉරිසියාකාරයින් මෙහෙයවන ලද ඒවා බවය. බොහෝ දෙනෙකු අවිඥාණිකව පීඩකයින් බවට පරිවර්ථනය වූ බවය. ඒ නිසා සමාව දීම හා සහෝදරත්වය මුදා හැරීම කළ යුතුය. එහෙත් අන්තවාදය හා අවස්ථාවාදය කෙළවර වී නොමැත. එබැවින් අනාගතයේදීද මනුස්සකම මත අඳුරු සෙවණැලි පතිත විය හැකිය.

“දැන් ඔය සමහරු අලූතෙන් පෙන්නන්න හදන ඉතිහාසය බොහෝම භයානකයි. ඒ අය අතීතයේ තිබුණු හොඳ, එතකොට සහජීවනය අමතක කරන්න බල කරනවා. දුටු ගැමුණ රජ්ජුරුවො යුද්ධෙන් එළාර රජ්ජුරුවො පරාජය කරලා මරලා දැම්මා. හැබැයි එයා දැනං හිටියා එළාර රජ්ජුරුවන්ගෙ හොඳ ගතිගුණ තිබ්බා කියලා. ඒ නිසා සොහොනක් බැඳලා නියෝග කළා එතැනින් යන අය රථ වාහන වලින් බැහැලා ගරුසරු දක්වලා යන්න කියලා. ඒත් අද ඒ විදියට හිතන්නෙ නෑ. දවසක සිංහල අයම කියාවි මහා වංශයෙ තියෙන මේ කතා බොරු කියලා. නිදහස් සටනෙදී පොන්නම්බලම් රාමනාදන් මහත්තයා කරපු දේවල් ගැන අද කතා කරන්නෙ නෑ.˜

අතීතයේ අමිිහිර මකා දමන අතරතුර අමතක නොකළ යුත්තේ කුමක්දැයි ෂන්මුගා සුබ්‍රමනියම් පැහැදිලි කරයි. “මේ මගේ රට. සිංහල අයත් එක්ක මං ඉන්නෙ. හැම ප්‍රශ්නෙකටම හේතුව වෙන එකක්. මං හිතන්නෙ නෑ ප්‍රභාකරන් වගේ කෙනෙක් එක්කවත් පොඩි මිනිහට යහපතක් වෙන්න තිබ්බා කියලා. මනුස්සකම එක්ක මේ දිහාව බලන්න ඕන.˜ හෙතෙම සමාජයට පණිවිඩයක් දෙයි. ඒ පණිවිඩය පිළිගන්නා අය මනුස්සකම අබියස වර්ගවාදයේ ලේබල ගැලවිය යුතුය.

83 කලූ ජූලියෙන් බැට කෑ හපුතලේ බ්ලැක්වුඩ් හි දමිළයෙකු සංවේදීව කී කතාවක් මෙසේය. ඔහු දෙමළෙක් වීම නිසා නොසෑහෙන්න ගුටි කෑවේය. බැණුම් ඇසුවේය. අන්තිමේදී සාහසිකයෝ ඔහුගේ එළුවාද  මරාගෙන කෑහ. කවදාවත් ඒ සිදුවීම අමතක නොකළ ඔහු මෙසේ විමසන්නේය. “හරි මං දෙමළා නිසා මට ගැහුවා කියමුකෝ. ඒත් මගේ අහිංසක එළුවා මරාගෙන කෑවෙ ඌත් දෙමළද?˜. ඒ ප්‍රශ්නයට උත්තර දීමට වඩා පහසු සරුංගලේ චිත්‍රපටයේ නඩරාජා මහත්තයා කී කතාවක් පුනරුච්ඡාරණය කිරීමය. “ඩර්ටි පොලිටික්ස්˜.

ලසන්ත ද සිල්වා

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *