කමිටුව MCC ගැන හොයන්න විතරයි

එම්.සී.සී ගිවිසුමේ අන්තර්ගතය පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත්කළේ එය ක්‍රියාත්මක කිරීමට නොව එහි ගැබ්ව තිබෙන රටට අහිතකර කරුණු මොනවාද කියා නිශ්චිතව හඳුනාගෙන ඒවා පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක දිළුම් අමුණුගම මහතා පවසයි. පසුගිය ආණ්ඩුව අත්සන් කිරීමට ගිය ගිවිසුම් වල ඇති භයානක තත්ත්වය සම්බන්ධව මේ රටේ ජනතාව දැනුම්වත් වියයුතු බවත් කමිටු වාර්තාව එළිදක්වමින් එය සිදු කරන්නේ එම කාරනය මිස ගිවිසුම අත්සන් කිරීමට පසුබිම සකස්කර ගැනීමක් නොවන බවත් ඒ මහතා කීය.

නුගවෙල පිහිටි පක්ෂ කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී අමුණුගම මහතා මේබව ප්‍රකාශ කළේය.

පසුගිය ආණ්ඩුව එම්.සී.සී ගිවිසුම අත්සන් කිරීමට ගියේ මේ රටේ ජනතාවට හොරෙන් බවත් එහි අන්තර්ගතය පිළිබඳ දැන සිටියේ එම ආණ්ඩුවේ දෙතුන් දෙනෙකු පමණක් බවත් කී ඒ මහතා මෙම ගිවිසුම සමාලෝචනය කිරීමට කමිටුවක් පත්කිරීම තුළින් එය ක්‍රියාත්මක කිරීමේ සූදානමක ආණ්ඩුව සිටින්නේ යැයි කවුරුන් හෝ ප්‍රකාශ කරන්නේ නම් එය අසත්‍යයක් බවද පැවසුවේය. මෙවර මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ තුනෙන් දෙකක බලයක් ඉල්ලා සිටින්නේ ව්‍යවස්ථාවේ ඇතැම් කොටස් හා අණපනත් වෙනස් කිරීමට බවත් විශාල ඡන්ද පදනමක් නොමැතිව පාර්ලිමේන්තුවේ අසුන් කිහිපයක් දිනා ගන්නා පක්ෂවල සහය මේ සඳහා ලබා ගැනීමට යාමේදී ඔවුන් විවිධ කොන්දේසි ඉදිරිපත් කරන බැවින් තනි කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණට තුනෙන් දෙකක බලයක් ලබා ගැනීම වැදගත් බවත් හිටපු මන්ත්‍රීවරයා කීය.

රටේ අනාගතයට ධනාත්මක ලෙස බලපාන වෙනස්කම් සිදු කිරීමට පවා පාර්ලිමේන්තුව නියෝජනය කරන කුඩා කණ්ඩායම් සහය ලබා දෙන්නේ නොයෙක් වරදාන අපේක්ෂාවෙන් බවත් මේ නිසා මහමැතිවරණයේ ප්‍රතිපල ප්‍රකාශයට පත්වන අවස්ථාවේම තුනෙන් දෙක සපුරා තිබීම ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණට වැදගත් බවත් හෙතෙම අවධාරණය කළේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *