කල්පිටිය ධීවරයන්ට හමු වූ පාවෙන රත්තරන් නිධානයට මොකද වුණේ?

“වනජීවී හා වෘක්ෂලතා ආඥා පනත යටතේ වරදක් වෙන්නේ  වන ජිවියෙකුගේ ශරීරයේ කොටසක් ලඟ තබා ගත්තොත් පමණයි නමුත්  අපි තියාගත්තේ තල්මසාගේ  වසුරු  සිංහලෙන් කිව්වොත් බෙටි . ලංකාවේ  නීතියේ කොහෙවත් නැහැ  වසුරු තියා ගන්න බැහැ කියල . එහෙනම් ඔය අලි ඇවිල්ලා වතුවල බෙටි දාල ගියාම ඒ බෙටි තියා ගත්තා කියලා පොලිසිය වතු අයිති මිනිස්සුන්ට නඩු දාන්න ඕනා . ඒ වගේ කතාවක් තමයි මේකත් මේ බෙට්ට මම තියා ගත්තේ මගේ වාඩියේ. දැන් අරගෙන ගිහින් උසාවි දාලා .මොකද්ද වරද කියලවත් මට කිවේ නැහැ තාත්තට කිවේත් නැහැ.”
මෙලෙස පවසන්නේ කල්පිටිය  කන්දකුලියේ ධීවරයෙක්.
පසුගිය දිනෙක ධීවර කර්මාන්තයේ නිරත වීම සඳහා මුහුදට යාත්‍රා කළ ඔහු ඇතුළු කන්දකුලියේ ධීවරයන්  තිදෙනෙකුට දියෙහි පාවෙමින් තිබූ දැව කොටයක් වැනි දෙයක් අසුලා ගැනීමට ලැබී තිබේ.    

කල්පිටිය තල්මසුන් නැරඹීමටත් නම් දෑරූ සංචාරක පාරාදීසයකි.

පසුව දැනගත් නමුත් ඒ අවස්ථාවේ  “අම්බර” යැයි නොදත් එය වෙරළට ගෙන ආ ඔවුන් සිය ධීවර වාඩියේ තබා ගත්තේ මුහුදෙන් හමු වූ අරුම පුදුම සම්පතක් ලෙස සළකමිනුයි. ඒ අතර, දැව කොටයක ස්වරූපය ගත් එය තමන් දන්නා හඳුනන කිහිප  දෙනෙකුට
පෙන්වන්නටත්  ඔවුන් අමතක කර නැහැ . ධීවරයන් පෙන්වූ දැව කොටය නැරඹූ එක් අයෙකු  එය පිළිබඳව දැනුම් දී ඇත්තේ  කල්පිටිය පොලීසියට. කල්පිටිය  පොලිසිය වහා ක්‍රියාත්මකව ධීවර වාඩිය බලා පැමිණි නමුත් ඒ අවස්ථාවේ ධීවර කාර්මිකයන් වාඩි⁣යේ නොසිට බැහැර ගොස් සිට ඇත.
“මං තමයි වාඩියෙයි අපේ බෝට්ටුවෙයි ස්කීපර්. ඉතිං පොලීසිය ඇවිල්ලා අපි නොහිටියම අපේ ගෙදරට ගිහින් තාත්තව කතා කරගෙන ඇව්ල්ලා හංගල තිබ්බ “අම්බර” හොයාගෙන ඒවගෙන් කොටසක් පොලීසියෙන් අරගෙන ගිහිල්ලා” 

පාවෙන රත්තරන් හෙවත් අම්බර

සිය අම්බර කොටසක් පොලීසිය බලහත්කාරයෙන් රැගෙන ගිය බව සැළ වූ විගස ධීවරයින් සිදු කොට ඇත්තේ තමන්ට ඇතිවූ සැකය මත ඉතිරියෙන් කොටසක් සැඟවීමයි. ඉන් අනතුරුව සිදුවන්නේ පොලීසිය නැවත පැමිණ වාඩියේ ඉතිරිව තිබූ අම්බර ප්‍රමාණයද රැගෙන ගොස් පෙර කී ප්‍රධාන ධීවර කාර්මිකයාගේ පියාට එරෙහිව නඩු පැවරීමයි. නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කරන්නේ රැගෙන ගිය අම්බර යම් ප්‍රමාණයක් බවද වාර්තා වේ.

“සමුද්‍රීය ක්ෂීරපායී ජීවියෙකු වන තල්මසාගේ සත්ව කොටසක් වන අම්බර පුද්ගල සන්තකයේ තබා ගැනීම, වනජීවී හා වෘක්ෂලතා ආඥා පනත යටතේ වරදක්” බව ඒවා අත්අඩංගුවට ගත්
කල්පිටිය පොලීසිය පවසයි. කල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරට‍ත් පැවසුවේ  මේ පිලිබඳ වන ජීවී දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවා ඇති බවයි.

අප මේ පිළිබඳව කල්පිටිය වනජීවී දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අඩවි ආරක්ෂක නිලධාරී මංජුල කුමාර මොරතැන්න මහතාගෙන් විමසූ විට ඔහු පැවසුවේ,
“අම්බර නිෂ්පාදනය වන්නේ තල්මසාගේ ආහාර ජීර්ණ පද්ධතිය ඇතුළේ.දීර්ඝ කාලයක් තිස්සේ සිදුවන රසායනික ප්‍රතික්‍රියා රාශියක ප්‍රතිඵලයක් වශයෙන් තමයි මෙම අම්බර නිෂ්පාදනය වන්නේ.පසුව තල්මසාගේ වමනය වශයෙන් හෝ මළපහ සමගින් මේවා සාගරයට එකතුවෙනවා ඉතා දුර්ලහ නිසා මේවා වටිනවා.සුවද විලවුන් නිෂ්පාදනය සදහා යොදා ගන්නා බවත් පැවසෙනවා.” යනුවෙනි.

විවිධ ස්වරූපයේ අම්බර හමුවන්නේ වාසනාව මත හෝ දඩයම මතයි.

එහිදී ධීවරයන්ගේ තර්කය වන්නේ, අම්බර යනු තල්මසා වමනය හෝ මළපහ ලෙස සාගරයට පිටකරන ආහාර ජීර්ණ පද්ධතියේ අවශේෂ නම් ඒවා සත්ව කොටස් ලෙස සළකා නඩු පැවරීමට පොලීසිය කටයුතු කළේ ඇයිද යන්නයි. “ඇත්දළ ඇතුන්ගේ ශරීර කොටසක් ලෙස සැළකිය හැකි වුවත් අලි බෙටි ශරීර කොටසක් ලෙස නොසළකන බව” ඔවුන්ගේ අදහසයි. එබැවින් ඔවුන් පවසන්නේ තමන්ගේ වාසනාවට හිමි වූ වටිනා වස්තුවක් ඒ වටිනාකම නිසාම පොලීසිය රැගෙන ගිය බවයි. රැගෙන ගිය සම්පූර්ණ අම්බර ප්‍රමාණයම අධිකරණයට ඉදිරිපත් කළ බව සැක සහිත යැයිද ඔවුන් පවසයි.

ඇත්තටම අම්බර යනු මොනවාද?

අවදීප්ත දුඹුරු පැහැයකින් යුක්ත අම්බර යනු ගිනිගන්නා සහ ඉටිමය ඝන ද්‍රව්‍යයකි. ඒවා නිෂ්පාදනය වන්නේ ස්පර්ම් තල්මසුන් (Sperm Whales) ගේ ආහාර ජීර්ණ පද්ධතිය තුළ ය. ඉතාම මිහිරි සුවඳ විලවුන් නිෂ්පාදනය කිරීම සඳහා විලවුන් කර්මාන්තයේ අමුද්‍රව්‍යයක් ලෙස ඒවා භාවිතා කෙරේ. දිගු කාලයක් රඳා පවතින මිල අධික විලවුන් වර්ග නිපදවන නිසා අම්බරද ඉතා මිලාධිකය. එබැවින් මේ වනවිට කෘත්‍රීම අම්බර සුවඳ එස්තර නිෂ්පාදනය කර තිබුණද ස්වභාවික අම්බරවලට හිමිවන්නේ ඉහළ වටිනාකමකි. අම්බර සුවඳට සුනඛයන් ආශක්ත වන බවටද මතයක් තිබේ.

අම්බර යොදා තැනූ මිළ අධික විලවුන් වර්ගයක්.

ස්පර්ම් තල්මසාගේ බඩවැල් සහ පිත්ත ප්‍රණාලයේ අභ්‍යන්තර ශ්‍රාව මගින් නිපදවෙන අම්බර සත්වයා විසින් පහ කරනු ලැබීමෙන් පසුව මුහුදු ජලයේ පාවෙමින් තිබියදී හෝ වෙරළට ගොඩ ගසා තිබියදී ධීවරයන්ට හමුවන නිධානයකි. ඇතැම් විට මළ තල්මසුන්ගේ උදරයේ තිබියදීද ඒවා හමු වේ. තල්මසා ගිලින ඝන ආහාර උදර ගතවීමේ පහසුව සඳහා දායක වන අම්බර ඝන වූ පසුව වමනය කිරීම උන්ගේ සිරිත වන අතර උන් වමනය කළ වෙනත් දෑවලද දියාරු අම්බර තැවරී තිබේ. අත්ලාන්තික් සාගරයේ බහුලව හමුවන අම්බර “පාවෙන රත්තරන්” ලෙස හඳුන්වන්නේ වටිනාකම සළකා ය.
ඇතැම්විට සාගරයේ පාවෙමින් තිබියදී කිලෝ 50ක් පමණ බරැති අම්බර කුට්ටි පවා හමුවීමට ඉඩ තිබේ. ඒවා ඉතා දැඩි සුවඳකින් යුක්ත බැවින් ඇතමුන් දූරියන් සුවඳ දුර්ගන්ධයකැයි සළකන මෙන් අම්බරද දුඟද බව පවසයි.

ස්පර්ම් තල්මසා ඒ නම ලබන්නේ හැඩය සහ පිහිනන විලාසය අනුවය.

අද කාලයේ ඉතා මිල අධික විලවුන් නිපදවීමට යොදාගන්නා අම්බර ඈත අතීතයේ රජවරුන්⁣ගේ ආහාරපාන සුවඳ කාරකයක් හා රස ගන්වනයක් ලෙස භාවිතා කර ඇත. ඇතැම් ධනවතුන්ගේ දුම්වැටි සුවඳවත් කළ අම්බර කලු වසංගතය හෙවත් මහාමාරිය පැතිර යන සමයේ යුරෝපයේ භාවිතා කර ඇත්තේ අද අප පෙරුම්කායම් භාවිතා කරන ආකාරයට විෂ බීජ නාශකයක් ලෙස සළකමිනි. මධ්‍යකාලීන යුගයේ හිසරදය සඳහා ප්‍රතිකර්මයක් ලෙස ඒවා නළලේ ආලේප කර ඇත.
අතීතයේ අම්බර ලබා ගැනීම සඳහා ස්පර්ම් තල්මසුන් මරා දැමීම සිදු කළත් අද වනවිට ලොව පුරා එය තහනම් කාර්යයකි. එසේ වුවත් තල්මසා වමාරන අම්බර එකතු කිරීම බොහෝ රටවල සිදුවෙයි. නමුත් ඇමරිකාව සහ ඔස්ට්‍රේලියාවේ වාණිජ අරමුණෙන් අම්බර භාවිතා කිරීම තහනම් ය. ඒ ජෛව සංරක්ෂණ සහ වඳවීමේ තර්ජනයට ලක් වූ සතුන් ආරක්ෂා කිරීම සඳහා වන විධිවිධාන යටතේය. එහිලා සළකා බලන්නට ඇත්තේ ස්පර්ම් තල්මසා ආරක්ෂා කිරීමයි. නැතිනම් මිනිසුන් උන් දඩයම් කර සපයා ගන්නා අම්බරද මුහුදේ පාවෙමින් තිබියදී සොයාගත් බව පවසා වෙළඳාම් කරන්නට ඉඩ ඇති නිසා ය.

ඉබන් බතූතාගේ පුරාණ සටහන්වලද හමුවන අම්බර කිලෝවක මිළ පිළිබඳ නිශ්චිත සටහනක් හමු නොවෙතත් විවිධ වාර්තාවලට අනුව ඒවා කිලෝවක් ඇමරිකානු ඩොලර් තිස් දහසේ සිට හතළිස් දහස දක්වා එනම් දළ වශයෙන් රුපියල් ලක්ෂ පනහේ සිට හැත්තෑව දක්වා මිළයි. කල්පිටියේ ධීවරයන්ට හමුවූ අම්බර ප්‍රමාණය කිලෝ පහළවක් විස්සක නම් වටිනාකම ගණන් බැලීම ඔබට භාරයි.

තොරතුරු සම්පාදනය – පුත්තලමේ ප්‍රසාද් පූර්ණමාල්

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *