“කලාව” තුළින් මනස සුවපත් කරන කලාව

කලාව නම් සොබාදහමයි. මිනිසා වූ කලී සොබාදහමෙහි අපූර්වතම නිර්මාණයකි. සත‍්ව ලෝකයෙහි අන් සතුන්ගෙන් මිනිසා වෙන් වන්නේ බුද්ධිය කරණ කොට ගෙනය. එනම් මනස නම් ඉන්ද්‍රිය කරණ කොට ගෙනය. මානසික ආතතිය, මානසික පීඩාව, මානසික ඒකාග්‍රතාව, මානසික සතුට වැනි විවිධ වචනාර්ථ තුලින් සාකච්ඡාවට බඳුන් වන්නේ පුද්ගලයාගේ මනසෙහි හැසිරීම් රටාව පංචේන‍්ද්‍රියයන් ඇසුරින් බාහිර පරිසරයට පෙන්නුම් කරන විවිධ හැඩතලයන්ය. කොතෙකුත් වචනාර්ථ සැපයුවද, මෙය බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ලාභ – අලාභ, යස – අයස, නින්දා – ප්‍රශංසා, දුක – සැප යන අටලෝ දහමට සීමාවේ.

කලාව විවිධ විෂය ක්ෂේත්‍රයන්ට වෙන් කර හඳුනා ගෙන ඇත. චිත්‍ර, නැටුම්, සංගීත, නාට්‍ය, සිනමා මෙන්ම ලේඛණ, ඡායාරූප ශිල්පය ආදී නිදසුන්ය. චිත්‍ර, නැටුම්, සංගීත පාසැල් අධ්‍යාපන ක්‍රමය තුලින්ම සෞන්දර්යය විෂයයන් ලෙස හඳුන්වා දී ඇත. සෞන්දර්යය යනු සුන්දර බවයි. මින් ප්‍රකට වන්නේ පුද්ගල අභ්‍යන්තරයෙහි ඇති වන සුන්දර බවයි. මෙහිදී පුද්ගල අභ්‍යන්තරයෙහි සුන්දර බව ඇති කරලීමට සංගීතය බොහෝ සෙයින් උපයෝගී කර ගන්නා බව පෙනේ.

සංගීතය විශ්ව භාෂණයක් සේ සැළකේ. නාදය මගින් සිදු කරන්නා වූ ආමන්ත්‍රණයකි. විවිධ වූ, විචිත්‍ර වූ මධුර, මනෝහර නාද ධ්වනි මගින් ශ්‍රාවකයා අපූර්වතම භාවමය ලෝකයකට ගෙන යාමේ ශක්තියක් එහි අන්තර්ගතය. එය ශ්‍රවනේන‍්ද්‍රිය ගෝචර වූ කලාවකි. එනම් ශ්‍රව්‍ය කලාවකි. පුද්ගල පංචේන‍්ද්‍රියයන්ගෙන් කන හා මනස යන ඉන‍්ද්‍රියයන් ගෝචර වූ කලාවකි.

පුද්ගලයෙකුගේ නැතහොත් නිර්මාණකරුවාගේ තනි අත්දැකීමක් පොදු අත්දැකීමක් බවට පත් කරලීමේ අනුපමේය ශක්තියක් එහි ගැබ් වී ඇත. ශ්‍රාවකයා හා සංගීතය යන සුසංයෝගය තුළ ශ්‍රාවකයා, සංගීතය හා ඒකාත්මීය කරවීමේ හැකියාව එහි ගැබ් ව ඇත. රසවින්දනය යන්න  අර්ථවත් වන්නේ එලෙසිනි. මෙම ඒකාත්මීය වීමේ ක්‍රියාවලිය හුදු භාවනාවකි. සිත දැහැන්ගත වීමකි. එය නිවන් මග පෙන්වන විදර්ශනා වැඩීමක් නොවූවද, නිවන් මගට බාධා ගෙන දෙන කෙලෙස් සිත් පහළ වීමේ හීන හා දුර්වල මානසික පසුබිමෙන් ශ්‍රාවකයා මඳකට හෝ ඈත් කර තැබීමකට සමාන යැයි කිව හැකිය. එසේම චිත්ත ඒකාග්‍රතාව වර්ධනය කර ගැනීමට වටිනා අවස්ථාවකි. නා නා ප්‍රකාර දුක් දොම්නස්, කළකිරීම්, පසුතැවීම්, ද්වේශය, වෛරය මුසු කෙලෙස් සහිත සිතිවිලි පෝෂණය වීමේ ප්‍රවණතාවක පසුවන පෘථග්ජන පුද්ගලයාගේ මනසට සංගීතය හුදු සුවයකි. සහනයකි. සංගීතය හා ඒකාත්මීය වූ නිර්මාණකරුවෙකු ස්වකීය ආත්මීයභාවයෙන්  ඔබ්බට තවත් පුද්ගලයෙකුගේ ආත්මයට කිඳා බසින්නේ ඉතාමත් සූක‍්ෂම ආකාරයෙන් බව පෙනේ. හෙළ සංගීත ක්ෂේත්‍රයෙහි අති දැවැන්තයකු වූ ප්‍රේමසිරි කේමදාස ශූරීන් ඒ පිළිබඳ ව මෙසේ පවසා ඇත.

“ඒකා අධිපති” නාට්‍යයේ එක් අවස්ථාවක් උදාහරණය කොට මේ බව සනාථ කරන්න මම කැමතියි. මේ නාට්‍යයේ එන මැල්කම් අධිරාජ්‍යයාගේ පුතා “වෝල්ටර්ව” අමානුෂික ලෙස මරණයට පත් කරවන අවස්ථාව දක්වන්න මම කැමතියි.

1 සිට 10ට ගණන් කොට මිනිසෙකු මැරීමට යාම කොතරම් කෘෘර ක්‍රියාවක්ද? මේ අවස්ථාව නාට්‍යයක හෝ චිත්‍රපටයක නම් ඒ සඳහා සංගීතය නිර්මාණය කරන්නට කළින් රචනා කර ගත් සංගීත ඛණ්ඩයක් (Library Music) වාදනය කරන්න තිබුණා. මෙවැනි ශෝචනීය අවස්ථාව තීව්‍ර කිරීමට බොහෝ සංගීතඥයින් කළේ වයලීනයේ හෝ සිතාරයේ උපරිම වාද්‍ය ඛණ්ඩ මඟින්  නාට්‍යයේ චරිතය මැරීම විතරයි.

සංගීත භාණ්ඩයකුත් සංගීත ශිල්පියාත් අතර ඇති වෙනස බුද්ධිමත් රසිකයාට වැටහෙන්නේ මේ වගේ අවස්ථාවකයි.

1-10 දක්වා ගණන් කොට මිනිසෙකු මරණ මේ අවස්ථාව නාට්‍යයේ මතුවන විට සංගීතයෙන් මරණයට කැප වූ චරිතය අටවන ඉලක්කමේදීම මරා දැමීමට තරම් සැහැසි සංගීත ඛණ්ඩ භාවිතා කරන්නේ නම් ඒ සංගීතඥයා තරම් මිනීමරුවෙක් තවත් නැහැ.

එසේ නම් සංගීතඥයා කළ යුත්තේ මරණයට කැප වී සිටින චරිතයේ ආත්මයට සමීප වීම පමණයි. (“සංගීතයේ හෙට දවස – කේමදාස” පොතෙන් උපුටා ගැනීමකි.)

නැටුම් කලාවේ දී පුද්ගලයාගේ මානසික ඒකාග්‍රතාව තුළ ශාරීරික චලනයන් සිදු වේ. මෙය ශ්‍රව්‍ය හා දෘෂ්‍ය  වූ කලාවකි. ශාරීරික චලනයන් මගින් කිසියම් අදහසක් ප්‍රකාශ කරවන අතර ඊට පසුබිම් වූ සංගීත වාදනයක් හෝ ගායනයක් සම්බන්ධ වේ. නර්තන ශිල්පියා සිය නිර්මාණය තුළ භාව්‍යමය ලෙස ඒකාත්මීය වීම  ශාරීරික චලනයන්  මගින් ප්‍රකට වේ. දෘෂ්‍ය  වූ කලාවක් වන චිත්‍ර කලාවේ දී ද චිත්‍ර ශිල්පියා සිය නිර්මාණය තුළ ඒකාත්මීය වීම සිත  දැහැන්ගත වීමකි.

භෞතිකකරණයේ හීන හා දුබල වහලෙකු බවට පත්ව සිටින වත්මන් ජන සමාජයට මෙම සෞන්දර්යාත්මක විෂයයන් ප්‍රතිකාරාත්මක ක්‍රමවේද ඔස්සේ සමීප කරවීමට බොහෝ මාර්ග විවර වී ඇත. තරඟකාරිත්වය තුළ හඹා යෑමේ වේගවත් ප්‍රවාහයට හසු වී සිටින වත්මන් ජන ජීවිතයේ පැවැත්ම අභිමුව ඇත්තේ මහා භයංකාර අභියෝගයක් බව පෙනේ. ඉවසීම, ශික‍්ෂණය, අවබෝධය වැනි  මිනිස් වටිනාකම් හා අගයයන්ගෙන් පෝෂණය නොවීම තුළ කෝපය, පළිගැනීම්, ක‍ෂණික තීරණ ගෙන ක්‍රියාත්මක වීම්, කළකිරීම, මානසික පීඩාව ආදිය නිසා කායික හා මානසික රෝගීන්ගේ ප්‍රමාණාත්මක ඉහළ යාමේ වේගය අවධානයට යොමු විය යුතු කරුණකි. මිනී මැරීම්, වංචා හා දූෂණ, මත් ද්‍රව්‍ය හා ගණිකා සේවනයට ඇබ්බැහි වීම්, අයථා සම්බන්ධකම් මෙන්ම තාක‍ෂණික මෙවලම්වලට ඇබ්බැහි වීම් ද යහපත් මානව පැවැත්මක් හමුවේ ඇති අති භයානක තර්ජනයන්ය.

මේ සෑම දෙයකින්ම පෙන්නුම් කරන්නේ පුද්ගලයාගේ සිතෙහි සිතිවිලිවල හැසිරීම් රටාවයි. ජන ජීවිතය සොබා දහමින් ඈත්වීමේ ආදීනව මෙසේය. මෙම භයානක තර්ජනය හා අභියෝගය යම් පමණකින් හෝ ජය ගැනීමට ඇත්තේ එකම මගකි. එනම් මෙම වේගවත්ව හඹා යාම මඳකට හෝ  නවතාලීමයි. නැවතී තමා දෙසත් තම වටපිටාව දෙසත් විමසිල්ලෙන් බැලීමයි. තම ජීවිතයේ බාහිර හා භෞතික දේවලට දී ඇති වැදගත්කම, අභ්‍යන්තර හා ආධ්‍යාත්මික අංශයටත් ලබා දීමයි.

ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම මනෝ විශේෂඥයානෝ බුදුන් වහන්සේය. ජීවිතයේ පැවැත්ම සඳහා කබලිංකාහාර, ඵස්සාහාර, මනෝ සංචේතනිකාහාර හා විඤ්ඤාණාහාර ලෙස ආහාර වර්ග හතරක් පෙන්වා දී ඇත. මින් පළමුවැන්න ශාරීරික පැවැත්මටත් ඉතිරි තුනම මානසික පැවැත්මටත් උපකාරී වන බව බුද්ධ දේශනයයි. එහෙත් අප අද ඉන්නේ කොතැනද? දෛනික ජීවන රටාව තුළ උපරිම කාලය, ශ්‍රමය හා අවධානය දී ඇත්තේ භෞතික දෙයටම පමණක් නොවේද? සිතෙහි සතුට වෙනුවෙන් හා ආධ්‍යාත්මික සුවපත්භාවය වෙනුවෙන්  කාලයක් හෝ අවධානයක් දී තිබේද? අප ළඟා විය යුත්තේ මෙතැනටය. “අත්තාහි අත්තනො නාථො- අත්තාහි අත්තනො ගති”  “තමාගේ ගැලවුම්කරුවා තමාමය – තම ගති පුරුදු සකස් කර ගන්නේත්  තමාමය.” මෙය බුද්ධ වචනයයි. පුද්ගලයා පංචේන‍්ද්‍රියයන්ගෙන් ලබන්නේ වින්දනයන්ය. පිනවීමය. ශාරීරික වින්දනයන්ට වඩා වැඩි වැදගත්කමක් මානසික වින්දනයන්ට ලබා දීම ප්‍රඥාගෝචරය. යහපත් හා සුවපත් මනසක් සඳහා ජීවිතයට පහසුවෙන්ම ඒකාබද්ධ කර ගත හැකි දෙයකි රසවින්දනය. දෛනික ජීවිතයට  සෞන්දර්යාත්මක විෂයයන් ඒකාබද්ධ කර ගැනීම තුළින් රසවින්දනය ප්‍රගුණ කළ හැකි වේ. එය පුහුණු කළ යුතු දෙයක් වේ. මන්ද, රසවින්දනය බුද්ධිගෝචර වුවකි.  එය වෙහෙසකාරී වූ සිතට ආනන්දජනක වූ රසයක් හා සුවයක් ගෙන දෙනු නොඅනුමානයි. එපමණකුදු නොව, චින්තන ශක්තිය, තර්කානුකූලව සිතීමේ හැකියාව හා ඉවසීම දියුණු කරලීමට ඉවහල් වේ.

මරණයට කැප වු පුද්ගලයාගේ ආත්මයට සමීප වූ සංගීතඥයා සංගීත භාණ්ඩයේ උපරිම වාද්‍ය ඛණ්ඩ මඟින් චරිතය මැරීමට තරම් සැහැසි මිනීමරුවෙකු කරවීමේ ශක්තියක් හා ජවයක්  සංගීතය තුළ ඇති බව ඉහත දී අපට දක්නට ලැබුණි. එපරිද්දෙන්ම මරණයට කැප වු පුද්ගලයාට ජීවය දුන් හා ලේ කිරි කර පෙවූ මවගේ ආත්මයට සමීප වූ ගී පද රචකයා මවගේ හද ගැස්ම හා ආත්මය අක‍්ෂර මාලාවකට ගෙන එන්නේ බුද්ධිමය පසුබිමක වූ සෙනෙහෙබර මවක වීමෙන් නොවේද?

බුදු හාමුදුරුවො වැඩියා වාගේ පින්බර ස්වාමිනේ

දුක හිතිලයි මා සිර ගෙට ආවේ පුතුගේ මරණ දිනේ

දුදනන් ඇසුරින් පර පණ නැසුවත් නුඹ මගෙ පුතුය අනේ

මතු අත් භවයෙත් මගෙම පුතු වෙයන් හොඳ මිනිසෙකු ලෙසිනේ

කලාව හා බැඳුණු සිතක් කවර නම් දිශාවලට ගමන් කරන්නේද? එය එසේ මෙසේ කාර්යයක් නොවන බව අවධාරනයට ගත යුතුය. ඒ සඳහා සිත පුහුණු කළ යුතුය. චින්තනය දියුණු කළ යුතුය. රසවින්දනය ජීවිතයට සමීප කර ගත යුත්තේ එබැවිනි. රසවින්දනය අපට මුළින්ම හඳුන්වා දෙන්නේ “අම්මා” යැයි කීම සාධාරණ නොවේද? ආදරය සෙනෙහස උතුරා ගලන ඇගේ ළයාන්විත හඬ නොවේද?

– දොයි දොයි දොයි දොයිය පුතා

නාඬා නිදියන්න පුතා

කේ. ජී. මනෝජා සන‍්ධ්‍යාරාණි  

  

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *