කාදිනල්ට ඇඟිල්ල දිගු කරන හරීන්ට විලිලැජ්ජාව ගෑවිලාවත් නැහැ – ලොහාන්

පාස්කු ප‍්‍රහාරය වලක්වා ගැනීමට නොහැකිවූ යහ පාලන ආණ්ඩුවේ ඇමැතිවරයෙකු වූ හරීන් ප්‍රනාන්දු මහතා එම ප්‍රහාරය අවස්ථාවේ කළ කී දෑ කතෝලික ජනතාවට අමතක නොමැති බවත් ඔහු අද රෙදි ඇඳගෙන පාරේ ගමන් කරන්නේ කාදිනල් තුමාට පින්සිදු වන්නට බවත් ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක ලොහාන් රත්වත්තේ මහතා පවසයි. අදාළ ප්‍රහාරය වලක්වා ගැනීමට නොහැකි වූයේ යහ පාලන ආණ්ඩුවේ දුර්වලතාව නිසා බව පැහැදිලිව තහවුරු වී තිබියදී කාදිනල් තුමාට ඇඟිල්ල දිගුකර ජනපතිවරණ පරාජයේ ලැජ්ජාව වසා ගැනීමට හරීන් කටයුතු කිරීම කනගාටුවට කරුණක් බවද ඒ මහතා කීය.

මහනුවර මහයියාවේ පැවැති ජනහමුවකදී රත්වත්තේ මහතා මේබව ප්‍රකාශ කළේය. මෙම ප්‍රහාරයෙන් පසු කතෝලික ජනතාව ප්‍රචන්ඩත්වයට පත්නොකර ඔවුන් සන්සුන් කළේ කාදිනල් තුමන් බවත් එදා එම ජනතාව කුමන හෝ හේතුවකින් ප්‍රකෝප වූයේ නම් රටේ තත්ත්වය මෙයට වඩා වෙනස්වනු ඇති බවත් ඒ මහතා පැවසුවේය. හරීන් යනු ජාතික සමඟි ජනබලවේගයේ ඉදිරි පෙළ ක්‍රියාකාරියෙකු බවත් ඔහු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා කාදිනල් තුමාගෙන් සමාව අයැදීමට එහා ගොස් අදාළ ප්‍රකාශය කළ පුද්ගලයා සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද යන්න පිළිබඳව රටට ප්‍රකාශයක් කළ යුතු බවත් හෙතෙම කීවේය. පූජ්‍ය පක්ෂයට අවමන් කිරීමෙන් මංගල සමරවීමට දේශපාලනයෙන්ද අතුගෑවි යාමට සිදුවූ බවත් හරීන් ජාතික ලැයිස්තුවෙන් නොආවේ නම් අගෝස්තු මස 05 දින ඔහුට සිදුවන දේ බලාගත හැකිව තිබූ බවත් රත්වත්තේ මහතා පැවසුවේය. මෙවර මහනුවර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ මන්ත්‍රී ධූර 08 ක් ලබාගෙන ආණ්ඩුවේ තුනෙන් දෙකක ජයග්‍රහණයට ශක්තියක් වන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ත ප්‍රකාශනයට අනුගත වෙමින් වැඩකළ හැකි අවංක පිරිසක් මහනුවරින් පාර්ලිමේන්තු යැවීම මහනුවර ජනතාවගේ වගකීම බවත් හෙතෙම අවධාරණය කළේය.

මහින්ද රාජපක්ෂ මහතා එදා මහනුවර කොළඹ අධිවේගි මාර්ගයට මුල්ගල් තැබුවේ අධිවේගයෙන් එහි වැඩ නිම කිරීමට වුවත් යහ පාලන ආණ්ඩුව එහි වැඩකටයුතු කළේ ඉබි ගමනින් බවත් එළඹෙන මහ මැතිවරණයෙන් පසු මධ්‍යම අධිවේගයේ වැඩකටයුතු අධිවේගයෙන් නිමකරන බවත් ඒ මහතා කීය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *