කිංචිගුණේ මහතැන්න රක්ෂිතය වැනසූ පිරිස අත්අඩංගුවට ගනී.

ejournalist වෙබ් අඩවිය කළ අනාවරණය සමග බලංගොඩ අඩවි වන නිලධාරි විජයන්ත උපුල් මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වූ වන සංරක්ෂණ නිලධාරිහු සමනලවැව කිංචිගුණේ මහතැන්න රක්ෂිතය වැනසූ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත්හ. අප පෙන්වා දුන් පරිදි මෙම සැකකරුවන් රක්ෂිත වනයේ අක්කර තුනකට ආසන්න බිම් ප්‍රමාණයක් හෙළි කොට ගම්මිරිස්, කෙසෙල් ඇතුළු වාණිජ බෝග වගා කර තිබුණි. වැටලීමෙන් අනතුරුව සැකකරුවන් වන රක්ෂිත බිමෙහි වැටවල් ඉදිකිරීමට භාවිතා කළ කටු කම්බි ගැලවූ නිලධාරීන් කපා දමා තිබූ වන ශාඛ පිළිබඳ විස්තර සියල්ල අධිකරණයට වාර්තා කිරීම සඳහා රැස් කරන අන්දම දක්නට ලැබුණී. අප කළ විමසීමට පිළිතුරු දුන් නිලධාරීන් පැවසුවේ වනය වැනසූ සැකකරුවන් ඒකදේශීය ශාඛ වන වේවැල්, බිම් කොහොඹ ඇතුළු අංකැන්ද, පැඟිරි කුරුඳු, ප්‍රාණජීව වැනි ඖෂධීය ශාඛ රැසක් වනසා තිබූ බවයි. වසර සිය ගණනක් පැරණි බඹරවැල්, කලවැල් ඇතුළු වැල් වර්ග සහ උප ස්ථරය මෙන්ම යටි වනයද සම්පූර්ණයෙන්ම කපා දමා තිබෙන අයුරු  මෙහිදී දක්නට ලැබුණි.

වන සංරක්ෂණ නිලධාරීන්ගේ වැටලීමේදී අත්අඩංගුවට පත් එක් පුද්ගලයෙකු මෙවර මහමැතිවරණයට රාජාලියා ලකුණෙන් තරඟ වදින දේශපාලනඥයෙකු වන අතර ඔහු අප සමග පැවසුවේ වසම භාර ග්‍රාම නිලධාරිවරයාගේ අනුබලය මත තමන් වනය හෙළි කොට ඉඩම අල්ලා ගත් බවයි. එමෙන්ම, වසමේ ග්‍රාම නිලධාරිවරයා තමන් සහ සෙසු අයගෙන් රුපියල් විසිදහස බැගින් ලබාගෙන ඉඩම් කට්ටි කරගන්නා මෙන් දැන් වූ බවයි. ඒ සම්බන්ධව අදහස් දක්වමින් වන සංරක්ෂණ නිලධාරීන් ප්‍රකාශ කළේ මුදල් ලබා ගත්තත් නොගත්තත් සිය දෙපාර්තමේන්තුව භාරයේ ඇති රක්ෂිත වන බිමක් සංහාරය කිරීමට අනුබල දීම ග්‍රාම නිලධාරිවරයා කළ වරදක් බැවින් ඒ සම්බන්ධවද පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන බවයි. එසේම අදාල ග්‍රාම නිලධාරිවරයා සම්බන්ධව පියවර ගැනීම ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ වගකීම බව ප්‍රදේශවාසීහූ අදහස් දක්වමින් ප්‍රකාශ කළහ. අද අත්අඩංගුවට පත් පිරිස එළඹෙන සිකුරාදා බලංගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. එන්.පී.එන් රෝහණ, ජේ.පී මංජුල, ජේ.එම් සුමිත්, කේ.ඒ ගුණපාල, එම්. ආර්. විජේනායක ඇතුළු නිලධාරීන් පිරිසක් අඩවි වන නිලධාරි විජයන්ත උපුල්ගේ උපදෙස් මත වැටලීමට සහභාගි විය.  

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *