කුරුල්ලන්ගෙ ගුරුතුමා හෙවත් ගම්පොළ බර්ඩ් මාස්ටර්

දිවි මගේ හැත්තෑ හයවන මං සලකුණ පසුගිය අගෝස්තු මස 15 දින පසු කළ හේ කා අතරත්  බර්ඩ් මාස්ටර් නමින් ප්‍රචලිතය. ඔහුට දෙමව්පියන් ගෙන් ලැබුණු නම විජය ඉලංගකෝන්ය. එහෙත් කවුරුත් දන්නේ බර්ඩ් මාස්ටර් නමිනි. කාත් කවුරුවත් නොමැතිව ගම්පොළ කවුඩුපිටිය දොන් සයිමන් වත්තේ නිවසක තනි පංගලමේ දිවි ගෙවන බර්ඩ් මාස්ටර්ගේ ජීවිතය වී තිබෙන්නේ ගිරවුන් හය දෙනෙකි.ජීවිතය සරිකර ගැනීමට කීයක් හෝ ඔහුට සොයා දෙන මේ ගිරවුන් සමඟ බරඩ් මාස්ටර් ගෙවන ජීවිතයට දැන් 12  වසරකි.බර්ඩ් මාස්ටර්ගේ අණට කීකරු මේ ගිරව් සාමාන්‍යය ගිරවෙකුට කළ නොහැකි බොහෝ සිදු කරන්නේ අප පුදුම කරවමිනි. ඒ අතරින් ඇලෙක්ස් ප්‍රධානය.

ඇලෙක්ස්ගේ හපන්කම්

විධායක ජනපති ක්‍රමය හඳුන්වා දීමෙන් පසු මෙරට ජනපති ධූරය මෙතෙක් හෙබවූ සියල්ලන්ගේ ඡායාරූප එක පෙළට තබා ජනපතිවරයෙකුගේ නමක් කියා ඔහු හෝ ඇය පෙන්වන්න යැයි කියූ සැනින් ඇලෙක්ස් හොටයෙන් එම ඡායාරූපය අපට ලබාදෙයි. ලග්න දොළහා එක පෙළට තැබූ විට කියන ඕනෑම ලග්නයක් නිවැරදිව අරන් දෙන්නට මේ ගිරව් දක්වන්නේ අපූරු සමත්කමකි. පන්සල,පල්ලිය,කෝවිල සංඛේත මගින් වෙන් වෙන්ව හඳුනා ගැනීමට අලෙක්ස්කට සුළු දෙයකි.දහයට අඩු ඉලක්කම් හඳුනා ගැනීමත් එම ඉලක්කම් දෙකක එකතුව පෙන්වීමත් ඇලෙක්ස්ට කජු කනවා මෙන් වැඩකි.මෙම දක්ෂතා නිසාම දෙහිවල සත්වෝදනය පමණක් නොව දිවයිනේ පාසැල් රැසක ගිරා සංදර්ශන පවත්වමින් බර්ඩ් මාස්ටර් කිසිවෙකුට හෝ කරදරයක් නොමැතිව ගෙන ගිය ජවිතයට දැන් කණකොකා හඬලන්නට පටන් ගත්තේ ලොව පුරා පැතිර ගිය කොවිඩ් වසංගතයේ බලපෑම අප රටටද එල්ල වීම හේතුවෙනි. “මේ ගිරව් ඉතාම දක්ෂයි.කියන දේ හොඳට තේරෙනවා.ජාතික කොඩිය එසවීම,කරත්ත ඇදීම,කම්බියේ යෑම වගේ ගොඩක් දේවල් කරනවා.

ගිරා සංදර්ශනවලට කොරෝනා කණ කොකා හැඬුවා

පාසැල් දරුවෝ මේ අයගේ දක්ෂතා බලන්න හරිම ආසයි.කොරෝනා එන්න කලින් මම පාසැල් 2000 ක විතර සංදර්ශන කළා.ඒකෙන් හොඳ ආදායමක් ලැබුණා.කොවිඩ් ප්‍රශ්නේ නිසා පාසැල් වසා දැමුණා.පොදු ස්ථාන වලට ජනතාව රැස් වෙන්නේ නැහැ.දැන් අවුරුද්දක් තිස්සේ කිසිම සංදර්ශනයක් කළේ නැහැ.මේ සත්තුන්ට කන්න දෙන්න මාසෙකට රුපියල් 10000.00 ක් විතර වැය වෙනවා. සතයක් වත් අය කරන්නේ නැතුව නැවතිලා ඉන්න ගේ දුන්නේ මහින්ද තුෂාර කියලා මහත්තයෙක්.” බර්ඩ් මාස්ටර් එසේ පවසත්දී ඔහුගේ කතාවට බාධා කරමින් එක් වරම ගිරවෙකු ඉගිලී විත් ඔහුගේ උරහිස මත වසයි.මාස්ටර්ගේ මුවට හොට ලංකර ඌ හාදුවක් දෙයි.ඒ ඇලෙක්ස්ය..ඇලෙක්ස් හා බර්ඩ්මාස්ටර් අතර ඇත්තේ පියෙකු හා දරුවෙකු අතර පවතින ආකාරයේ බැඳීමකි.

දෙදෙනාගේ හමුවීම සිදුව තිබෙන්නේද අපූරු ආකාරටය.බර්ඩ් මාස්ටර් එය විස්තර කළේ මෙසේය…මගේ තාත්තා රජයේ වෛද්‍යවරයෙක්.නව දෙනෙකු ගෙන් යුත් පවුලේ මම දෙවැනියා.ගම්පොළ සහිරා,තළාතුඔය සෙන්ට්‍රල්,නුවරඑළිය ගාමිණී මහා විද්‍යාල වල ඉගෙන ගෙන මම උසස් පෙළ සමත් වුණා.සතුන් ඉන්න ෆිල්ම්ස් වගේම සතුන් දාලා කරන සර්කස් බලන්න පොඩි කාලේ ඉඳලම මම ආසයි.ඉන්දියාවේ සර්කස් කණ්ඩායමක් කොටි,වලස්සු වගේ සත්තු ගෙනත් බෝගම්බරදී පන්ස ගණන් වල ලොකු සර්කස් එකක් කළා.ඉන්දියාට ගිහින් සර්කස් ඉගෙන ගන්න මට ලොකු ආශාවක් ඇති වුණා.අවුරුදු 18 දී මම රුපියල් 35.00 අතේ තියාගෙන තලෙයිමන්නාරමට ගියා.එතනින් රුපියල් 2.50 ක් බෝට්ටුවකට ගෙවලා ඉන්දියාවට පැන ගත්තා.ලෝක ප්‍රසිද්ධ ඉන්දියානු සර්කස් කණ්ඩායමක් තිබුණා පෝමනි කියලා.ඒකේ නායකයා සිත්තප්පා කියලා කෙනෙක්.එයාව හොයාගෙන ගිහින් රස්සාවක් ඉල්ලුවා.මට ලැබුණු රස්සාව සතුන්ට කෑම දෙන එක.මම හරිම ආසාවෙන් ඒක කළා.එතන අවුරුදු 10 ක් විතර වැඩකරන කොට මට මැජික් වගේම සතුන් පුහුණු කරන ශිල්පයත් ඉගෙන ගන්න පුළුවන් වුණා.ගැහුණු සතුන් පුහුණු කරන්න ලේසියි.මම මාලදිවයින,ඉරාකය,ලිබියාව,ඩුබායි වගේ රටවලට ගිහින් කුරුල්ලන් පුහුණු කිරීම ගැන තවත් දේවල් ඉගෙන ගත්තා.ලංකාවට ඇවිත් මැජික් සංදර්ශන පවත්වමින් ඉන්නකොට 2008 වසරේ දවසක මම දැන් නැවතිලා ඉන්න කවුඩුපිටිය පාරේ ගිරා පැටියෙක් වැටිලා ඉන්නවා දැක්කා.මස් ගුලියක් වගේ හිටපු ගිරවා මම උස් මහත් කළේ බත් හපලා මගේ දිවෙන් ඒවා කන්න දීලයි.ඒ ගිරවා තමයි මේ ඇලෙක්ස්  බර්ඩ් මාස්ටර් උගේ තටු පිරිමදිමින් පැවසුවේ ආදරය වෑස්සෙන දෑස් වලින් ඌ දෙස බලමිනි…මහත්තයෝ මූ මහා අමුතු ගිරවෙක්.එක සැරයයි දෙයක් කියලා දෙන්න ඕන.පුංචි කාලේ බටර් විස්කෝතු දුන්නම මූ ඒක හොටෙන් අරන් ගිහින් වතුර එකට දාලා පොඟවලා කනවා.ඒවා මම කියලා දුන්න ඒවා නෙවෙයි.මෙයා ලබු ගිරවෙක්.ලංකාවේ දැනට ඉන්න ලොකුම ලබු ගිරවා අලෙක්ස්.මෙයා හදා ගන්න කොට මට තවත් ගිරව් කිහිප දෙනෙක්ම හම්බ වුණා.මේ ඉන්නේ චූටි මැණිකේ..එයා අළු ගිරවෙක්.පුංචි බණ්ඩා මාල ගිරවෙක්.චාලි ලබු ගිරවෙක්.එයාට ඇස් දෙකම පේන්නේ නැහැ.මේ දෙන්නා ඔස්ට්‍රේලියන් කොක්ටේල්ස්ලා..ඒ දෙන්න ගෙන් ගෑනු සතා රුක්මිනී,පිරිමි සතා ජෝතිපාල…බර්ඩ් මාස්ටර් තම පණ හා සමාන මිතුරන් පෙන්වත්දී උන් ප්‍රතිචාර දක්වන්නේ ඒ මම තමයි කියන්නාක් මෙනි…මෙයලගේ නම් මම හිටපු ගමන් වෙනස් කරනවා.දෙමළ පාසැල් වල සංදර්ශන පවත්වන කොට ලෙච්චමී,පිච්චිඅප්පා වගේ නම් දානවා.මුස්ලිම් ඉස්කෝල වලට ගියාම එයාලගේ නම් ෆාතිමා,ෆාරා වෙනවා…ඔහු පවසන්නේ සිනාසෙමිනි….

ඇලෙක්ස් ගිරා පුතෙක්

දෙහිවල සත්වෝද්‍යානයේ කුරුලු සංදර්ශන පවත්වන්න පුළුවන් අය ඉදිරිපත් වෙන්න කියලා පත්තරේ දැන්වීමක් දලා තිබුණා.මම ඒකට ඉල්ලුම් කළා.අන්තිමට බලනකොට ලංකාවෙන්ම ඒකට ඉල්ලුම් කරලා තිබුණේ මම විතරයි.මට ජොබ් එක ලැබුණා.2013 අවුරුද්දේ මාස හයක ගිවිසුමක් යටතේ  මම සතුන් වත්තේ මගේ ගිරව් ටික දාලා හැමදාම අලි රංග පීඨයේ සංදර්ශනයක් කළා.මට මාසෙට ලක්ෂ 1 1/2 ක ගෙව්වා.ෂෝ එකෙන් ලක්ෂ තුනක විතර ආදායමක් සතුන් වත්තට ලැබුණා.දවසක් ස්පීකර් සද්දෙට බයවෙලා ඇලෙක්ස් ඉගිලිලා ගියා.මට ඌව හොයා ගන්න බැරිවුණා.අලෙක්ස් නැතුව මට ලොකු පාළුවක් දැණුනා.කල්පනා කරලා මගේ මොළේ නහරයක් පිපිරුවා.කළුබෝවිල රෝහලේ මාස දෙකක් විතර හිටියා.පස්සේ හොඳ වෙලා ගම්පොළ දැන් ඉන්න ගෙදරට ආවා.මහත්තයා කිව්වට විශිවාස කරනවාද…මාස හයකට පස්සේ ඇලෙක්ස් මාව හොයාගෙන කොළඹ ඉඳලා ගම්පොළට ආවා.ගේ ළඟ තිබුණු ඇඹරැල්ලා පැලේක වහලා ඌ විසිල් කළා.ඇලෙක්ස්ගේ හඬ මට හොඳට හුරුයි.ගෙදරින් එළියට ආවම ඇලෙක්ස් මගේ කරට ආවා.දරුවෙක්වත් එයිද මහත්තයෝ මෙහෙම…. තමන් කුසට අහරක් නොගත්තද බර්ඩ් මාස්ටර් ගිරවුන්ගේ කුස පුරවන්නට අමතක නොකරන්නේය.සංදර්ශන නොමැති නිසා ඔහු මේ දිනවල දිව සරකර ගන්නේ කුරුල්ලන්ගේ සංදර්ශන පටිගත කළ ඩී.වී.ඩී තැටි අළෙවිකර ලබන සොච්චම් මුදලිනි.මම ලංකාවේ පොළවල් තියෙන පළාත් වලට ගිහින් ඩී.වී.ඩී විකුණ ගන්නවා.සතියකට රුපියල් දෙතුන් දාහක් මේකෙන් හොයා ගන්න පුළුවන්.කොහෝ ගියත් රෑට ගෙදර එන්න ඕන.මොකද සත්තු බඩගින්නේ.මම එනකල් මෙයලා බලාගෙන ඉන්නේ දරුවෝ තාත්තා එනකල් බලාගෙන ඉන්නවා වගේ…මට රුපියල් 25000.00 ක මුදලකුත් එක්ක මීට අවුරුදු හයකට විතර කලින් කලාභූෂණ සම්මානෙත් හම්බ වුණා.කොරෝනා කාලේ රට වහලා තියෙත්දී ඩී.වී.වී විකුණ ගන්නත් හැකියාවක් තිබුණේ නැහැ.ඒ නිසා කලාභූෂණ සම්මානේ උකස් කරලා රුපියල් 5000.00 ක් ගත්තා. සිංහල,ඉංග්‍රීසි,දෙමළ,දිවෙහි,හින්දු යන භාෂා චතුර ලෙස කතා කළ හැකි බර්ඩ් මාස්ටර් අප නික්ම ඒමට ගිය අවස්ථාවේ කළ කතාව ඉතා සංවේදි එකකි.ආදරය,කරුණාව,දයාව අමතක කර බැඳීම් සුණු විසුණු කර හැල්මේ දුවන සමාජයට ඉන් උගත හැකි පාඩම ඉතා විශාලය….මම මැරෙන්න බය නැහැ.ඒත් මම මරුණට පස්සේ මේ සතුන්ට මොකක් වෙයිද කියලා මට බයයි.මෙයලා මාව දාලා යන්නේ නැහැ.මම එහෙමයි.අපිව වෙන් කරන්න පුළුවන් මරණයට විතරයි.මම දැන් ඉන්නේ අසනීප ගානේ.ඒ නිසා මම අන්තිම කැමැති පත්තරක් ලිව්වා.ඒ මගේ මරණයෙන් පස්සේ මේ ගිරව් ටික ජාතික සත්වෝද්‍යානයට බාර දෙන්න….බර්ඩ් මාස්ටර් එසේ පැවසුවේ පියෙකු දරුවන් තුරුළු කරගෙන සිටින්නාක් මෙන් ගිරා රෑන කරමත වසා සිටියදීය..බර්ඩ්මාස්ටර්ගේ දුරකතන අංකය-0777222780

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *