කේශ කල්‍යාණය දන් දුන් දියණියෝ

වරලස කියන්නේ කාන්තාවකට අභරණයකි. ගැහුණු දරුවෝ තමන්ගේ වරලසට ආදරය කරන්න පටන් ගන්නේ කුඩා කාලෙදිමයි. හැඩවැඩ දමමින් කොණ්ඩය පීරන්න දූවරු දක්වන උනන්දුව ගෙදරක හොඳින්ම දන්න කෙනා අම්මයි. රජ දවස පටන් පැවත එන සංස්කෘතිය තුළ දිගු වරලස පිළිගැනෙන්නේ කාන්තාවකගේ රුව ගුණ වරුණ ඔපවත් කරන්නක් ලෙසයි. කාන්තා රුව වරණ කියා පාද්දී සැලකිල්ලට ගන්න පංච කල්‍යාණයෙන් එක්  කල්‍යාණයක් ලෙස කාන්තාවකගේ කේශ කල්‍යාණය පිළිගැනෙන්නේ මේ නිසයි. උත්සවයක් හෝ විශේෂ අවස්ථාවක් පැමිණි විට කාන්තාවන් එක් එක් ආකාරයට හැඩ දමමින් නොයෙකුත් කොණ්ඩා විලාසිතා මවන්නේ එමඟින් තමන්ගේ රුව බැබළෙන බව දන්න නිසයි. හිසකෙස් දහස් ගණනක්  තිබුණත් ඒ එක් කෙස් ගසක් හෝ ගැලවී යනවාට කාන්තාවෝ අකමැතිය. මේ නිසා නොයෙකුත් සත්කාර කරමින් හිසකෙස් රැක ගන්නට ඔවුන් දක්වන්නේ දැඩි උනන්දුවකි. එවැනි පසුබිමක පාසැල් සිසුවියන් ගුරු පිරිසක් හා එක්ව තමන් ආදරයෙන් රැකබලා ගත් තමන්ගේ රුවට තවත් අමතර සුන්දරත්වයක් එක්කළ හිසකේ කපා තවත් කෙනෙකුගේ අවශ්‍යතාව වෙනුවෙන් පරිත්‍යාග කරන්නේ නම් එය පුදුමයට කරුණකි. එහෙත් එය තවදුරටත් පුදුමයක් නොවන්නේය. මහනුවර උසස් බාලිකා විදුහලේ විදුහල්පතිනිය,ගුරු මණ්ඩලයේ සාමාජිකාවන් හා සිසු දරුවන් තවත් අයවළුන්ද සහ සම්බන්ධකර ගනිමින් පසුගියදා ඔවුන්ගේ හිස කෙස් දන් දුන්නේ පිළිකා රෝගීන් වෙනුවෙනි. පාසැලේ සිව්වන වසරේ සිට උසස් පෙළ දක්වා ඇති පන්ති වල අධ්‍යාපනය ලබන දූවරු හැත්තෑපස් දෙනෙකු ඇතුළු පිරිස දන්දී තිබූ හිසකෙස් වල මුළු බර කිලෝ හැටක් වුවත් ඔවුන් කළ පරිත්‍යාගයේ තරම මනින්නට කිසිදු මිණුම් දණ්ඩක් මිහිපිට නොවන්නේය.
විභාග කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන අධ්‍යාපන ක්‍රමය තුළ ගොඩනැගෙන තරඟකාරීත්වය නිසා එකිනෙකා පරයා ඉදිරියට යන්නට පාසැල් දරුවන් කටයුතු කරන්නේ පරාර්ථකාමී හැඟීම් සියල්ල ආත්මාර්ථයෙන් යටපත් කරමිනි. පාසැල් නොපැමිණිම හෝ විෂය බාහිර කටයුත්කට සම්බන්ධ වීම නිසා පන්ති කාමරයේ උගන්වන විෂය කරුණක් මඟ හැරුණු සිසුවෙකුට එය කියා දීමට හෝ ඒ සඳහා තමන්ගේ පොත ලබා දීමට අකමැති සිසුන් බහුල සමාජයේ උසස් බාලිකාවෝ පෙන්වූ පරිත්‍යාගශීලීත්වය සැමට ආදර්ශයකි. එවැනි තැනක් වෙත යොමු වීමට දරුවන්ට මඟ පෙන්වන ගුරුවරුන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරු මෑණිවරුන් හා පියවරුන්ය. මහ කකුළුවා ඇදයට ගොස් පොඩි එවුන්ට කෙලින් යන්නට කීමෙන් පලක් නැතැයි කියමනක් තිබේ. දරුවන්ට ආදර්ශ ලබා දීමට පෙර වැඩිහිටියන් එම ආදර්ශය පිළිපැද සිටිය යුතුය. උසස් බාලිකාවේ ගුරුවරු ළමුන්ට හිසකේ දන්දීමට මඟ පෙන්වා ඉවත බලා නොසිටියහ. ඔවුන් ළමුන්ට පෙර වරලස පරිත්‍යාග කර දරුවන්ට හරිමඟ පෙන්වා දුන්හ.



මහනුවර උසස් බාලිකාවේ ගුරු මණ්ඩලය හා සිසුවියන් එක්ව වාර්ෂිකව ලේ දන්දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන අතර මෙවර පිළිකා රෝගීන් වෙනුවෙන් හිසකේ දන්දීමේ වැඩපිළිවෙළ සංවිධානය කර තිබුණේ පාසැලේ ගුරුවරියක වන නීලා කුමාරි වික්‍රමනායක මහත්මියයි. හිසකේ දන්දීමේ වැඩපිළිවෙළට පදනම වැටුණු ආකාරය ඇය මෙසේ විස්තර කළාය…මගේ පුතා ප්‍රමෝද්‍ය ඉන්දීවර. එයා වරක් පිළිකා රෝගීන් වෙනුවෙන් හිසකෙස් දන් දුන්නා. මමත් පුතා එක්ක පේරාදෙණිය සනාථ සුවය භාවනා මධ්‍යස්ථානයට ගිහින් හිසකේ දන් දුන්නා. එම ස්ථානය පවත්වාගෙන යන පේරාදෙණියේ සුජාත හිමි වැඩසිටින්නේ ඇමරිකාවේ. භාවනා මධ්‍යස්ථානයේ වැඩසටහන් කරන්නේ මයිකල් ෆ්‍රොන්ස්කාසා (Michal Fronczak) මහතා මූලික වෙලා. පිළිකා රෝගී තත්ත්වයෙන් පෙළෙන ළමුන්ට විග් හදන්න හිසකෙස් එකතුකර ඇමරිකාවට යවනවා. අපේ පාසැලේ ලේ දන්දීමේ වැඩසටහනත් එක්ක හිසකේ දන්දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න පුළුවන් නේද කියන හැඟීම මට ආවා. විදුහල්පතිනි එම්.අබේගුණසේකර මහත්මියව මේ පිළිබඳව දැනුවත් කළාම එතුමිය ඒකට කැමැති වුණා. චම්පිකා කරුණාදාස නියෝජ්‍ය විදුහල්පතිනියගේත් ප්‍රාථමික අංශයේ සමන්ති සිරිවර්ධන මහත්මියගේත් සහයෝගය තුළින් මේ වැඩසටහන සංවිධානය කළා.
 
ලේ දන්දීමේ වැඩසටහන වාර්ෂිකව සංවිධානය කරනු ලබන්නේ උසස් බාලිකාවේ බාල දක්ෂිකා සංගමය, ගුරු සුබ සාධක සංගමය හා ප්‍රාථමික අංශය ඒකාබද්ධවය. ගුරුවරු, අනධ්‍යන කාර්ය මණ්ඩලය, දෙමව්පියන් හා බාහිර පුද්ගලයින්ද ඇතුළු පිරිස විසින් මෙවර පරිත්‍යාග කර තිබූ රුධිර පයින්ට් ප්‍රමාණය 175 කි.  සමගාමීව ක්‍රියාත්මක කළ හිසකේ පරිත්‍යාග කිරීමට සිසුවියන් 75 දෙනෙකු පමණ ඉදිරිපත්ව තිබුණේ ඔවුන්ගේ දෙමව්පියන්ගේ කැමැත්ත ඊට ලබාගත් ලිපිද සමඟිනි. පිළිකා රෝගීන්ට ලබාදෙන ප්‍රතිකාර වල බලපෑමෙන් එම රෝගීන්ගේ හිසකේ ගැලවී යනවා. හොඳට කොණ්ඩය තිබුණු කෙනෙක් මේ ප්‍රතිකාරත් එක්ක තට්ටය ඇති කෙනෙක් බවට පත්වෙනවා. ගොඩක් වෙලාවට මේ අය කරන්නේ රෙදි කඩකින් හිස වසා ගෙන ගමන් බිමන් යෑමයි. මේ අයට විග් හදන්න තමයි අපි මේ හිසකේ පරිත්‍යාග කළේ. අවම අඟල් 10 ක කෑල්ලක් කපා ගන්න පුළුවන් අයගෙන් විතරයි කොණ්ඩය කපා ගන්නේ. භාවනා මධ්‍යස්ථානයට පැමිණ සිටි Daud Hosmi මහතා ඇමරිකාවේ සැලූන් එකක් පවත්වාගෙන ගිය කෙනෙක්. එතුමා එක්ක විද්‍යා පීඨ ගුරු මෙනවියන් තිදෙනෙක් කොණ්ඩය කපන්න එකතු වුණා. පාසැලේ හතරවන වසරේ අධ්‍යාපනය ලබන දරුවෝ දෙන්නෙක් හිසකෙස් දන් දුන්නා. ඒ තමයි පොඩිම ළමයි දෙන්නා. උසස් පෙළ දක්වා සියලු පන්ති වල ළමුන් මේකට බොහොම කැමැත්තෙන් එකතු වුණා. සමහර ළමයින්ගේ කොණ්ඩය අඟල් 10 ක කොටසක් කපන්න තරම් දිග නැති නිසා ගන්න බෑ කිව්වා. එහෙම කිව්ව ළමයි කීපදෙනෙක් එයාලගේ කොණ්ඩේ කපලා රබර් බෑන්ඩ් එකකින් බැඳලා මේසයක් උඩින් තියලා ගිහින් තිබුණා. කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකාවේ දරුවන් දෙදෙනෙකුත් පැමිණ ඔවුන්ගේ හිසකෙස් දන් දුන්නා. මේ වගේ තවත් පාසැල් වල අය මේකට සහයෝගය දුන්නා. බුද්ධ දේශනාවට අනුව සියලු දේවල් නැසෙන සුළුයි. අද තියෙන කොණ්ඩය නොවෙයි හෙට තියෙන්නේ. තවත් අයෙකුගේ සතුට යහපත වෙනුවෙන් අපේ දෙයක් පරිත්‍යාග කරන්න පුළුවන් නම් ඒක මොනතරම් උතුම් දෙයක්ද?. අපේ දරුවෝ,ගුරු මණ්ඩලය මේ ක්‍රියාවෙන් පෙන්නුවේ ඒ පරිත්‍යාගශීල්වයේ තියෙන උතුම් බවයි. අපි හැමෝම තමන් ගැන වගේම අනෙකා ගැනත් යහපත් සිතින් බලනවා නම් මේ ලෝකේ ගැටුම් ඇති වෙන්න විදිහක් නැහැ…නීලා කුමාර වික්‍රමනායක ගුරුමාතාව පවසයි.



තමන්ගේ ජීවය පවත්වා ගෙන යෑමට අත්‍යවශ්‍ය රුධිරය තවත් අයෙකුගේ ජීවිතය බේරා ගැනීමට පරිත්‍යාග කළ උසස් බාලිකාවෝ පිළිකා රෝගීන්ගේ බිඳ වැටුණු මානසිකත්වය ගොඩනගන්නට හිසකෙස්ද දන් දුන්හ. ඉන් නොනැවතුන සිසු දරුවන්  500 දෙනෙකු කවදා හෝ ඔවුන්ගේ මරණින් පසු දෑස් අඳ පුද්ගලයින්ට ලෝකය දකින්ට තමන්ගේ දෙඇස්  පූජා කිරීමට කැමැත්ත අක්ෂිදාන සංගමයට පළකර තිබේ. තවත් ශිෂ්‍යාවන් සිය දෙනෙකු මරණින් පසු තමන්ගේ ශරීර අවයව සියල්ල පූජා කිරීමට කැමැත්ත ලිඛිතව ලබාදී ඇත. අනුන්ගේ දේද කාවඩා ගනිමින් තමන්ගේ ජීවිත ගොඩනගා ගැනීමට වෙහෙසෙන පුද්ගලයින් බහුල සමාජයට උසස් බාලිකාවේ ගුරුවරුන් හා සිසු දැරියන් ලබාදුන් පරිත්‍යාගශීලීත්වයේ ආදර්ශය මහමෙරටත් වඩා විශාලය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *