කොටින්ගේ අයිතිය රකිමුද ?

වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටීම හේතුවෙන් රතු දත්ත පොතට ඇතුළත් කර සිටින විලෝපිත සත්ත්ව ගණයට වැටෙන කොටියෙකු පසුගියදා අමානුෂික ලෙස ඝාතනයට ලක්වූයේ කිලිනොච්චිය ප්‍රදේශයේදීය. විද්‍යාත්මකව පැන්තරා පාර්ඩුස් කොටියා (Panthera pardus kotiya) ලෙස හඳුන් වනු ලබන මෙම සතුන් ශ්‍රීලංකාවට ඇත්තේ දහසකටත් අඩු සංඛ්‍යවක් බව හඳුනා ගෙන තිබේ.මෙම සත්ත්ව විශේෂය පිළිබඳ විධිමත් සංගණනයක් මෙතෙක් සිදුකර නොමැති අතර මෙම දත්ත විවිධ මාර්ග ඔස්සේ ලබාගත් තොරතුරු පදනම් කර ගනිමින් ගොනුකර ඇත. මෙම සත්ත්වයා කොටියාද නැතහොත් දිවියාද යන්න පිළිබඳවද කතා බහක් නිර්මාණය වෙමින් තිබේ.වනජීවි අධ්‍යක්ෂ (සෞඛ්‍ය) තාරක ප්‍රසාද් මහතා මූ කොටියා යැයි ප්‍රකශ කරත්දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහචාර්ය අශෝක දංගොල්ල මහතා ඌ දිවියා යැයි පවසයි.විද්‍යාත්මක නමේ කොටියා යනුවෙන් හැඳින්වීම නිසා දිවියාට කොටියා යන්න භාවිතයට පැමිණ තිබෙන බව දංගොල්ල මහතා සඳහන් කරයි. එල්.ටී.ටී.ඊ සංවිධානයේ ලංඡනයේ කොටියෙකුගේ ඡායාරූපයක් තිබීම නිසා පසුගිය යුද සමයේදී කොටියා යන්න ව්‍යවහාර කිරීමට ලාංකීය ජන සමජය තරමක් මැලිවූ බැවින් වනයේ වෙසෙන කොටියාටද දිවියා කියන්නට පෙළඹුණු බව පරිසරවේදී නීතීඥ ජගත් ගුණවර්ධන මහතා පවසයි. මේ පිළිබඳ මෙතෙක් නිශ්චිත එකඟතාවක් නොමැති බැවින් ලිපිය තුළ අදාළ නාමය නිවැරදිව සමාජගත වන තෙක් කොටියා ලෙසින් භාවිත කිරීමට අදහස් කළෙමි. කිලිනොච්චියේදී ඝාතනයට ලක්වූ කොටියා සම්බන්ධ වීඩියෝ දර්ශන මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ දැන් ලාංකීය ජන සමාජය තුළ කොටි නැතහොත් දිවියන් පිළිබඳ පෙරට වඩා කතා බහක් ඇතිව තිබේ.

අලි මිනිස් ගැටුම පිළිබඳ කලක පටන් අපි කතා කරන්නෙමු. එම ගැටුමෙන් වසරකට මිනිස් ජීවිත 70 ක් පමණ අහිමි වෙත්දී ඝාතනයට ලක්වන වන අලි සංඛ්‍යාව 250 ද ඉක්මවයි.කිළිනොච්චිය සිද්ධියට පෙර සිටම වතුකරයේ කොටි ඝාතකනට ලක්වීමේ සිදුවීම් වාර්තාවූ අතර පසුගිය වසර පහක කාලය තුළ එය එන්න එන්නම වැඩිවන තත්ත්වක් දක්නට ලැබිණි. මඳු වලට අසුවීම හා වස මිශ්‍රකර දැමූ ආහාර අනුභවය නිසා ගතවූ වසර පහක පමණ කාලය තුළ උඩරට වතුකරයේ කොටි 30 කට වැඩි සංඛ්‍යාවක් මරණයට පත්ව තිබේ.යාල වන උද්‍යානය තුළදී කොටියෙකු වාහනයකට අසුව මිය යෑමේ සිද්ධියටද පසුගිය කාලයේ සමාජ වඅධානයක් ඇතිවිය. මෙයට මාස දෙකකට පමණ ඉහතදී මන්දකට අසුව හැටන් දික්ඔය බතලගල වත්තේ මියගොස් සිටි කොටියෙකුගේ දත්, නිය ඇතුළු ශරීර කොටස් සියල්ල ප්‍රදේශවාසීන් ගලවා ගෙන ගොස් තිබිණි. මෙම සත්ත්වයා මන්දට අසුව ජීවිතයත් මරණයක් අතර සටනක නිරතව සිටියදී ඌගේ හිසට පහරදී ඝාතනය කර තිබෙන බව පසුව අනාවරණය විය.ඊට දින දෙකකට පසු කොටියා මිය ගොස් සිටි ස්ථානයට නුදුරින් අතරමංව සිටියදී මාසයක් පමණ වයසැති කොටි පැටවෙකු හමුවූ අතර එම සතා මිය ගිය කොටියාගේ පැටෙවකු විය. කුසගින්න දරා සිට නොහැකිව තම මව සොයා පැමිණි මෙම සතා වනජීවි නිලධාරීන්ගේ භාරයට ගන්නා විටත් දුර්වලව සිටියේය.වරකට කොටි ධේනුවක් පැටවුන් එකෙකු හේ දෙදෙනෙකු බිහිකරයි. මියගිය කොටියා පැටවුන් දෙදෙනෙකු බිහිකර සිටියේ නම් අනෙක් පැටවා නියත ලෙසම තවත් සතෙකුගේ ගොදුරක් වන්නට ඇත.

යාල, විල්පත්තුව,වස්ගමුව, ගල්ඔය, හෝර්ටන්තැන්න, නකල්ස්, හන්තාන, සිංහරාජය, ශ්‍රීපාද අඩවිය යන ප්‍රදේශවලින් ශ්‍රීලංකා කොටියා හමුවන අතර බළල් කුළයට අයත් කොළ දිවියා, හඳුන් දිවියා හා බළල් දිවියාට වඩා කොටියා පෙණුමෙන් විශාලය. ශරීරයේ පුල්ලි දක්නට ලැබෙන අතර හොඳින් වැඩුණු සත්වයෙකු කිලෝ 60 ක පමණ බරින් යුක්තය.අඩි පහක පමණ දිගකට වැඩෙන මෙම සත්ත්වයා සුනඛයින් දඩයම් කිරීම සඳහා ගම් වැදීමේ ප්‍රවනතාව මෑතක සිට ඉහළ ගොස් ඇත්තේ වනාන්තර එළි පෙහෙළි කිරීමේ එක් ප්‍රතිපලයක් ලෙසිනි….

අපේ රටෙන් වඳවී යෑමේ තර්ජනයට ලක්ව තිබෙන මෙම සතා ආරක්ෂා කරන්න අපි නීතියෙන් බැඳී සිටිනවා.කිලිනොච්චියේදී ඇත්තටම වුණේ අපේ ම්ලේච්ඡත්වය ප්‍රදර්ශනය කිරීමක්.කොටියෙක් කවදාවත් මිනිහෙකුගේ පස්සෙන් පන්නා ගෙන ගිහින් පහර දෙන්නේ නැහැ. මෙතැන තිබෙන්නේ මේ සතුන්ගේ චර්යා රටාවන් පිළිබඳ අපේ නොදන්නා කමයි. කිලිනොච්චියේදී සතා ඝාතනය කළේ ඉතා සැලසුම් සහගතවයි. ගෙදරක සුරතලයට ඇති කරන බල්ලෙක්,පූසෙක් පැටව් දැම්මම අපි ළඟට කිට්ටු වෙනවද?එතරම් හීලෑ සතත් අපිව හපාකන අවස්ථා තිබෙනවා. එහෙම තියෙත්දී කැලෑවේ ඉන්න කොටියා ළඟට අපි ගියාම ඌ පහර නොදී ඉඳීද.කොටියෙක් තමන්ට අනතුරක් වෙන බව දැන ගත්තම එක්කෝ පහර දෙනවා, නැත්නම් පලා යනවා.මේ සතාව ඝාතනය කළේ ආත්මාරක්ෂාවට නොවෙයි කියන කාරනය කාටත් පැහැදිලියි. පශු වෛද්‍යවරයාට තමන්ගේ රාජකාරිය කරන්නවත් මේ අය දීලා නැහැ. සෙනඟ පාලනය කරන්නේ නැතුව සතා අල්ලන එක අමාරුයි කියලා පශු වෛද්‍යවරයා පොලීසියේ පැමිණිල්ලකුත් දාලා තිබෙනවා. මේ සතා නිවසක ඇති කළ එකෙක්ද කියන සැකයත් මේ වන විට ඇතිව තිබෙනවා. කොහොම වුණත් වඳවී යන තර්ජනයට ලක්ව තිබෙන සතෙක් මේ ආකාරයට ඝාතනය කිරීම අපේ ම්ලේච්ඡත්වය ප්‍රදර්ශනය කිරීමක්. ජත්‍යන්තරව පවා මේ දර්ශන ප්‍රචාරනය වීම තුළින් අද ලෝකය අපි දිහා බලන්නේ අමානුෂික ජන කොටසක් ලෙසයි.අපේ රටට විදේශ විනිමය ගෙන ඒමට ගොඩක් මේ කොටි බලපානවා. මොකද සංචාරකයින් යාල වනොද්‍යානයට එන්නේ කොටි බලන්නයි….වනජීවි අධ්‍යක්ෂ (සෞඛ්‍යය) තාරක ප්‍රසාද් මහතා පවසයි.

පරිසරවේදී , නීතීඥ ජගත් ගුණවර්ධන..වනජීවි හා වෘක්ෂලතා ආඥා පනතට අනුව මෙම සතා දැඩි ආරක්ෂිත සත්ත්වයෙක්.මේ සතා ඝාතනය කිරීම,තුවාල කිරීම වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගතහැකි වරදක් .මෙම වරදට සිරදඬුවම් සමඟ දඩ මුදල්ද නියම කිරීමේ බලය මහේස්ත්‍රත්වරයෙකුට තිබෙනවා.මිනිස්සු කැලෑව ආක්‍රමණය කරන විට මේ දඩයම් මගින් ජීවත් වන මේ සතුන්ගේ දඩබිම සීමා වෙනවා. කොටියෙක් තවත් කොටියෙකුගේ දඩබිම් සීමාවට ඇතුළු වන්නේ නැහැ.ඒ වෙලාවට ඌ කරන්නේ ජනවාස ආසන්නයට පැමිණ සුනඛයින්, බළලුන් වැනි සතුන් දඩයම් කිරීමට පෙළඹීමයි.විශේෂයෙන් පැටව් බිහිකරලා ඉන්න කොට කොටියා පමණක් නොවෙයි ගොඩක් සත්තු රෞද්‍රයි. වසර 20 කලින් නුවරඑළියේ වනාන්තර ප්‍රදේශය 18 % යි තිබුණේ.දැන් ඒකත් අඩුවෙලා.වන සත්තු කොහෙද ඉන්නේ.ඇත්තටම අපේ දැක්මේ ප්‍රශ්නයක් තිබෙනවා. අපේ සත්තු නුරුස්සන ස්භාවයක් තිබෙනවා.කලකට ඉහත තලගොයෙක් දැක්කම අපි කලබල වුණාද ?. නැහැ. අද බලන්න තලගොයෙක් දැක්කොත් දුවන්න හදනවා. අපි පරිසරයෙන් ඈති වීම තුළ සතුන්ගේ චර්යාවන් ගැන අපිට තිබෙන අවබෝධය අඩු වෙනවා. අනිත් පැත්තෙන් වනජීවි දෙපාර්තුමේන්තුව සතු වනජීවි නිලධාරීන් සංඛ්‍යාවේ හිඟය බරපතල ලෙස බලපානවා. අට සීයක් පමණ වන පිරිසට රකින්න තිබෙන සීමාව වැඩියි. දූෂිත නිලධාරීන් මෙන්ම වගකීම් පාහැර නොහැර කැපවීම් කරන නිලධාරීන් ඕනෑ තරම් වනජීවි දෙපාර්තුමේන්තුවේ ඉන්නවා. දූෂිත නිලධාරීන් කොයි ක්ෂේත්‍රයේද නැත්තේ. වවුනියාව, කිළිනොච්චිය හා යාපනය යන දිස්ත්‍රික්ක තුනටම ඉන්නේ එක පශු වෛද්‍යවරයයි. නිතිය අනුව සතෙකු නිර්වින්දනය කරන්න පුළුවන් පශු වෛද්‍යවරයෙකුට පමණයි.

දිවියා විලෝපිත සත්ත්වයෙක්.පරිසරයේ සමතුලිත තාවය ආරක්ෂා කරන්න මේ සතාගෙන් ලැබෙන සහය අති විශාලයි. සීඝයෙන් රටින් තුරන්ව යමින් තිබෙන මේ සතා රැක ගන්න අපිට වැඩපිළිවෙළක් තියෙන්න ඕන. දිවියා ගොඩක් කැමතියි බල්ලන්ව ආහාරයට ගන්න.අනිත් පැත්තෙන් බල්ලන් ගොදුරු කර ගන්නත් මෙයාට පහසුයි.බල්ලෝ ඉන්නේ මිනිස්සු ලඟ. ඒ නිසා සතා මින්ස්සු ඉන්න ඉසව්වට එනවා.මෙතනදී තමයි ගැටුම ඇති වන්නේ. වඳවීමේ තර්ජනයට ලක්ව තිබෙන සතුන් ආරක්ෂා කරන්න අපි ජත්‍යන්තර වශයෙන්ද බැඳී සිටිනවා. මේ ආකාරයට මේ සතා ඝාතනයට ලක්වන විට ඒ ගැන ජත්‍යන්තර වශයෙන් විශාල අවධානයක් යොමු වෙනවා.ඒක අපිට අහිතරක ලෙස බලපාන්න පුළුවන්. මේ වඳවී යන සත්තු සංරක්ෂණය කරන්න ලෝකයේ විවිධ රටවල විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. අපි පින්නවල කරන්නේත් ඒ වගේ වැඩක්. මේ දිවියන් ආරක්ෂා කරන්න එවැනි වැඩපිළිවෙළක් රටේ නැහැ….

කොටි ගම් වදින්නේ සතුන් දඩයම් කිරීමට වුව තමන් ජීවත් වන පරිසරයේ කොටියෙකු සමඟ ජීවත් වීමට පරිසරවේදීන් හෝ එම සතා පිළිබඳ උනන්දුවන හා පරීක්ෂණ පවත්වන පුද්ගලයෝ කැමැති වුවත් සාමාන්‍ය ජනතාව ඊට කැමැති වන්නේ නැත. සර්පයෙක් නිවස ආසන්නයේ ගැවසෙන බව දුටුවත් ගමනක් බිමනක් යෑමේදී පවා බියෙන් හා සැකයෙන් පසුවීමට එය හේතුවක් වන අවස්ථා අපි කොතෙකුත් දැක ඇත්තෙමු.කොටියෙක් ගමක සැරිසරන විට තත්ත්වය ඊටත් වඩා දරුණුය. මේනිසා එම බියෙන් නිදහස් වීම පිණිස ජනතාව නොයෙක් පියවර ගැනීම බලාපොරොත්තු විය හැකි තත්ත්වයකි. සතුන්ගේ ජීවිත මෙන්ම මනුෂ්‍යය ජීවිතද වටින්නේය. හිතාමතා සැලසුම් සහගතව කිළිනොච්චියේදී මෙන් සතෙකු ඝාතනය කිරීම හැරුණු කොට සාමාන්‍යය ජනතාව පැත්තෙන්ද සාධරණයක් ඉටුවිය යුතුය. සතෙකු ඝාතනය වනතුරු සිට ඊට පිළියම් සෙවීමට වඩා සතුන්ද සිවිල් වැසියන්ද ආරක්ෂා කර ගැනීම පිණිස විධිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාව රටට තදින් දැනෙමින් තිබේ. කොටියෙකු ඝාතනය වන තෙක් පසුබිම සකස් කර ඝාතකයින්ට දඬුවම් දීම වෙනුවට දෙපාර්ශවයම එම තත්ත්වයට පත්වීම වැලැක්වීම පිණිස අවශ්‍යය ක්‍රියාමාර්ග ගැනීම වැදගත්ය.

සටහන -අසේල කුරුළුවංශ

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *