කොත්මලේ ස්පීඩ් හිල් ක්ලයිම්බ් මැයි මුල

සෙංකඩගල මෝටර් ක්‍රීඩා සමාජය (Senkadagala Motor Sports Club) ශ්‍රී ලංකා මෝටර් සයිකල් ක්‍රීඩා සමාජය සමඟ එක්ව සංවිධානය කරනු ලබන මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාවලිය මැයි මස 01 සහ 02 යන දිනවල ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොත්මලේදී පැවැත්වෙයි.
කොත්මලේ ස්පීඩ් හිල් ක්ලයිම්බ් 2021 (Kothmale speed hill climb -2021 ලෙස නම්කර තිබෙන මෙම තරඟාවලියට මෝටර් කාර් සහ යතුරු පැදි යන අංශ දෙකෙන් ජාතික මට්ටමේ ක්‍රීඩකයින් රැසක් සහභාගි වන බව සෙංකඩගල මෝටර් ක්‍රිඩා සමාජයේ සභාපති තුසිත් ද සිල්වා මහතා පැවසීය. මහනුවර පැවැති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෝටර් රථ ධාවන තරඟ කාණ්ඩ 15 ක් යටතේද යතුරු පැදි තරඟ කාණ්ඩ 09 ක් යටතේද පැවැත්වෙන බවත් කොත්මලේ ධාවන පථයේදී මේ ආකාර තරඟාවලියක් සංවිධානය කරනු ලබන්නේ වසර ගණනාවකට පසු බවත් තුසිත්ද සිල්වා මහතා කීය.
තරඟාවලියේ ප්‍රථම දින පෙරවරු 7.30 සිට යතුරු පැදි තරඟ 08 ක් පැවැත්වීමට නියමිතය. එදින පස්වරුවේ මෝටර් රථ ධාවන තරඟ 04 ක් පැවැත්වෙන බවත් ඒවාට මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන ක්‍රීඩකයින්ට පමණක් සහභාගි වීමට අවස්ථාව ලබාදෙන බවත් එම සංගමයේ ලේකම් පූර්ණ දහනායක මහතා කීය.
මෙදින පස්වරු 2.00 සිට පස්වරු 4.00 දක්වා පුහුණු තරඟ පැවැත්වෙන බවත් පසුදින පෙරවරු 7.00 සිට මෝටර් රථ ධාවන තරඟ ආරම්භ කරන බවත් ඒ මහතා පැවසුවේය.
මෝටර් රථ තරඟ සඳහා තරඟකරුවෙක් ලෙස එක්වන බව රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා දැනුම්දී තිබෙන බවද සභාපතිවරයා ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට යතුරු පැදි ක්‍රීඩා සමාජයේ ලේකම් අනිල් ජයකොඩි යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *