කොරෝනාව තරමටම භයානක ව්‍යාජ තොරතුරු වසංගතය!
මංගලනාත් ලියනආරච්චි – ත්‍රිකුණාමලය.
කෝවිඩ් – 19 වැනි වසංගත රෝග තත්වයන් හමුවේ ව්‍යාජ තොරතුරු පැතිර යෑම බරපතළ සමාජ ගැටලු රැසකට මග පාදා ඇති බව පෙනේ. මෙහිදී සමාජ මාධ්‍ය පමණක් නොව, ප්‍රධාන ධාරාවේ ඇතැම් වගකිව යුතු මාධ්‍ය ආයතනද සමාජ මාධ්‍යන්ට නොදෙවෙනි අන්දමින් සාවද්‍ය හා පළ නොකළ යුතු ප්රවෘත්ති ප්‍රචාරය කළ අවස්ථා දක්නට ලැබිණි. මෙවැනි දේ නිසා මාධ්‍ය පිළිබද ජනතාවට තිබෙන විශ්වාසනිත්වය පළුදු වී ඇති බව රහසක් නොවේ. කෝවිඩ් වැනි භයානක වසංගත රෝග තත්වයකට රට මුහුණ දී සිටින අවස්ථාවක මාධ්‍යක වගකීම හරි හැටි අවබෝධ කර නොගන්නා සුළු පිරිසකගේ ක්‍රියා කලාපය හා ආපදා තත්වයන් හමුවේ තොරතුරු වාර්තාකරණය සම්බන්ධයෙන් නුපුහුණු මාධ්‍යවේදීන් ඒ සදහා යොමු කිරීම උද්ගතව ඇති මෙම තත්වයට මූලිකම හේතුව බව මාධ්‍ය ක්ෂේත්රයේ ප්රවීණයන්ගේ මෙන්ම විද්වතුන්ගේද අදහසයි.
කෝවිඩ් 19 වසංගත තත්වය තුළ ජනතාව නොමග යන අන්දමේ සාවද්‍ය තොරතුරු සංසරණය වීම හේතුවෙන් සිදු වන බලපෑම අපට පෙනෙනවාට වඩා බොහෝ බරපතළය. ත්‍රිකුණාමලය මහ රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයා කෝවිඩ් 19 ආසාධිතයෙකු බවට එක්තරා වෙබ් අඩවියක් විසින් පළ කළ ප්‍රවෘත්තියක් මුහුණු පොතෙහි සංසරණයවීම හේතුවෙන් ඇති වූ අවුල්සහගත තත්ත්වය මෙය තෙරුම් ගැනීම සඳහා කදිම සිද්ධි අධ්‍යයනයකි.
රෝහල ගැන වැරදි පුවතක්
පසුගිය නොවැම්බර් 10 වන දින ත්‍රිකුණාමලය මහ රෝහලේ වෛද්‍යවරයෙකුට කෝවිඩ්-19 වෛරසය ආසාධිත වී ඇති බව හෙළි වන්නේ, රෝහල් කාර්ය මණ්ඩලයේ තෝරා ගත් පිරිසක් පීසීආර් පරීක්ෂණයට යොමු කිරීමේ ප්‍රතිඵලයක් ලෙසය. ඊට පෙර ත්‍රිකුණාමලය මහ රෝහලේ සේවය කළ වෛද්‍යවරයෙකු කෝවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හදුනා ගෙන තිබුණු අතර, එම වෛද්‍යවරයාගේ සමීපතමයන් නිරෝධානයට ලක් කරමින් සිටියදී සිදුකරන ලද පීසීආර් පරීක්ෂණ මගින් අදාළ වෛද්‍යවරයාටද වෛරසය ආසාදනය වී ඇති බව හෙළිදරව් විය. කෙසේ වෙතත්, මෙම වෛද්‍යවරයා එම රෝහලේ ප්‍රසව හා නාරි ඒකකයේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයෙකු මිස ප්රශව හා නාරි විශේෂඥ වෛද්‍යවරයා (VOG) නොවීය. කෙසේ වෙතත්, සමාජ මාධ්‍ය කිහිපයක් කිසිදු මූලාශ්‍රයක් නොමැතිව ත්රිිකුණාමලය මහ රෝහලේ ප්රශව හා නාරි විශේෂඥ වෛද්‍යවරයාට කෝවිඩ් වෛරසය ආසාධනය වී ඇති බවට පළ කිරීම හේතුවෙන් ත්‍රිකුණාමලය මහ රෝහලේ කටයුතු අවුල් ජාලාවක් බවට පත්විය. මේ සම්බන්දයෙන් අදහස් දැක්වූ ත්‍රිකුණාමලය මහ රෝහලේ අධ්යක්ෂ ජගත් වික්‍රමරත්න මහතා මෙසේ කියා සිටියේය.

“ඇත්තටම මේ ප්‍රවෘත්තිය පළවීම නිසා අපට ගැටලු රාශියකට මුහුණ දෙන්න සිද්ධ වුණා. එම වාට්ටුවේ ප්‍රතිකාර ගත් හා ප්‍රතිකාර ගනිමින් සිටි බොහෝ මව්වරු මෙම වැරදි ප්‍රවෘත්තිය ආරංචි වෙලා භීතියට පත්ව සිටියා. මේ ප්‍රවෘත්තිය පළ කරන්න කලින් මගෙන් හෝ අදාළ වෙනත් බලධාරීන්ගෙන් කිසිදු විමසීමක් හෝ කර තිබුණේ නැහැ. මාධ්‍ය මේ වගේ අවස්ථාවක ඉතාමත් වගකීමෙන් කටයුතු කළ යුතු බව අපි අමුතුවෙන් කිව යුතු නැහැ. “
මෙම සාවද්‍ය තොරතුර මුහුණු පොත හරහා පමණක් නොව, එක්තරා මාධ්‍ය ආයතනයක් විසින් ඔවුන්ගේ ගුවන් විදුලිය හරහා ද ප්‍රචාරය කිරීම හේතුවෙන් ඇතැම් රෝගීන් වෛද්‍ය අනුමැතියකින් තොරව රෝහලෙන් නික්ම ගොස් ඇති අතර, රෝහලේ කාර්ය මංඩලයේ අය පවා මෙම ප්‍රවෘත්තිය පදනම් කර ගනිමින් සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිට තිබේ.
නිවැරදි නොකිරීමේ ප්‍රතිඵල
මෙම තත්ත්වය සම්බන්දයෙන් තොරතුරු දැන ගැනීමට ඇතැම් අය ත්‍රිකුණාමලය මහ රෝහලට දුරකතන ඇමතුම් ගත්තද, එම සැකය දුරු කිරීමට සාධණීය පියවර ගැනීමට රෝහල් බලධාරීන්ද උත්සහ නොගැනීම කනගාටුවට කරුණකි. රෝහල් බලධාරීන් ත්‍රිකුණාමලය මහ රෝහලේ පවතින තත්වය හා අදාළ ප්‍රවෘත්තියේ වරද සම්බන්දයෙන් මාධ්‍යට කරුණු දැක්වීමක් සිදු කළේ නම්, මෙම තත්ත්වය මෙතරම් සංකීර්ණ නොවීමට ඉඩ තිබුණි. නමුත් ත්‍රිකුණාමලය මහ රෝහලේ අධ්යක්ෂ ජගත් වික්‍රමරත්න මහතා කියා සිටියේ, මෙම අවස්ථාව මාධ්‍ය සංදර්ශන පැවැත්වීමට සුදුසු අවස්ථාවක් නොවන බවයි.
ත්‍රිකුණාමලය මහරෝහලේ අධ්යක්ෂවරයා මාධ්‍ය සංදර්ශන වලට වැඩි කැමැත්තක් නොදැක්වීම තුළ ජනතාව පත් වූ අපහසුතාව සුළු කොට තැකිය නොහැක. මෙම තත්වය හේතුවෙන් බොහෝ රෝගීන් පදනම් විරහිතව රෝහලෙන් ප්‍රතිකාර ගැනීම නවතා තිබේ.
‘සායනවලට ගියේ නැහැ‘
“මගේ නෝනා ගැබිනියක්. එයා සායනවලට ගියේ, ත්‍රිකුණාමලය මහ රෝහලේ වී.ඕ.ජී ඩොක්ටර් ගාවට.. ත්‍රිකුණාමලය මහ රෝහලේ වීඕජී ඩොක්ටර්ට කොරෝනා කිව්වහම ඇත්තටම අපි ගොඩක් බය වුණා. මගේ නෝනා මේක ආරංචි වෙලා ගොඩක් කලබල වුණා. තොරතුරු දැන ගන්න පුළුවන් හැමෝටම කෝල් ගත්තත්, හරි තොරතුරක් දැන ගන්න ලැබුණේ නැහැ. අඩුම තරමින් ත්‍රිකුණාමලය මහ රෝහලවත් අපිට හරි තොරතුරක් ලබා දුන්නේ නැහැ “ ගෝමරන්කඩවල බක්මීගම සඳුන් හේමන්ත මහතා පවසයි.

ත්‍රිකුණාමලය මහ රෝහල දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධානතම රෝහල වන අතර, ත්‍රීකුණාමලයෙන් ඈත දුර බැහැර ප්‍රදේශ වන පදවි ශ්‍රීපුර, සේරුවිල, ගෝමරන්කඩවල, පුල්මුඩේ, මහදිවුල්වැව වැනි ප්රෙදේශවල සිට විශාල පිරිසක් ප්‍රතිකාර හා සායන සදහා දිනපතා ත්‍රිකුණාමලය මහ රෝහල වෙත පැමිණේ. එහෙත්, සමාජ ජාලා අනිසි වාර්තාකරණයත් සමග බිය වන ජනයා සිය සායන හා ප්‍රතිකාර මග හැරීම හේතුවෙන් රෝගීන් බරපතළ ගැටලු රාශියකට මුහුණ දී තිබේ. මේ සම්බන්දයෙන් අදහස් දැක්වු ගෝමරන්නඩවල කුරුඳුගම පදිංචි චන්දන පියසේන මහතා කියා සිටින්නේ, මාධ්‍ය මගින් ප්‍රචාරය වූ මෙම පුවත හේතුවෙන් තම බිරිදගේ සායන කටයුතුවලින් බැහැර වීමට සිදු වූ බවයි.
“,පස්සේ තමා දැන ගන්න ලැබුණේ ඒක වැරදි ප්‍රවෘත්තියක් කියලා. නියමිත විධිහට සායන වලට නොගිය නිසා බිරිදගේ රෝගි තත්වය එන්න එන්න වැඩි වෙනවා. මාධ්‍ය මීට වඩා සොයා බලලා මේ වගේ ප්රවෘත්ති පළ කළා නම් අපි වගේ අයට ඒක ලොකු සහනයක්. ඒ වගේම ඒක බොරුවක් නම්, නිවැරැදි කිරීමත් මාධ්‍යවල වගකීමක්..“
දුෂ් – තොරතුරුවලින් බැට කෑ මාධ්‍යෙව්දියා
කොරෝනා වසංගත තත්වය හමුවේ මාධ්‍යවල අනිසි හැසීරීමෙන් බැට කෑ පිරිසට මාධ්‍යවේදීන්ද ඇතුළත්වීම හා ස්යජනකය. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ තරුණ ප්‍රාදේශීය මාධ්‍යවේදියකු හා කැමරා ශිල්පියෙකු වන නිකී තොම්සන් මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් නිරෝධානයට යොමු කරවූයේ, ඔහුගේ සහෝදරයෙකු ප්‍රදේශයේ කාය වර්ධන මධ්‍යස්ථානයකට යෑම හේතුවෙනි. කෙසේ වෙතත්, ඊට දින දෙකකට පමණ පසු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මාධ්‍යෙව්දීන් දෙදෙනෙකුට කොරෝනා වැලදී ඇති බවට මුහුණු පොතේ පළ වූ පුවතක් හේතුවෙන් අදාළ මාධ්‍යවේදියා පමණක් නොව අනෙකුත් මාධ්‍යවේදීන්ද දැඩි අපහසුතාවට ලක් විය. එසේම නිකී තොම්සන් මහතාගේ වෘත්තිමය ජීවිතයටද මේ හේතුවෙන් බලපෑම් එල්ල වී ඇති බව හෙතෙම කියා සිටී.
ඇතැම් දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය මාධ්‍යවේදීන් කෝවීඩ් වසංගත තත්වය තුල මූලාශ්‍ර වලින් තොරව ප්රවෘත්ති පළ කිරීම හා එම ප්‍රවෘත්තිය මුහුණු පොතට මුදා හැරීම නිසා සාමාන්‍ය ජනයා සමාජය තුළ අපහසුතාවයන් වලට ලක් වූ අවස්ථා එමටය.

වැරදි පුවතකින් පීඩා විඳි පුරවැසියෙක්
පසුගිය 17 වනදා වැලිකන්ද නිරෝධාන මධ්‍යස්ථානයකදී මිය ගිය කොළඹ 10 මාලිගාවත්ත ප්‍රෙදේශයේ පදිංචිකරුවෙකු වන බාබු මොහොමදු කුෂුමා හසන් මහතාගේ බිරිඳත් ඔහුගේ පවුලේ සාමාජිකයෙනුත් කොරෝනා ආසාදිතයන් බවට පුවතක් පුවත්පතක සහ ඊට අයත් වෙබ් අඩවියෙහි පළ විය. දඹුල්ල ප්‍රදේශයේ ප්‍රකට මාධ්‍යවේදියෙකු විශ්වාසදායක මූලාශ්‍ර නොමැතිව වාර්තා කළ එකී පුවත නිසා එම පවුලට විඳින්නට වූ අපහසුතාව සුළු කොට තැකිය නොහැක. මේ සම්බන්දයෙන් අදහස් දැක්වූ මිය ගිය අයගේ සහෝදරියක වන ත්‍රීකුණාමලය පදිංචි සින්න නසීරා හසන් මහත්මිය කියා සිටියේ, ජනමාධ්‍යවල මෙම හැසිරීම පිළිකුල්සහගත බවයි.
“මගේ අය්යා වැලිකන්දේ නිරෝධානය වෙමින් ඉද්දී නැති වෙන්නේ, නාන කාමරේ ලිස්සලා වැටිලා. ඊට පස්සේ වැලිකන්දෙන් කෝල් කරලා කිව්වා අය්යව දවපු අලු ටික අරන් යන්න ගෙදරින් කාට හරි එන්න කියලා. වැලිකන්දෙන් දීපු පණිවිඩේට අය්යගේ බෑනා කොළඹ ඉදන් බස් එකේ වැලිකන්දට යද්දී දඹුල්ලෙදි පොලිසියෙන් බස් එක නවත්තලා බෑනට කොරෝනා කියලා අර ගෙන රෝහල් ගත කරලා. එයාට පීසීආර් කළහම කොරෝනා නැහැ කියලා ඔප්පු වෙලා තියෙනවා. නමුත්,වෙබ් එකක හා පත්තරේක ගියා ඒ අය්යලාගේ බිරිදටත් කෝවිඩ් කියලා. හැබැයි, මේ වෙනකම් අය්යගේ බිරිදව පීසීආර් කරලවත් නැහැ.’’
වැරදි තොරතුරක් නිසා නිරෝධායනයට
පෑලියගොඩ තොග මාළු වෙළදසැල සමග ගනුදෙනු කළ ත්‍රිකුණාමලය තොග මාලු වෙළද සැලේ කිහිප දෙනෙකුම කෝවිඩ් ආසාධිත වී ඇති බව පීසීආර් පරීක්ෂණ මගින් හෙළි වී තිබුණි. කොඩ්බේ ධීවර වරායේ ව්‍යාපාරිකයෙකු වූ ඒ.එච්. සමන් ප්‍රියන්ත මහතා ඒ වන විට සති ගණනාවකින් පෑලියගොඩ මාළු වෙළද සැලට ගොස් නොතිබුණද, පෑලියගොඩ මාළු වෙළදසැල සමග ගනුදෙනු කළ ඒ.එච්. සමන් ප්‍රියන්ත හෙවත් නිල්වලා සමන් ඇතුළු ත්‍රිකුණාමලය තොග මාළු වෙලද සැලේ විශාල පිරිසක් පීසීආර් පරීක්ෂණයට මුහුණ නොදී සැඟව සිටින බවට මුහුණු පොතේ පළ වූ සටහනක් හේතුවෙන් සමන් ප්‍රියන්ත මහතාට සිදුවූයේ, පදනමකින් තොරව දින 5 ක් නිරෝධානය වීමටයි.
“. ඒ වෙන කොට මගේ දුව උසස් පෙළ විභාගයට පෙනී සිටිමින් හිටියේ. එයාව වෙනම කාමරේකට දාලා තමා ඊට පස්සේ එයාට විභාගය ලියන්න වුණේ. ඒ නිසා එයා ගොඩක් මානසිකව වැටුණා. සමහර ළමයි එයා එද්දී මග ඇරලා යනවලු. ඒ දවස් ටිකේ අපේ එක වාහනයකටවත් දුවන්න ලැබුණේ නැහැ. ඒ නිසා අපිට ආර්ථිකවත් ඒක බලපෑවා. පස්සේ මම පීඑච්අයි එකට කථා කරලා මේ අසාධාරණය කිව්වහම ඒක පිළි අරන් දින 5 න් අපේ නිරෝධානය නැවැත්තුවා. නැත්නම්,අපිට දවස් 14 නිරෝධානය වෙන්න තමා වෙන්නේ..“

දේශීය නීතිරිති උල්ලංඝනය කරන ෆේස්බුක් පරිශීලකයන්ට එරෙහිව නීතිමය කටයුතු කිරීමට යම් රටක පොලිසිය ඉල්ලීමක් කරන්නේ නම්,ෆේස්බුක් ආයතනය ඒ සදහා සහය ලබා දෙන බව ෆේස්බුක් සමාගමේ ආසියා ෆැසිපික් කලාපයේ ආරක්ෂක ප්‍රතිපත්ති ප්‍රධානි ඇම්බර් හෝක්ස් මහත්මිය අන්තර්ජාලය ඔස්සේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පසුගියදා කියා සිටියාය.එවැනි අවස්ථාවකදී අදාල නීති තත්වයන් පිලිබද අධ්‍යනයක් සිදුකිරීමට අවශ්‍ය නෛතික රාමුවක් හා ඒ සදහා පුහුණුව ලත් කණ්ඩායමක් තම ආයතනය සතු බව පවසන ඇම්බර් හෝක්ස් මහත්මිය වැඩි දුරටත් කියා සිටින්නේ,ෆේස්බුක් හි පළවන තොරතුරු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට නම්,පොලිසිය අදාල ක්‍රියාවලිය හරහා ගමන් කල යුතු බවයි.
මාධ්‍ය හා සමාජ මාධ්‍යන්හි මෙවැනි මාධ්‍ය අවභාවිතාවන් සම්බන්දයෙන් ගත හැකි ක්‍රියා මාර්ග කවරේද? එය කොපමණ දුරට සාර්ථකද යන්න පිළිබඳව කැලණිය විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය නීතිය පිළිබද බාහිර කථිකාචාර්යවරයෙකු මෙන්ම ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ හිටපු අධ්යක්ෂ නීතිඥ ජගත් ලියනආරච්චි මහතාගෙන් විමසීමක් කළෙමු.
ගතහැකි පියවර රැසක්
“පෞද්ගලිකත්වයේ අයිතිය නීතියෙන් නොපිළිගෙන තිබීම ලංකාවේ නීතියේ තිබෙන ලොකු හිදසක්. මේ නිසා යම් අයෙකුගේ කැමැත්තකින් තොරව සමාජ මාධ්‍යවල හා අනෙකුත් පිළිගත් මාධ්‍යවල පළ කිරීම් සම්බන්දයෙන් නීතියේ පිහිට පැතීම ටිකක් කල්ගත වන කාර්යයක් බව සඳහන් කළ යුතුයි. නමුත්, මෙවැනි අවස්ථාවලදී අගතියට පත් වූ පාර්ශ්වයන්ට ඊට එරෙහිව කටයුතු කිරීමේ හැකියාවන් රට තුළ තිබෙනවා.. ඒ වගේම ෆේස් බුක් සම්බන්දයෙන් පැමිණිලි කිරීමට බී.එම්.අයි.සී.එච්. එකේ වෙනමම පොලිස් ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා. ෆේස් බුක් සම්බන්ද පැමිණිලි කිරීමට මේ වන විට ඕනෑම අයෙකුට හැකියාව තිබෙනවා..“
ජනමාධ්‍යවේදීන් සතු වගකීම
වසංගත රෝග තත්වයන් හමුවේ මාධ්‍ය වාර්තාකරණය මෙරටට අමුත්තක් නොවුණද, කෝවිඩ් -19 තත්වය විශේෂිත තත්වයක් බව අමුතුවෙන් කිව යුතු නැත. මේ හේතුවෙන් මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍යද තොරතුරු ප්රකාශනයේදී මාධ්‍ය සදාචාරය හා පුද්ගලිකත්වයේ අයිතිය සම්බන්දයෙන් සැලකිලිමත්වීමත්, ඒ සම්බන්දයෙන් ජනමාධ්‍යවේදීන් පුහුණු කිරීමත් ඉතා වැදගත් බව පෙනේ. මේ සම්බන්දයෙන් අදහස් දැක්වු නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු කැඳවුම්කරු මෙන්ම මාධ්‍ය පුහුණුකරුවෙකු වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සී. දොඩාවත්ත මහතා දක්වන්නේ මෙවැනි අදහසකි.
සී.දොඩාවත්ත මහතා

“ඕනෑම තත්වයක් හමුවේ ප්රවෘත්ති වාර්තාකරණයේදී මාධ්‍යවේදියකු තුළ සමාජ වගකීම හා වෘත්තිමය තත්වයක් තිබිය යුතුයි. ජනමාධ්‍ය ප්රවෘත්ති වාර්තාකරණයේදී තමන්ගේ සමාජ වගකීම හරිහැටි අවබෝධ කර ගනිමින් එම කාර්යයේ නිරත විය යුතුයි. සමාජමාධ්‍ය සම්බන්දයෙන්ද එය එසේමයි.. විවිධ තත්වයන් යටතේ ප්රවෘත්ති වාර්තාකරණය පිළිබදව පුහුණුවීම් ලබා තිබීම ඉතා වැදගත්..“