කොරෝනා ආර්ථික අවපාතයට හේතුවක් – මහාචාර්ය වසන්ත අතුකෝරාළ

ලෝක ආර්ථිකයේ අවපාතය ස්වයං නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගාගෙන නැති අපට තදින් දැනෙනවා. – පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ 

මහාචාර්ය වසන්ත අතුකෝරාළ

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ලොව පුරා දැඩි කතාබහක් නිර්මාණය වූයේ පසුගිය දෙසැම්බර් මාසයේදීය. ඒ චීනයේ පුද්ගලයෙකු මෙම වෛරසයට ගොදුරුව මරණයට පත්වීමත් සමඟිනි. චීනය තුළ සීඝ්‍රයෙන් පැතිර ගිය වෛරසය තමන්ගේ රටට ඇතුළු  වීම පාලනය කිරීමට සෑම රටක්ම පාහේ විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබුවද මේ වන විට එය බොහෝ රටවලට ව්‍යාප්තව තිබේ. වෛරසය හේතුවෙන් ඇතිව තිබෙන තර්ජනය සැලකිල්ලට ගෙන ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ සමඟ ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක් එම රටවල හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත්කර ඇත.

චීනයේ වැටීම කාටත් දැනෙනවා

ඒ ඒ රටවල සෞඛ්‍ය අංශ දැඩි අර්බුදයකට පත්ව සිටියදී අනෙක් පැත්තෙන් ලෝක ආර්ථිකයේ විශාල කඩා වැටීමක්ද මේ හේතුවෙන් සිදුව තිබේ.කොරෝනා වෛරසය මගින් ලෝක ආර්ථිකයට කරනු ලැබ තිබෙන බලපෑම නිසා පසුගිය වසරේ 2.4% ක් වූ ලෝක ආර්ථික වර්ධනය මෙම වසරේ 1% කින් පමණ පහළ වැටීමට බොහෝ සෙයින් ඉඩ තිබෙන බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති. මේ වනවිට වෛරසයට බියෙන් ලොව පුරා අවංගු කර තිබෙන ගුවන් ගමන් ප්‍රමාණය තුන්දහසකට වැඩිය. භාණ්ඩ නිෂ්පාදනය, බෙදා හැරීම ඇතුළු අංශ ගණනාවකම බරපතල කඩා වැටීමක් ලොව පුරා නිර්මාණය වී තිබීම හේතුවෙන් ලෝක සැපයුම් දාමය අඩපණ වීමේ අවධානමක් දැන් මතුව තිබේ. ඇතැම් නගර වලට පමණක් නොව රටවල් වලටත් ඇතුළු වීම හා පිටවීම තහනම් කර තිබෙන බැවින් රටවල් හා නගර බොහොමයක් මුළුමනින්ම අඩපණව ඇත. චීනය ලෝක ආර්ථිකයට ඇති කරනු ලබන බලපෑම ඉතා ඉහළය. මෙය ලෝකයේ වෙනත් රටවල ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල කරන තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබෙන්නේ එම රටවල් චීන නිෂ්පාදන මත යැපෙන පසුබිමක් නිර්මාණය වී තිබීම නිසාය.

කුඩා දරුවන්ගේ සෙල්ලම් බඩුවේ සිට ඉලෙක්ට්‍රොනික භාණ්ඩ, ආහාර ද්‍රව්‍යය ඇතුළු පාරිභෝගික භාණ්ඩ අති විශාල තොගයක් අප ආනයනය කරනු ලබන්නේ චීනයෙනි. චීනයෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ මෙරට අළෙවි කිරීම මගින් ජීවිකාව ගෙන යන විශාල පිරිසක්ද මෙරට සිටිති. එමෙන්ම චීනයෙන් ගෙන එන අමුද්‍රව්‍යය උපයෝගිකර ගනිමින් පවත්වා ගෙන යන කර්මාන්ත ශාලා දහස් ගණනක් මෙරට තිබේ. ඒවාහි සේවක සේවිකාවෝ දස දහස් ගණනක් සේවය කරති.චීන භාණ්ඩ ආනයනයට ගැටලු මතුවීම යනු චීන නිෂ්පාදන හා අමුද්‍රව්‍ය පදනම්කර ගනිමින්  ව්‍යාපාර කරන පුද්ගලයින්ගේ හා ඔවුන්ගේ ආයතන වල සේවය කරන්නන්ගේ ආර්ථිකයට දැඩිව බලපාන්නකි.කොරෝනා වෛරසය සීඝ්‍ර ලෙස ව්‍යාප්ත වන්නට පටන් ගත්තේ  චීන ජාතිකයින් ලොව වටා වැඩිපුර සංචාරය කරන පෙබරවාරී හා මාර්තු මාසයේදීය. ශ්‍රීලංකාවටද චීන ජාතිකයින් දහස් ගණනක් මෙම කාල සීමාවේදී පැමිණෙති.මෙරට හෝටල් ක්ෂේත්‍රය ඇතුළු අංශ ගණනාවක කඩා වැටීමට මෙම චින ජාතික සංචාරකයින්ගේ නොපැමිණීම ඍජුව බලපා තිබේ.

ලෙඩ වූ ආර්ථිකය නිසා බලපෑම වැඩියි

ලෝකයේ ආර්ථික අතින් බලවත් රටවල් වල රෝගය ව්‍යාප්තවීම යනු ලෝක ආර්ථික අවපාතයක් නිර්මාණය වීමට බලපාන්නාවූ ප්‍රධාන කරුණකි. ලෝක වෙළෙඳ පොළේ තෙල් බැරලයක මිල සීඝ්‍රයෙන් පහත වැටීම ඊට හොඳම උදාහරණයකි. වසර 28 කට පසු ලෝක වෙළෙඳ පොළේ බොර තෙල් බැරලයක අඩුම මිල වාර්තා වූයේ පසුගිය සතියේය. ඒ තරමට වෛරසය ලෝක ආර්ථිකයට බලපෑම් එල්ල කරමින් සිටියි. මෙම වෛරසයේ බලපෑම අප රටට එල්ල වන්නේ ආර්ථික අතින් දැඩි පසුබෑමකට ලක්ව විරැකියාව ඉහළ ගොස් තිබෙන අවස්ථාවකය. කොරෝනා වෛරසයේ බලපෑම ශරීර සෞඛ්‍ය දුර්වල අයට තදින් තිබෙන බව වෛද්‍යවරු පෙන්වා දෙති. අපට වෛරසයේ බලපෑම එල්ල වන්නේ ශ්‍රී ලංකා ආර්ථික දේහය දැඩි ලෙස රෝගතුරව පවතින අවස්ථාවකය. මේ නිසා කොරෝනා නිසා ලෝක ආර්ථිකයට ඇතිවන බලපෑම් ඉතා බරපතල ලෙස අපට දැනෙනු ඇත.

මෙරට ආර්ථිකය අද පවතින්නේ ඉතාමත්ම දුර්වල තත්ත්වයකය.වසර 2015 දී 5% ක්ව තිබූ ආර්ථික වර්ධනය 2016 දී 4.4% ක් දක්වාත් 2017 දී 3.4% ක් දක්වාත් 2018 දී 2.7% ක් දක්වාත් 2019 දී 1.5% ක් දක්වාත් පහත වැටිණි.මෙලෙස ආර්ථික වර්ධන වේගය ක්‍රමයෙන් අඩාල වෙත්දී අනෙක් පසින් රටේ ණය බර සීඝ්‍රයෙන් ඉහළ ගියේය.වර්ෂ 2012 දී දළ ප්‍රතිශතයක් ලෙස දළ දේශීය නිෂ්පාදනයෙන් රාජ්‍ය ණය 68.7% ක අගයක පැවැතිණි. 2016 දී එම අගය 78.3% ක් දක්වාත් 2018 දී 82.0% ක් දක්වාත් 2019 දී 90% ක් දක්වාත් එය ඉහළ නැග්ගේය. පසුගිය වසර පහක කාලය තුළ පැවැති දුර්වල ආර්ථික කලමණාකරණයත් දේශපාලන අස්ථාවර භාවයත් පාස්කු ප්‍රහාරයත් මෙයට හේතු විය. මේ ආකාරයේ රෝගී තත්ත්වයක ශ්‍රීලංකා ආර්ථිකය පවතින අවස්ථාවක කොරෝනා වෛරසයේ බලපෑම රටට එල්ල වීම ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වැනි තත්ත්වයකි.

මාධ්‍ය බිල්ලාත් පාලනය කළ යුතුයි

වෛරසය ව්‍යාප්ත වීම නිසා බටහිර රටවල් වල ඇතිව තිබෙන ආහාර හිඟය වැනි කාරණා මාධ්‍ය මගින් අනවශ්‍ය ලෙස මතු කිරීම නිසා බියට පත් ශ්‍රීලාංකිකයෝ මේ ආකාරයෙන් ආහාර ද්‍රව්‍යය එක්රැස් කර ගැනීමට කඩමුඩියේ කටයුතු කිරීම සම්බන්ධව ඔවුන්ට දෝෂාරෝපණය කළ නොහැකිය. මාධ්‍ය මේ අවස්ථාවේදී වගකිව යුතු ලෙස කිරීම අත්‍යවශ්‍ය කාරණයකි. අනෙක් අතින් ආහාර ද්‍රව්‍යවලට අධික ඉල්ලුමක් ඇතිවන අවස්ථාවක කූඪ වෙළෙඳුන්ට පාරිභෝගිකයින් ගසා කෑමේ අවස්ථාව උදාවෙයි. රජය මේ පිළිබඳව අවධියෙන් සිට එවැනි තත්ත්වයක් ඇති නොවීමට වගබලා ගැනීම ඉතා වැදගත්ය.

එක් පැත්තකින් ආදායම් ලැබෙන ආයතන වසා දමා තිබියදී අනෙක් පැත්තෙන් රාජ්‍යය සේවාව පවත්වාගෙන යෑම පිණිස ඒවාහි සේවකයින්ට වැටුප් ගෙවීමට සිදුවෙයි. මේ නිසා රටේ ආර්ථික අර්බුදය තවත් ඉහළ යනු නොඅනුමානය. පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙන අවස්ථාවක රට තුළ වෛරසය ව්‍යාප්ත වීම වැලැක්වීමට ගන්නා පියවර තුළ මහ මැතිවරණය කල් යෑමේ ඉඩක්ද නිර්මාණය වී තිබේ. එය තීරණය වනුයේ ඉදිරි දෙසතියක කාලය තුළ වෛරසය පාලනය කර ගැනීමට අප ගන්නා පියවර මතය. කෙසේ වුවත් මැතිවරණය කල් යාමක් සිදුවුව හොත් රටේ දේශපාලන අස්ථාරවත්වයක් නිර්මාණය වීමට ඉඩක් තිබේ. ආහාර ද්‍රව්‍යවල අතිරික්තයක් නිවෙස් වල ඇතිකර ගැනීමට ජනතාව පෙළඹීමත් සමඟ සමාජ අස්ථාවරත්වයක් නිර්මාණය වීමේ අවධානමක්ද මතුව ඇත. තවත් පැත්තකින් රජයට සුබ සාධන වියදම් වැඩි කිරීමට සිදුව තිබේ. සෞඛ්‍ය අංශ වලට සාමාන්‍යයෙන්  වෙන් කරන මුදල් ප්‍රමාණය සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ දැමීමට සිදුව ඇත. මේ සියල්ල වියදම්ය. ආදායම් තවත් අඩුවී වියදම් තවත් ඉහළ යෑම යනු ආර්ථිකයේ අර්බුදයක් මතුවන කාරණයකි. අද ශ්‍රී ලංකාව පත්වෙමින් තිබෙන්නේ එවැනි තත්ත්වයකටය. එවැනි අවස්ථාවක වෙනදාටත් වඩා වැඩි වගකීමකින් කටයුතු කිරීම රජයේ යුතුකමකි.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *