කොරෝනා පිටසක්වළින් ආ වෛරසයක්ද?

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර

කොරෝනා වෛරසයේ මූලාරම්භය කොතැනද? එය මිනිසාට බෝ වූයේ කවර සතෙකුගෙන්ද? පළමු ආසාදිතයා හමුවූයේ කවදාද, කුමන ප‍්‍රදේශයෙන්ද? – මේ දිනවල, මෙබඳු ප‍්‍රශ්න විද්‍යාඥයන් සහ පර්යේෂකයන් අතර පමණක් නොව, සාමාන්‍ය ජනතාව අතරද පුළුල් ලෙස කතාබහට ලක්වෙමින් තිබෙන්නේය. මෙම ප‍්‍රශ්න වැඩි හරියකට තවමත් හරිහැටි පැහැදිලි පිළිතුරු ලැබී නොමැති හෙයින්, ලෝ පුරා විවිධ දූෂමාන ආරංචි පැතිර යමින් තිබෙන්නේය.

නව සාර්ස් කොරෝනා වෛරසයේ සම්භවය ගැන එකඟතාවක් තවම නැත.

කෙසේ වුවද, දැනට බහුතරයකගේ පිළිගැනීම වී ඇත්තේ, චීනයේ හුබෙයි ප්‍රාන්තයේ අගනුවර වන වූහාන් නගරයේ පිහිටි මත්ස්‍ය වෙළඳපොළකින් මෙම වෛරසය පැතිරුණු බවය. මෙය, ඇතමෙකු විසින් වූහාන් වෛරසය ලෙසින්ද හඳුන්වන්නේ ඒ නිසාය. චීනයේ වාර්තා වූ පළමු කොවිඩ්-19 ආසාදිතයින් 41 දෙනෙකු පිළිබඳ කෙරුණු පරීක්‍ෂණවලින් හෙළිවී ඇත්තේ, ඒ අතරින් 27 දෙනෙකු පුද්ගලිකවම වූහාන් මත්ස්‍ය වෙළඳපොළේ සැරිසරා ඇති බවය. එහෙත්, වූහාන් නගරයෙන් වාර්තා වූ ප‍්‍රථම ආසාදිතයා එම වෙළඳපොළට නොගිය අයෙකු වීම කුතුහලයට හේතු වන්නේය.

වූහාන් සත්ව වෙළඳපොළෙහි දර්ශනයක්

කොරෝනා වර්ගයේ වෛරස සතුන් තුළ පැතිරෙන බව සත්ත්ව විද්‍යාඥයින් බොහෝ කලක සිට දැන සිටියද, නව කොරෝනා නැතහොත් කොවිඩ්-19 වෛරසයට සමාන යමක් මේ වන විට හඳුනාගෙන ඇත්තේ වවුලන් තුළය. ඒ අනුව, කොවිඩ්-19 වෛරසය වවුලන්ගෙන් කෙළින්ම මිනිසාට බෝවනු වෙනුවට, වෙනත් සතෙකු හරහා පැමිණියේ යැයි සැකයක් මතුව ඇත්තේය. වැඩි දෙනාගේ සැකයට ලක්ව ඇත්තේ කබල්ලෑවා වුවද, කබල්ලෑවා මැරීම සහ මස් විකිණීම ලෝ පුරා නීති විරෝධී ක‍්‍රියාවක් වන්නේය. වූහාන් මත්ස්‍ය වෙළඳපොළේ කබල්ලෑ මස් විකිණීමට තිබුණේදැයි ස්ථීරව කිව නොහැකි අතර, එහි දැන්වීම් පුවරුවේ කබල්ලෑ මස් මිල ගණන් සඳහන්ව නොතිබූ බව වාර්තා වන්නේය. මේ පිළිබඳ පරීක්‍ෂණ පවත්වන ඔස්ට්‍රෙිලියානු විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ, කොවිඩ්-19 වෛරසය මුලින්ම පැමිණියේ වවුලන්ගෙන් බවට බොහෝ දුරට අනුමාන හැකි වුවද, එය වවුලන්ගේ සිට මිනිසුන් කරා රැගෙන ඒමට අතරමැදියා වූයේ කවර සතෙකුද යන්න තවම කිසිවක් ප‍්‍රකාශ කළ නොහැකි බවය.

මේ අතර, ඇමෙරිකා එක්සත් ජනපදය පවසන්නේ කොවිඩ්-19 වෛරසය චීනය විසින් විද්‍යාගාරයක නිපදවන ලද්දක් බවය. එනම් වූහාන් වෛරස පර්යේෂණායතනය තුළ නිපද වූ එකක් බවය. ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙන්ම රාජ්‍ය ලේකම්වරයා විසින්ද, කිහිප වතාවක්ම මෙම චෝදනාව ඉදිරිපත් කළ අතර, ඒ බව ඔප්පු කිරීමට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සාක්‍ෂි තමන් සතුව තිබෙන බව රාජ්‍ය ලේකම්වරයා පවසා සිටියේය. ඊට පිළිතුරු සපයමින් චීන විදේශ ආමාත්‍යාංශයේ ප්‍රකාශිකා හුවා චුන්යින්ග් ප‍්‍රකාශ කර සිටියේ, මෙම චෝදනාව ඔප්පු කිරීමට සාක්‍ෂි තිබේනම් ඉදිරිපත් කරන ලෙස තම රජය ඇමෙරිකා එක්සත් ජනපදයට අභියෝග කරනා බවය. කොවිඩ්-19 වෛරසයේ ආරම්භය සහ පැතිරීම පිළිබඳ සත්‍ය කරුණු හෙළිකර ගැනීම විද්‍යාඥයින්ට සහ පර්යේෂකයින්ට බාරදී, දේශපාලනඥයින් මේ අවස්ථාවේ පැත්තකට වී සිටිය යුතු බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකාව තවදුරටත් අවධාරණය කරන්නීය. තවද, ඇමෙරිකාව විසින් චීනයට එරෙහිව නගන චෝදනාවලට අදාළ කිසිදු සාක්‍ෂියක් මෙතෙක් ඉදිරිපත් කොට නැති බව ලෝක සෞඛ්‍ය සංවිධානයද පවසන්නේය.
මේ අතරතුර, ඇවිලෙන ගින්නට පිදුරු දමන්නාක් මෙන්, ලාංකේය සම්භවයක් ඇති කීර්තිමත් විද්‍යාඥයෙකු වන, බකිංහැම් විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා මධ්‍යස්ථානයේ මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රමසිංහ අපූර්ව මතයක් ඉදිරිපත් කරන්නේය. මහාචාර්ය වික‍්‍රමසිංහයන්ගේ අදහසට අනුව, පසුගිය ඔක්තෝබරයේ චීන අහසට ඉහළින් පුපුරා ගිය උල්කාපාතයක තිබුණු වෛරස අංශු පොළවට පතිත වූයේය. 2019 ඔක්තෝබර් 11 දින මැදියම් රැයේ, චීනයේ ඊශාන දිග අහසට ඉහළින් ගිනිබෝලයකට සමාන ලෙස උල්කාපාතයක් පිපිරුණු අතර, ඉන් නිකුත්වුණු වෛරස අංශු පොළවට පතිත වූ බව මහාචාර්ය වික‍්‍රමසිංහගේ මතය වන්නේය. මෙහිලා වැදගත් වන්නේ, උල්කාපාතයෙන් විසිරුණු වෛරස අංශු ලෝ පුරා පැතිර ගොස් දරුණු වසංගතයක් ඇතිවිය හැකි බවට, මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රමසිංහ විසින් කල්තියාම (2019 නොවැම්බර් 25 දින) අනතුරු ඇඟවීමය.

මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ

2003දී සාර්ස් වෛරසය පැතිරුණු අවස්ථාවේදීද මෙබඳුම අදහසක් ඉදිරිපත් කළ මහාචාර්ය වික‍්‍රමසිංහ, තවත් බි‍්‍රතාන්‍ය තාරකා විද්‍යාඥයෙකු වන සර් ෆ්‍රෙඩ් හොයිල් සමඟ එක්ව 1970දී ”අභ්‍යවකාශයෙන් එන රෝගාබාධ” (Diseases from Space) නමින් ග‍්‍රන්ථයක්ද ප‍්‍රකාශයට පත්කොට ඇත්තේය. මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රමසිංහගේ අදහස අනුව, විවිධ ග්‍රහ ලෝක අතර වූ අවකාශය තුළ ඇති දූවිලි අංශුවලින් වැඩි හරියක් කාබනික (ජීවී) පදනමකින් යුක්ත වන අතර, විවිධ ක්‍ෂුද්‍ර ජීවී විශේෂ අඩංගු ග්‍රහ වස්තූ නිරන්තරයෙන් පෘථිවි වායුගෝලයට ඇතුළු වන්නේය. මානව ඉතිහාසය මීට පෙරද ඇතිවූ බොහෝ වසංගතවලට මෙම පිටසක්වළ ක්‍ෂුද්‍ර ජීවී විශේෂ හේතු වූ බව මහාචාර්ය වික‍්‍රමසිංහගේ මතය වන්නේය. එපමණක් නොව, පෘථිවිය තුළ ජීවය බිහිවූයේද පිටසක්වළින් පොළවට පැමිණි ජීවී ක්‍ෂුද්‍ර අංශු හේ්තුවෙන් බව මහාචාර්ය වික‍්‍රමසිංහගේ මතය වන්නේය.

පෘථිවියේ ජීවය බිහිවූයේ අභ්‍යවකාශයේ සිට පොළවට සංක‍්‍රමණය වූ බීජාණු (ක්‍ෂුද්‍ර ජීවීන්) මුල් කරගෙනය යන මතවාදය, ”පෑන්ස්පර්මියා න්‍යායය” (Panspermia Theory) නමින් හඳුන්වනු ලබන්නේය. එම මතවාදයට අනුව, සමස්ත විශ්වය පුරාම තැනින් තැන ජීවය පවතින අතර, උල්කාපාත, වල්ගාතරු, ධූමකේතූ වැනි විවිධ ග‍්‍රහවස්තූ මගින් ජීවය තැනින් තැනට ව්‍යාප්ත වන්නේය. එලෙස ජීවය පවතින විවිධ ග්‍රහ ලෝක අතර ඇතිවන දරුණු ගැටුම් හේතුවෙන් කැඞී බිඳී විසිරෙන කුඩා කැබලි (ග්‍රහ වස්තූන්) තුළ අඩංගු වන ක්‍ෂුද්‍ර ජීවී විශේෂ දීර්ඝ කාලයක් තිස්සේ අක‍්‍රියව එම වස්තුව තුළ පැවතිය හැකිය. අනතුරුව, එම ග්‍රහකය අහම්බෙන් මෙන් කිසියම් ග්‍රහ ලෝකයක පෘෂ්ඨයක් මත හෝ ඒ අවට ගෝලයේ ගැටීමෙන්, ඉහත කී ක්‍ෂුද්‍ර ජීවී විශේෂය ක‍්‍රියාකාරී තත්ත්වයට පත්විය හැකිය. ක්‍ෂුද්‍ර ජීවීයාගේ පැවැත්මට සුදුසු පරිසරයක් හා අදාළ අවශ්‍ය තත්ත්ව එම ග්‍රහ ලෝකයේ පවතින්නේ නම්, ඒ මත ජීවයේ පරිණාමය සිදුවිය හැකිය. විශ්වය තුළ ජීවයේ ආරම්භය සිදුවූයේ කවදාද, කෙසේද යන ගැටළුවට පෑන්ස්පර්මියා න්‍යායය පිළිතුරු ලබා නොදෙන අතර, එය විශ්වය තුළ ජීවය පැතිරෙන ආකාරය පිළිබඳ කල්පිතයක් පමණක් වන්නේය.

විශ්වය පුරා නිරතුරුව ජීවය සංසරණය වීම පිළිබඳ වූ මෙම මතවාදය මුලින්ම ඉදිරිපත් කළ බවට වාර්තා වන්නේ, ක‍්‍රි.පූ. 510-428 කාලය තුළ විසූ ග්‍රීක දාර්ශනිකයෙකු වන අනෙක්සාගෝරස් විසින්ය. ඔහුගෙන් පසුව, නොයෙකුත් විද්‍යාඥයන් විටින් විට මේ පිළිබඳව අදහස් දක්වා ඇත්තේය. 1953දී ඩී.එන්.ඒ අණුව සොයාගැනීමට මුල්වූ නොබෙල් ත්‍යාගලාභී බි‍්‍රතාන්‍ය ජාතික අණුක ජීව විද්‍යාඥ ෆ‍්‍රැන්සිස් ක‍්‍රීක් (1916-2004) විසින් පිටසක්වළ ජීවය පිළිබඳ තවත් විප්ලවීය මතයක් ඉදිරිපත් කොට ඇත්තේය. ජීව රසායන විද්‍යාඥයෙකු වන ලෙස්ලි ඕගල් සමඟ එක්ව, ෆ‍්‍රැන්සිස් ක‍්‍රීක් විසින් 1973දී ප‍්‍රකාශයට පත්කරන ලද නිබන්ධනයක මෙසේ සඳහන්ව ඇත්තේය. ” විටින් විට පතිත වන ග්‍රහවස්තු තුළ අඩංගු වූ ක්‍ෂුද්‍ර ජීවී විශේෂයක් හැටියට හෝ එසේත් නැතිනම් අභ්‍යවකාශයේ විකිරණශීලී පීඩනය හේතුකොටගෙන පෘථිවි ගෝලයට ඇතුළු වන බීජාණු හැටියට හෝ පෘථිවිය කරා ජීවය ළඟාවූයේය යන මතය බැහැර කරන්නට දැන් කාලය උදාවී ඇත. ඒ වෙනුවට, විශ්වයේ වෙනත් ග‍්‍රහලෝකයක වෙසෙන අපට වඩා බුද්ධිමත් ජීවී කොට්ඨාශයක් විසින් හිතාමතාම මෙම ක්‍ෂුද්‍ර ජීවීන් පොළවට එවන්නට ඇතැයි අනුමාන කළ හැකිය. මෙය, ”ඉලක්කගත පෑන්ස්පර්මියා” (Directed Panspermia) ලෙස හැඳින්වීමට අපි කැමැත්තෙමු. මහ පොළව මත ජීවය බිහිවූයේද මෙයාකාරයට බව අපගේ පිළිගැනීමයි. ඒ බව තහවුරු කිරීමට ප‍්‍රමාණවත් සාක්‍ෂි දැනට අප සතුව නැතත් අනාගතයේදී එවන් තොරතුරු ලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු.”

මේ අනුව බලනා විට, ෆ‍්‍රැන්සිස් ක‍්‍රීක් නමැති නොබෙල් ත්‍යාගලාභී බ්‍රිතාන්‍ය ජාතික විද්‍යාඥයා අනුමාන කරන්නේ, පිටසක්වළ ජීවත්වන බුද්ධිමත් ජීවී කොට්ඨාශයක් විසින්, අපේ පෘථිවිය පර්යේෂණාගාරයක් කරගෙන ඇති බවය. ඒ සඳහා, ඔවුන් විසින් හිතාමතා ක්‍ෂුද්‍ර ජීවීන් පොළවට එවන්නට ඇති බවය. අනෙක් අතට, මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ අනුමාන කරන්නේ, වත්මන් කොරෝනා වසංගතය මෙන්ම මීට පෙර ලොව පුරා පැතිරුණු සමහර වසංගතද පිටසක්වළින් පොළවට පතිත වූ ක්‍ෂුද්‍ර ජීවීන් නිසා හටගත් ඒවා බවය.
කෙසේ වුවද, ලෝ පුරා විද්‍යාඥයෝ විශාල පිරිසක් මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රමසිංහ මතවාදය සමඟ එකඟ නොවෙති. උදාහරණයක් ලෙස, ලන්ඩන් සරසවියේ වසංගත රෝග විද්‍යාඥ ඩොමිනික් ස්පාර්ක්ස්ක් පෙන්වා දෙන්නේ කොවිඩ්-19 නැතහොත් නව කොරෝනා වෛරසය, මීට කලින් හඳුනා ගත් සාර්ස්, මර්ස් වැනි වෛරස අයත් කොරෝනා කාණ්ඩයේම වෛරසයක් බවය. ඩොමිනික් ස්පාර්ක්ස්ක් තවදුරටත් පවසන්නේ සාර්ස් වෛරසය වවුලන්ගේ සිට බළල් විශේෂයක් හරහා මිනිසාට බෝවූ බවත්, මර්ස් වෛරසය ඔටුවන්ගෙන් මිනිසාට බෝවූ බවත් දැනට තහවුරු කරගෙන ඇති බවය. එමෙන්ම, නාසා ආයතනයේ තාරකා ජීව විද්‍යාාඥ ග්රැහැම් ලා ඕ අවධාරණය කරන්නේ, මෙබඳු සුවිශේෂී විද්‍යාත්මක කල්පිත ඉදිරිපත් කිරීමේදී සුවිශේෂී විද්‍යාත්මක සාක්‍ෂි ඉදිරිපත් කළයුතු බවය.
ඒ අනුව බලනා විට, බි‍්‍රතාන්‍ය ජාතික විද්‍යාඥ ෆ‍්‍රැන්සිස් ක‍්‍රීක් ප‍්‍රකාශ කළ පරිද්දෙන්, අනාගතයේ දිනෙක එවන් සාක්‍ෂි ලැබේදැයි අපි බලා සිටිමු. එතෙක්, නව කොරෝනා වෛරසයෙන් බේරීමට, සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදිමු.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *