කොරෝනා බිය මැද්දේ තවත් වෛරසයක් ගැන කියා ජනතාව බියවද්දන හනුමන්තලා

ගෝලීය වසංගතයක් වී ඇති නව කොරෝනා හෙවත් කොවිඩ්-19 වෛරසයට එරෙහිව මිහිතලයම සටන් වදින අතර හන්ටා (hanta) නමැති තවත් වෛරසයක් ආසාධනය වීමෙන් බස් රථයකදී චීන ජාතිකයෙකු මරණයට පත් වූ වග ඇතැම් වෙඩ් අඩවි සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමට ක්‍රියා කළ පුද්ගලයන් අද (24) දක්නට ලැබුණා. ජන ජීවිතය බරපතල ව්‍යසනයකට ලක්ව තිබියදී දැඩි මානසික වෙහෙසකර බවකින් හා වියවුලකින් ක්‍රියා කරන්නට සියලු දෙනාට සිදුව තිබෙන පසුබිමක මෙවැනි වෙබ් හා සමාජ මාධ්‍ය හනුමන්තලාගේ ක්‍රියාකාරීත්වය අවධානම තීව්ර කරයි. ඒ ජනමනස ව්‍යාකූල කරමිනි. සාධනීය ජනමාධ්‍යවේදය (Constructive Journalism) පිළිබඳ කිසිම අලගෙඩියක් නොදන්නා ඔවුන් ගැන අප්‍රසාදය පළ කරන අතර මාධ්‍ය වගකීම ප්‍රකට කරමින් හන්ටා වෛරසය ගැන සත්‍යය ලියා තැබීම යුතුකම බව www.ejournalist.lk අපගේ විශ්වාසයයි.

මොකක්ද මේ හන්ටා වෛරසය

hanta හෙවත් orthohanta වෛරසය නියුක්ලික් අම්ල වර්ගීකරණය අනුව RNA වෛරස ගණයට අයත් වේ. සාමාන්‍යයෙන් මේ වෛරසයේ ආසාධනයට ගොදුරු වන්නේ මීයන් වැනි කෘන්තක සතුන්ය. ආසාධනය වුවද ඔවුන් අතර බරපතල ව්‍යසනකාරී තත්ත්වයක් එම වෛරසය නිසා ඇති නොවේ. එසේ වුවත් මීයන් වැනි සතුන්  ආසාධිතව සිටියදී පිටකරන මූත්‍රා, කෙළ හෝ වෙනත් ස්‍රාව ශරීරගතවීම ඔස්සේ මිනිසා ආසාධනය කර මරණීය රෝග තත්ත්වයක් අත්කරදීමට මේ හන්ටා වෛරසයට පුලුවන. එහිදී තදබල උණ ඇතුලුව hantavirus pulmonary syndrome (HPS) ලෙස හඳුන්වන බරපතල පෙනහලු ආසාධනයට රෝගියා ගොදුරු වේ. මූලිකව මේ වෛරසය ව්‍යාප්ත වන්නේ මිනිසුන් කෘන්තක සතුන් සහ පවත්වන සම්බන්ධය නිසා ය. එහෙත් 2005 සහ 2019 වසරවලදී හන්ටා වෛරස කාණ්ඩයට අයත් අන්දීස් වෛරසය මිනිසාගෙන් මිනිසාට සංසරණය වී ඇති බව දකුණු ඇමරිකාවෙන් වාර්තා විය. 1970 ගණන්වලදී දකුණු කොරියාවේ හැන්ටන් නදිය ආශ්‍රිතව මුලින්ම මෙම වෛරසය ආසාධනය වූ රෝගීන් සොයාගැනීම නිසා එනමින් හඳුන්වනු ලැබේ.

හන්ටා වෛරසය – ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන්

කොහොමද ගැලවෙන්නෙ?

අලුත් වෛරසයක් නොවන වසර 2000ක පමණ ඉතිහාසයක් ඇති මේ වෛරසයෙන් ගැලවීම ගැන කොරෝනා උවදුර මැද්දේ කල්පනා කළ යුතු නැත. චීනයට මෙය අලුත් දෙයක් නොවේ. ලොව වැඩිම ජනගහණය ඇති එරට මෙවැනි උවදුරු වාර්ෂිකව වාර්තා වේ. කොරෝනා බිය නිසා ඇතැම් වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය නුවුවමනා ලෙස කලබල වී කටයුතු කරද්දී හන්ටා වෛරසය ඇතැම් රටවලට සාමාන්‍ය තත්ත්වයකි. එබැවින් අප කල්පනා කළ යුත්තේ කොවිඩ් 19 වෛරසයට බැට දෙන අන්දම පිළිබඳවයි. මේ වෛරසයට ගොදුරුවන රෝගීන් වාර්තාවන රටවල් උපදෙස් දෙන්නේ, මූලික ගැලවීමේ මාර්ගය ලෙස මීයන් වැනි කෘන්තක සතුන් ඇසුරෙන් ඈත්ව සිටින ලෙසයි. උන්ටද වෛරසය ආසාධනය වී තිබුණොත් මිස අපට ලෙඩක් හැදෙන්නේ නැත. ගෙදර පූසෙක් ඇති කිරීමත් මේ වෛරසය නිවාරණයට මී කතුරු භාවිතය තරම්ම අගනා විසඳුමකි. එහෙත් කෘන්තකයින් යනු මීයන්ම පමණක් නොවේ. කාමර උෂ්ණත්වයේ දවසක් දෙකක් රැකෙන මේ වෛරසය ඉක්මනින් මරා දැමීමට හිරු එළියට පුලුවන. දැනට මේ වෛරසයට ප්‍රතිශක්තිකරණ වැක්සීන පර්යේෂණ මට්ටමේ පවතින අතර ඒවා වෙනුවෙන් හදිසිවීමට වුවමනාවක් දැන්ම නැත. නිශ්චිත බෙහෙතක් නැතත් රෝග ලක්ෂණ අනුව ප්‍රතිකාර කර මේ වෛරසය ආසාධනය වූ රෝගීන් බේරා ගන්නටද පුලුවන. චීනය, හොංකොං, කොරියාව හා රුසියාව හැර ආසියාවේ වෙනත් රටකින් හන්ටා වෛරස මරණ හෝ ආසාධන මෙතෙක් වාර්තා වී නොමැත.

මීයන්, ලේනුන් වැනි කෘන්තකයින්ගෙන් බෝ වෙයි. එහෙත් මේ දවස්වල සිතිය යුත්තේ කොරෝනා ගැන ය.

අද හන්ටා වෛරස මරණය පුවතක් වුණේ ඇයි?

චීනය මේ දවස්වල කොරෝනා මරණ ගැන උනන්දුය. හුස්ම හිරවී කොරෝනා හා සමාන ලක්ෂණ ඇතිව පුද්ගලයෙකු මරණයට පත්වූ විට චීනයට වුවමනා වූයේ එය කොරෝනා මරණයක්දැයි තහවුරු කර ගැනීමයි. එසේ නොවූ විට චීනය වාර්තා කළේ මෙය කොරෝනා නොවන හන්ටා වෛරසයට ගොදුරු වූවෙකුගේ මරණයක් ලෙසයි. එය මේ මොහොතේ චීනයේ අවශ්‍යතාවයයි. ඒ චීන පුවත දුටු විගස රීච් වැඩිකර ගැනීමට යත්න දරමින් ඉවක් බවක් නැතිව එය බෙදාහරින්නට වළි කෑ හනුමන්තලා පෙන්වා දුන්නේ තොරතුරු සංසරණයේ මේ මොහොතේ අප මුහුණ දෙන ඛේදවාචකයයි.

ලසන්ත ද සිල්වා.  

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *