කොරෝනා වැනසූ ආර්ථිකය හදන්නේ කොහොමද?

ශ්‍රී ලංකා මහබැංකුවේ පුරෝකතනයන්ට අනුව කොරෝනා ව්‍යසනය හේතුවෙන් රටේ ආර්ථීන වර්ධන වේගය මෙම වසරේ පළමු කාර්තුවේ සෘණ අගයක් ගැනීමට හැකියාවක් පවතියි. අනෙත් අතට විදේශ විනිමය රට තුළට ගෙනෙන ව්‍යාපාර ඇනහිටීම හේතුවෙන් ඩොලරයේ අගය රුපියල් 200ද පසුකර ඇත. රටේ කර්මාන්ත අංශය, සේවා අංශය මෙන්ම කෘෂිකාර්මික අංශයද ඉතා දැඩි බිඳවැටීමකට ලක්ව තිබේ. එවැනි සංදර්භයක් තුළ කොරෝනා වෛරසයෙන් බිදවැටෙන ශ්‍රී ලංකා ආර්ථීකය උත්තේජනය කිරීම සදහා රාජ්‍ය මැදිහත් වීම කළ යුත්තේ කෙසේද? ඒ කුමන ආකාරයෙන් ද? යන්න පිළිබඳව මෙම ලිපියෙන් මූලිකව අවධානය යොමු කෙරේ.

මහාචාර්ය මාලක රණතිලක

පවත්නා තත්ත්වය තුළ රජය විසින් දේශීය ආහාර ස්වයංපෝෂිත බව රැකගැනීම සහ ආහාර අර්බුධයකට විසඳුම් ලෙස ගෙවතු වගාව සහ කෘෂිකාර්මික කටයුතු දිරිමත් කිරීම සදහා යොජනා ඉදිරිපත් කර ඇත. මෙය ඉතා වැදගත් යෝජනාවක් වන අතර සයිමන් කුස්නේට් වැනි විද්වතුන් ඉදිරිපත් කර ඇති ආර්ථීක විද්‍යා න්‍යායන්ට අනුව රටක සංවර්ධන මගෙහි කෙටිකාලීන කම්පනයන්ගෙන් ආරක්ෂා වීමට නිරන්තරව ආහාර සැපයීමටත්, දේශීය ළදරු කර්මාන්ත සදහා අවශ්‍ය යෙදවුම් සැපයිමටත්, දේශීය කර්මාන්තයේ මුල් නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ සැපයීමටත්, රටේ ආර්ථීක ක්‍රියාවලියට අවශ්‍ය අනිවාර්ය භාණ්ඩ ආනයනය සදහා අවශ්‍ය විදේශ විනිමය උපයා දීමටත් මේ මගින් හැකි වේ.

නමුත් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය වර්ධනය කිරීම  මගින් ප්‍රමාණවත් ආර්ථීක ජවයක් ලබාගැනීම ප්‍රශ්නකාරී වේ. මන්ද යත් රටේ භූමිය සාපේක්ෂව කුඩා වීම හේතුවෙන් මෙම අංශයට සාපේක්ෂ වාසි අත්කරගැනීම අපහසු වීමයි. එසේම භාවිත කරන යෙදවුම්, තාක්ෂණය, යන්ත්‍රසූත්‍ර, සේවක වැටුප් ආදි සාධක සදහා පිරිවැය ඉහළ ප්‍රවනතාවක් පැවතීම හේතුවෙන් ද සාපේක්ෂ වාසිය අහිමි වේ. අනෙත් අතට රටෙහි නිෂ්පාදනය කරන සුවිශේෂිත අපනයන කෘෂීකාර්මික භාණ්ඩ (තේ, පොල්, රබර්, සුලූ අපනයන භෝග ආදි) පරිමාව වර්ධනය කිරීමේ සීමාද නිෂ්පාදන පිරිවැය ඉහළ යාමේ ප්‍රවනතා ද පවතියි. දේශීය කෘෂිකාර්මික වර්ධනයේ ප්‍රතිඵලයන් ලෙස ආනයනික ආහාර යම් ප්‍රමාණයකින් අවම කරගත හැකි වේ. නමුත් සමස්ත ආනයන වියදමින් ආහාර ආනයන වියදම සියයට 20කට ආසන්න අගයක් පමණි. මින් කොපමණ ප්‍රමාණයක් දේශියව නිෂ්පාදනය කළ හැකි ද? ඒ කුමන නිෂ්පාදන ද? ඒ අතර ඇති පරිප්පු, කිරිපිටි තිරිඟු පිටි, සීනි ආදි ආහාර වර්ග ආනයනය කිරීම නැවැත්වීම හෝ අවම කිරීම කළ හැකි ද? මින් අර්ථවක් වන කරුණ නම් දේශීය කාෂිකර්මාන්තය වර්ධනය තුළින් හෝ එය මූලික කරගත් ක්‍රියාවලියක් තුළින් කෙටි කාලයකින් ආර්ථීක වර්ධනයක් අත් කරගැනීම “පහසු කරුණක්” නොවේ යන්නයි.

ශ්‍රී ලංකාවේ වර්ථමාන ආනයන වියදම ඇමරිකානු ඩොලර් බිලියන 20කට මදක් වැඩි වේ. මෙම වියදමේහි විශාල කොටස ඉන්ධන, බලශක්ති, සිමෙන්ති, පොහොර, ඇඟලූම් අංශයට අවශ්‍ය යෙදවුම්, ඛෙහෙත් ආදී ආර්ථීක වර්ධන ක්‍රියාවලියට ඉතා සංවේදී අන්තර් භාණ්ඩවලින් යුක්ත වේ. මෙම වියදමට අමතරව වාර්ෂිකව ඩොලර් බිලියන ගණනක ණය වාරික සහ පොලි විදේශ රටවලට සහ ආයතන වලට ගෙවිය යුතුය. මේ සදහා දේශීය අපනයන ආදායම් ඉහළ නංවාගැනීම අනිවාර්ය කොන්දේසියකි. ඒ අනුව කෘෂිකාර්මික අංශයෙන් බැහැර වූ නව අපනයන මානයන් හදුනාගත යුතු අතරම පවතින මානයන් වඩා ශක්තිමත් කළ යුතුව ඇත.

මේ සදහා රාජ්‍ය මැදිහත් වීම කළ යුත්තේ කෙසේද? ඒ කුමන ආකාරයෙන් ද? යන්නද මෙම ලිපියෙන් සොයා බැලේ. දෙවන ලෝක යුද්ධයෙන් පසු රාජ්‍ය මැදිගත් වීම පිළිබද කෙන්සියානු මතය නම් රාජ්‍ය වියදම් ඉහළ නැංවීම තුළින් ආර්ථීක ක්‍රියාවලියට මැදිහත් වීමයි. නමුත් මෙම ක්‍රියාවලියේ අනිසි ප්‍රතිඵල නම්, රාජ්‍ය වියදම් ඉහළ යාමේදී එක් අතකින් පොළි අනුපාත ඉහළ යාම, බදු අනුපාත ඉහළ යාම, පෞද්ගලික ආයෝජන අඩුවීම, ආර්ථීකයට උද්ධමනකාරී බලපෑම් එල්ල වීම යනාදිය යි. මේ සදහා විසඳුම් ලෙස නුතන මුල්‍ය න්‍යාය (Modern Monetary Theory) යෝජනා කරනු ලබන්නේ රාජ්‍ය මධ්‍ය බැංකුව මගින් පොලී අනුපාතය බිංදුවට සමාන හෝ ආසන්න කිරීම සහ රාජ්‍ය අලුතින් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම යි.

මෙම ක්‍රියාවලියට එරෙහිව ඇති න්‍යායාත්මක තර්කය නම් උද්ධමනය ඉහළ යාම සහ සේවා වියුක්තිය ඉහළ යාමයි. ඒ අනුව රජයට උද්ධමනය පාලනය කිරීම මෙන්ම සේවා නියුක්තිය ආරක්ෂා කිරීම යන කරුණු දෙක සඳහා ද එකවිට මැදිහත් වීමට සිදු වේ. නමුත්  උද්ධමනය පාලනය සදහා සෘජු බදු අය කිරීම නිසා පෞද්ගලික ආයෝජන පහළ යයි. අනෙක් අතට බදු අඩු කිරීම නිසා රාජ්‍ය ආදායම පහළ ගොස් එහි ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය වියදම පහළ යයි. මෙම ක්‍රියාවලි දෙකම අර්ථීක වර්ධනය සංකෝචනය කරයි. එය එසේ වුවත් සෘජු බදු සහ ලාභ මත අයකරන බදු අඩුකර එයට විකල්පයක් ලෙස වත්කම් සදහා බදු අයකිරීමත් රාජ්‍ය වියදම් පියවීම සදහා නව මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමත් යෝජනා වේ. බදු අඩු කිරීම හේතුවෙන් පෞද්ගලික ආයෝජන ඉහළ යන අතර පොලී අනුපාත පහළ යාම මගින් ඒ සදහා නව ජවයක් මෙම අංශයට ලබාදිය හැකි ය. උදාහරණයක් ලෙස 2008 ලෝක ආර්ථීක අවපාතයේ දී ඇමරිකානු මධ්‍ය බැංකුව ඩොලර් ට්‍රිලියනයක අලූත් මුදලක් ආර්ථීකයට මුදාහළ අතර පොලී අනුපාත පහළ මට්ටමක පවත්වාගෙන යනු ලැබීය. දේශීය නිෂ්පාදනය මුදල් සැපයුම ඉක්මවා නොයයි නම් උද්ධමනයක් ඇති නොවේ. රජයට තනිවම පූර්ණ සේවා නියුක්තිය දක්වා ආර්ථීකය මෙහෙය විය නොහැක. ඒ සදහා පොලී අනුපාත පහළ දැමීම සහ බදු අනුපාත පහළ තබා ගනිමින් පෞද්ගලික අංශය දිරිමත් කළ යුතුය. මෙම අවස්ථාවේ දී රජය විශේෂයෙන්ම සමාජ ආරක්ෂණ සේවා වන අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය, ආරක්ෂාව, නාගරික සහ ග්‍රාමීය යටිතල පහසුකම් ආදී සේවා ලබාදෙමින් සේවා නියුක්තිය ආරක්ෂා කිරිම අවශ්‍ය වේ. උදාහරණයක් ලෙස 2002 වර්ෂයේ දී ආජන්ටීනාවේ පැවති ආර්ථීක අවපාතය මගහැරීමේ පියවරක් ලෙස සේවා නියුක්තිය ඉහළ නැංවූ අතර එහිදී ග්‍රාමීය පාසල්, රෝහල්, යටිතල පහසුකම්, ප්‍රජා සේවා වැනි අංශ සදහා සේවා නියුක්තිය ඉහළ නංවමින් මුදල් සැපයුම ඉහළ නංවන ලදී. 1933 වර්ෂයේදී එවකට ඇමරිකානු ජනාධිපති ප්‍රැන්ක්ලීන් රූස්ට්වෙල් New Deal ප්‍රතිපත්තිය යටතේ පාසල්, රෝහල්, මහාමාර්ග, පාලම් ආදි ඉදිකිරීම් සහ නඩත්තු කිරීම් අංශයේ නව රුකියා උත්පාදනය කරමින් ආර්ථීකයේ මුදල් සැපයුම ඉහළ නංවන ලදී. රාජ්‍ය අයවැය පරතරය ඉහළ යාම ගැටලූවක් වන්නේ එය පියවීමට විදේශීය ණය ලබා ගැනීම සහ මුදල් සැපයුමට සාපේක්ෂව නිෂ්පාදනය වර්ධනය නොවන තත්වයක් පවතීනම් පමණි. ජපානයේ දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස අයවැය පරතරයේ හිඟය සියයට 240කි. නමුත් උද්ධමන අනුපාතය සියයට සෘණ 0.29 කි. රාජ්‍ය ආදායමේ අඩුව දේශීය මාර්ගවලින් කළමනාකරණය කරන අතර පොලී අනුපාතය බිංදුවට ආසන්නයේ තබා ගනිමින් පෞද්ගලික ආයොජන දිගින් දිගටම ප්‍රසාරණය කරනු ලබයි. මෙයට සමානව ස්වීඩනය, ඩෙන්මාර්කය, ස්විස්ටර්ලන්තය, ආදී රටවල් සෘණ පොලී අනුපාතයක් පවත්වාගනිමින් පෞද්ගලික ආයෝජන ප්‍රවර්ධනය කරමින් සම්පත් පූර්ණ සේවා නියුක්ති මට්ටමක පවත්වාගෙන යනු ලබයි.

රටක් සතු සම්පත් පූර්ණ සේවා නියුක්තිය ආසන්නයට පත් කර දළ දේශීය නිෂ්පාදනය මුදල් සැපයුමට ආසන්න නොකිරීම හේතුවෙන් අධි උද්ධමනයකට මුහුණ දුන් මෑත කාලීන උදාහරණය සිම්බාබ්වේ රාජ්‍යයයි (1990 සිට 2000 දක්වා කාලය). සිම්බාබ්වේ නිදහස ලබාගැනීමෙන් පසු ඇති කරන ලද ඉඩම් ප්‍රතිසංස්කරණයේදී යුද්ධයට ගිය සොල්දාදුවන්ට සාරවත් වතු කොටස් කර ඛෙදා හරිනු ලැබීය. ඔවුන් දක්ෂ වගාකරුවන් නොවීම හේතුවෙන් රටේ ආහාර නිෂ්පාදන සියයට 60කින් සහ අනෙකුත් නිෂ්පාදන සීඝ්‍ර ලෙස පහළ යාම හේතුකොට අධි උද්ධමනය ඇති වීමෙන් ඩොලර් ට්‍රිලියනයේ නෝට්ටු මුද්‍රණය කිරීමට එරට රජයට සිදු විය. එසේම පළමුවන ලෝක යුද්ධයෙන් පසු ජර්මනියේ නිෂ්පාදන ධාරිතාව බිඳවැටී ඇති අවස්ථාවේ රජය විසින් හිඟ බිල් ගෙවීම සදහා මුදල් සැපයීමෙන් එරට අධි උද්ධමනයක් ඇති විය. මින් ගම්‍යවන කරුණ නම් ආර්ථීකයක මුදල් සැපයුම එහි නිෂ්පාදනයට සමපාත විය යුතුය යන්න යි. ජාතික නිෂ්පාදනය මුදල් සැපයුම සමඟ සමපාත නොවේ යන පූර්ව උපකල්පනයේ සිට ලෝකයේ බොහෝ රටවල් දැඩි මුදල් පාලන රෙගුලාසි පවත්වාගෙන යයි. නමුත් ගැටලූව නම් රජය විසින් භාවිත නොකළ සම්පත් (ශ්‍රමය ඇතුලූ) පූර්ණ සේවා නියුක්තිය දක්වා සේවා නියුක්ත නොකරන්නේ ඇයි ද? යන්න යි. යුරෝපීය හවුලෙහි සීමාව වන අයවැය පරතරය සියයට 3ත් 8ත් අතර පවත්වාගනිමින් ඉතාලිය අයර්ලන්තය ග්‍රීසිය සහ ස්පාඤ්ඤය ආදි රටවල් පූර්ණ සේවා නියුක්තියට ලගා නොවෙමින් ආර්ථීක දුෂ්කරතාවලට මෑතකාලයේදී මැදීවී සිටිම දැඩි විවේචනයට භාජනය වෙමින් තිබේ. පූර්ණ සේවා වියුක්තිය රජයට තනිවම කළ නොහැකි අතර මුදල් සැපයුම වැඩි කිරීම, පොලි අනුපාත සහ බදු අනුපාතය පහළ හෙලීම තුළින් නව ව්‍යාපාර බිහි කිරීමට පෞද්ගලික ආයෝජකයන් උත්තේජනය කළ හැක. විශේෂයෙන්ම ස්වයංසේවා නියුකිත්කයන් සහ නව රැකියා බිහි කරන නව නිර්මාණවලින් යුත් කුඩා සහ මධ්‍යම කර්මාන්ත මේ අතර ප්‍රධාන වේ.

කොරෝනා වෛරසය සමග ඇති වී තිඛෙන විවිධ බාධක වලට මුහුණ දීම සදහා රාජ්‍ය සහ පෞද්ගලික නිර්මාණ කරුවන් නව නිපැයුම් අති විශාල වශයෙන් බිහි කරමින් සිටියි. මින් ඇතැම් නිෂ්පාදන දේශිය අවශ්‍යතාව පිරිමැසීම සඳහාත් ඇතැම් නිෂ්පාදන යම් දිනයක නව ආරකින් සහ වැඩි දියුණු කිරීමකින් පසු ලෝක වෙළෙදපොළ ජය ගැනීම සදහාත් යෝග්‍ය ඒවා වේ. අප දේශීය වෙළෙදපොළ කුඩා වීම හේතුවෙන් බොහෝ නිෂ්පාදන දේශීය සහ ජාත්‍යන්තර වෙළෙදපොළ අභිමුඛව සිදුකිරීම වඩාත් කාලෝචිත ය. එය දේශීය අපනයන ආදායම් වර්ධනය කර ගෙවුම් ශේෂය අවම කරගැනීමටත්, ඒ තුළින් රුපියලේ අගය ආරක්ෂා කරගැනීමටත්, දළ දේශීය අනුපාතය වර්ධනය කරගැනීමටත් මේ මොහෙතේ ඇති යෝග්‍යම මාවත වනු ඇත. නමුත් පෞද්ගලික ආයෝජන වර්ධනය කිරීම සදහා මුදල් සැපයුම ඉහළ නැංවීමට, පොලී අනුපාත සහ බදු අනුපාත පහළ හෙලීමට රජය ගන්නා ප්‍රතිපත්ති තීරණ මතත්, කුමන නිමැවුම නිෂ්පාදනය කිරීමට තෝරාගන්නවාද යන්න මතත්, එය තීරණය වේ. නමුත් මෙම ක්‍රියාවලිය විශේෂ වූ සංරෝධනයන්ගෙන් අනූන වේ. ඒවා නම්, මෙම ක්‍රියාවලියේ දී දේශපාලන අභිනතය, ප්‍රමාණවත් දේශපාලන විනයක් නොපැවතීම, දේශපාලනික වශයෙන් ප්‍රායෝගික නොවීම, උසස් මට්ටමේ බදු ප්‍රතිපත්තියක් නොමැති වීම, විදේශ ණය අනුපාතය ඉහළ මට්ටමක පැවතීම, පෞද්ගලික අංශය රජයෙන් ලබා දෙන වාසි නිෂ්පාදන ක්‍රියාවලියට ආයෝජනය කිරීම වෙනුවට විදේශ මුදල් රත්‍රන් වැනි ආයෝජන සදහා යෙදවීම වැනි සාධක ඉහත දක්වන ලද මුදල් සැපයුම වැඩි කිරීම, පොලි අනුපාත සහ බදු අනුපාත පහළ හෙලීම යන නව මුල්‍යවාදීන්ගේ යෝජනාවේ වැදගත්කම සීමා කරනු ඇත. නමුත් රටේ පවතින අර්බුධකාරී තත්ත්වය තුළ වර්තමාන ජනාධිපතිවරයාගේ නිවැරදි ක්‍රියා පිළිවෙත අනුවත් (සුදුසු පුද්ගලයන්ට අදාළ තිරණ ගැනීමට ඉඩ දී ඒවා සමාලෝචනය කර බල ගැන්වීම පමණක් සිදුකිරීම), අගමැති සහ ඇමති මණ්ඩලය ප්‍රතිපත්ති සම්පාදනය සහ පොදු මුදල් පාලනය සදහා වැඩි අවධානයක් යොමු කිරීම (දේශපාලන කතා වෙනුවට ව්‍යාවස්ථාවෙන් හිමිව ඇති රාජකාරිය පමණක් වගකීමෙන් ඉටු කිරීම) නිසාත් රජයේ අනාගත දේශපාලන විනය සහ තීරණ පිළිබදව විශාල බලාපොරොත්තුවත් තැබිය හැක. (මෙය අනෙකුත් ජනතා නියෝජිතයන් තේරුම් ගත යුතු අතර රටේ ජනතා මනස එවැනි ජනතා නියෝජිතයන් වෙත ආකර්ශණය වෙමින් පවතියි). දැන් ඒ සදහා අවශ්‍ය අනෙත් කොටස නම්, රටට ආදරය කරන නව නිර්මාන වලින් අනූන ආයෝජක හා නිෂ්පාදක පන්තියක් වැඩි දියුණු කිරීම සහ හදුනාගත යුතු වීමයි.

මහාචාර්ය මාලක රණතිලක, ආර්ථීක විද්‍යා සහ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව, පේරාදෙණිය විශ්ව විද්‍යාලය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *