කොවිඩ් ආසාදිත සභාපති රැස්වීම් හා උත්සවවල

නිරෝධායන උපදෙස් වලට පටහැනිව කටයුතු කළ  ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාට එරෙහිව නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර නීති මගින් කටයුතු කරන බව තලවාකැලේ ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජනත් අබේගුණවර්ධන මහතා පවසයි.

සභාපතිවරයාට කොවිඩ් -19 වෛරසය ආසාදනයවී තිබෙන බව පරික්ෂණ මගින් තහවුරුවූ බවත් පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කිරීමෙන් පසු ස්වයං නිරෝධායනයට යොමුකර සිටි සභාපතිවරයා එම උපදෙස් නොතකමින් ජනහමු කිහිපයකට සහභාගි වී තිබෙන බවත් සෞඛ්‍ය අංශ පවසයි.

සභාපතිවරයා පදිංචි ආගරපතන ඇල්බියන් කෝන්ෆිල්ඩ් වතුයායේ දී ඉකුත් (16) දින සෞඛ්‍ය අංශ විසින් සභාපතිවරයාට පි.සි.ආර් පරීක්ෂණයක් සිදුකර ඔහු ඇතුළු පවුලේ සමාජිකයින් ස්වයං නිරෝධායනයට යොමුකර ඇත. නිරෝධායන උපදෙස් වලට පටහැනිව සභාපතිවරයා පසුගිය (16) සහ (19) යන දිනවල ප්‍රභූවරුන් රැසක් සහභාගි වු රැස්විම් කිහිපයකට සහභාගි වී තිබෙන බව පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.නුවරඑළිය,තලවාකැලේ ලිදුල,කොටගල,ආගරපතන,නොර්වුඩ්,මස්කෙළිය,අඹගමුව යන නගර සභා හා ප්‍රාදේශිය වල නගරාධිපතිවරු,සභාපතිවරු,නාගරික හා ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරු ගණනාවක් මෙම රැස්වීම් වලට සහභාගි වී තිබෙන බවට තොරතුරු ලැබී තිබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

අදාළ සභාපතිවරයා යළිත් පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කරන බව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරී ගුණවර්ධන මහතා කීය.

ආසාදිත සභාපතිවරයාගේ ආසන්නතම ආශ්‍රිතයින් ස්වයං  නිරෝධායනයට යොමු කිරිමට කටයුතු කරන බවද තලවාකැලේ ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජනත් අබේගුණවර්ධන මහතා පවසයි.

 

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *