කොවිඩ් නැවෙන් අවදානමක් නෑ – යුධ හමුදාපති

කොළඹ වරායට පැමිණ මේවන විට ත්‍රිකුණාමළය වරායේ නැංගුරම් ලා තිබෙන තෙල් නැවේ කාර්ය මණ්ඩලයේ 17 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාධනය වී තිබෙන බව තහවුරු වීමෙන් පසු මේවන විට එම පිරිසකට අමතරව තවත් 34 දෙනෙකු නිරෝධායනයට ලක්කර තිබෙන බවත් වෛරසය මොවුන් ගෙන් සමාජගත වීම වැලැක්වීමට අවශ්‍යය සියලු පියවර ගෙන තිබෙන බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මෙම තෙල් නැවට කොළඹ වරායට පැමිණි අවස්ථාවේ රාජකාරි කටයුතු සඳහා ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකු නැවට ඇතුළු වී තිබෙන බවත් ඔවුන් හා ඔවුන්ගේ පවුල් වල උදවිය මෙලෙස නිරෝධායනයට යොමුකර සිටින බවත් ඒ මහතා කීය.
එළඹෙන ඔක්තෝම්බර් මස 10 දිනට යෙදෙන ශ්‍රී ලංකා යුද හමුදාවේ 71 සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී දළදා මාලිගාවේදී (28) පැවැති ආගමික වැඩසටහන් වලට සහභාගි වීමට පැමිණි යුද හමුදාපතිවරයා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේබව ප්‍රකාශ කළේය.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝම්බර් 10 දින ගාලු මුවදොරදී යුද හමුදාවේ 71 වන සැමරුම් උත්සවය පැවැත්වෙන බවත් ඊට ප්‍රථම ආගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා කීය.
තිස්වරසක යුද්ධය නිමා කිරීමේදී රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුන්ට පිං අනුමෝදන් කිරීමත් ඉන් තුවාල ලත් 23000 ක් පමණ වන රණවිරුවන්ට ඉක්මන් සුවපතා ආශිර්වාද පැතීමත් දැනට සේවයේ නියුක්තව සිටින රණවිරුවන්ට දළදා වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීමේත් අරමුණින් ශ්‍රී දළදා මාලිගාවේදී ආගමික වතාවත් සිදුකර යුද හමුදාවේ සියලු රෙජිමේන්තු වලට අයත් ධජ වලට දළදා වහන්සේ ඉදිරියේ සෙත් පැතීමත් සිදුකරන බව හෙතෙම අවධාරණය කළේය.
රටට උවදුරක් එල්ලවූ සෑම අවස්ථාවකම යුද හමුදාව රට වෙනුවෙන් සිය කාර්යභාරය නොඅඩුව ඉටුකර තිබෙන බවත් තිස්වසරක යුද්ධය,සුනාමිය,පාස්කු ප්‍රහාරය හා කොවිඩ් වසංගත තත්ත්වය ඊට උදාහරණ බවත් ෂවේන්ද්‍ර සිල්වා මහතා කීය.

කොවිඩ් වෛරස් ආසාධිතයෙකු සමාජයෙන් මතුවූ මාර්තු 11 සිට දින පනහක කාලයකදී වෛරසය සම්පූර්ණයෙන්ම සාමජයෙන් ඉවත් කිරීමට හැකියාව ලැබුණු බවත් මේ සඳහා සෞඛ්‍ය අංශ,ආරක්ෂක අංශ පමණක් නොව ජනතාවද විශාල කැපවීමක් කළ බවත් ඒ මහතා පැවසුවේය.
ජනපති හා අගමැති ප්‍රමුඛ වත්මන් රජය උපාධිධාරීන් 50000 කට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ එම පිරිසට යුද හමුදාව තුළ පුහුණුව ලබාදෙන බවත් එහි පළමු කණ්ඩායමේ පුහුණුව අවසන් අදියරේ තිබෙන බවත් යුද හමුදාපතිවරයා කීය.
ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ තෙල් නැව මඩකළපුවට එහායින් කිලෝ මීටර 70 ක දුරින් නවතා තිබෙන බවත් ගින්න නිවා දැමීම ඇතුළු සේවාවන් සැපයීම වෙනුවෙන් රජයට එහි හිමිකරුවන් මුදල් ලබාදීමට නියමිත බවත් හෙතෙම පැවසුවේය.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *