කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්තිය එළියට බස් ගාස්තු ඉහළට

කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්තියක් ඉදිරියේදී එළිදක්වන බව වාහන නියාමන, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.

අදාල ප්‍රතිපත්තිය මේවන විට අමාත්‍යාංශ නිලධාරීන් විසින් සකස් කරමින් තිබෙන බවද ඒ මහතා කීය.

අඩු ආදායම් ලාභී පවුල්වල සමාජිකයින්ට රැකියා ලබාදීමේ වැඩසටහන යටතේ මහනුවර හින්දු සංස්කෘතික ශාලාවේදී අද (27) පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමුණුගම මහතා මේ බව ප්‍රකාශ කළේය.

නිශ්චිත ඖෂධයක් සොයා ගන්නා තෙක් කොවිඩ් වෛරස් තත්ත්වය අඩුවැඩි වෙමින් පවතින බවත් මේ නිසා කොවිඩ් තත්ත්වයක් ප්‍රකාශයට පත්කළ අවස්ථාවේ ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම කෙරෙහි අවධානය යොමුවූ බවත් හෙතෙම අවධාරණය කළේය.

කොවිඩ් තත්ත්වයක් ප්‍රකාශයට පත්කළ විට බස් රථවල මගීන් ප්‍රවාහනය කිරීම මීටරයක පරතරයකින් සිදුකළ යුතුව තිබෙන බවත් මේ නිසා බස් රථවල දෛනික ආදායම විශාල ලෙස පහත වැටෙන බවත් කී ඒ මහතා කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්තිය තුළින් ඊට විසඳුම් ලබාදීමට අපේක්ෂා කරන බවද ප්‍රකාශ කළේය.

මෙම ප්‍රතිපත්තිය මගින් කොවිඩ් තත්ත්වයක් ප්‍රකාශ කළවිට බස් ගාස්තු ඉහළ දැමීමක් සිදුවන බවත් එම තත්ත්වය ඉවත් කළ පසු සාමාන්‍ය ප්‍රවාහන ගාස්තු ක්‍රමය ක්‍රියාත්මක වන බවත් ඇමැතිවරයා පැවසුවේය.

යම් ප්‍රදේශයක කොවිඩ් තත්ත්වයක් ප්‍රකාශ කළ විට එම ප්‍රදේශය තුළ කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන බව දැනුම් දෙන බවත් එවිට එම ප්‍රදේශයේ පමණක් බස් ගාස්තු ඉහළ දැමීමක් සිදුවන බවත් ඒ මහතා කීය.

මෙම බැරෑරුම් අවස්ථාවේ බස් රථ ධාවනයේ යොදවමින් ලබාදෙන සහය පිළිබඳව තමන් බස් හිමියන්ට සහ රියදුරු කොන්දොස්තරවරුන්ට ස්තූතිය පළකරන බවද අමුණුගම මහතා පැවසුවේය

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *